‘ඇපලෝ 14’ අභ්‍යවකාශ ගමන සහ ශාක බීජ.
පසුගිය 70 දශකයේදී ලොව පුරා මහත් සැලකිල්ලට ලක්වී තිබී, ඉක්මණින්ම අමතකවී ගිය වැදගත් සිද්ධියක් පිලිබඳ ලිපියක් මා හට මෑතදී කියවන්නට ලැබිණ. “චන්ද්‍ර ශාක වලට කුමක් සිදුවීද?” (What happened to Moon trees?) යන්න මෙම ලිපියේ මාතෘකාව විය. 70 දශකයේදී, අපද ‘අභ්‍යවකාශ තරණය’ නමැති මිනිසාගේ අපූර්ව ව්‍යායාමය ගැන, ඉමහත් කුතුහලයකින් යුතුව අවධානය යොමු කළ බවද මට වහාම මතකයට නැගුණි.
මේ වූකලී සෝවියට් දේශය සහ බටහිර බලවතුන් අතර සීතල යුද්ධයක්ද ලියලමින් පැවති සමයයි. පරමාණු බලශක්තිය, න්‍යෂ්ටික අවි භාවිතය, කලාපීය බල අධිකාරිය, අභ්‍යවකාශය ජයගැනීම වැනි කරුණුද සීතල යුද්ධයට හේතු කාරක විය. මේ වන විට ලෝක බලවත්තු දෙපාර්ශවයම තරඟයට මෙන් ‘අභ්‍යවකාශ තරණය’ සඳහා ආදාළ වන විවිධ පිවිසුම් අත්හදා බැලීමද ආරම්භ කරමින් සිටියහ. සෝවියට් දේශයේ බොහෝ අභ්‍යවකාශ චන්ද්‍රිකා, ‘ස්පුට්නික්’ (sputnik) යන නමින්ද ඇමෙරිකා එකසත් ජනපදයේ බොහෝ අභ්‍යවකාශ චන්ද්‍රිකා ‘ඇපලෝ’ (Apollo) යන නමින්ද පොදු ව්‍යවහාරයට පවා එක්විය.
අපගේ විමසිල්ලට භාජන වන ‘චන්ද්‍ර ශාක’ පිලිබඳ සිද්ධියට පාදක වනුයේ, 1971 ජනවාරි මස 31 වන දින කක්ෂ ගත කරන ලද ‘ඇපලෝ 14’ ඇමෙරිකානු චන්ද්‍රිකාවයි. මෙය ඇමෙරිකාව විසින් මිනිසුන් සඳ මතට යැවීම සඳහා සැලසුම් කරන ලද තුන්වන පරිශ්‍රමයයි. මේ සඳහා යොදාගත් අභ්‍යවකාශ යානයේ ගමන් කරන ලද්දේ ඇලන් ෂෙපර්ඩ්, එඩ්ගාර් මිචෙල් සහ ස්ටුවර්ට් රූසා නම් ගගනගාමීන් තිදෙනාය. මොවුන් අතුරෙන් ඇලන් ෂෙපර්ඩ් සහ එඩ්ගාර් මිචෙල් සඳ මතට ගොඩ බැස විවිධ පර්යේෂණ කරමින් අවශ්‍ය සාම්පල එකතු කර ගැනීමෙහි නිරත වූහ. මේ අතර ස්ටුවර්ට් රූසාගේ මෙහෙවර වූයේ, ඔවුන් ගමන් කළ ‘මව් යානය’ නිර්දේශිත චන්ද්‍ර කක්ෂය ඔස්සේ නිරුපද්‍රිතව හැසිරවීමයි.
ඇපලෝ 14 අභ්‍යවකාශ තරණයේ යෙදුනු ස්ටුවර්ට් රූසා
මෙම මෙහෙයුමෙහි සියලුම කාර්යයන් නියමිත වෙලාවට අපේක්ෂිත පරිදි සිදුවිය.
සම්ප්‍රදායක් වශයෙන් අභ්‍යවකාශ චන්ද්‍රිකාවක කක්ෂ ගතවන සෑම ගගනගාමියෙකුටම තමන් කැමති ‘පෞද්ගලික දේ’ ස්වල්පයක් තම ගමනේදී ‘සිහිවටන’ සඳහා ගෙනයාමට අවසර තිබේ. කෙසේ වෙතත් මේවා නියමිත ප්‍රමිති වලට අනුකූලව නිරෝධානයට ලක් කරණ අතර, එම දේවල් ගැන වැඩි ප්‍රසිද්ධියක් දෙනු නොලැබේ.
‘ඇපලෝ 14’ චන්ද්‍රිකාවේ නියමුවා වූ, ස්ටුවර්ට් රූසා, අභ්‍යවකාශ වැඩ සටහනට සම්බන්ධ වීමට පෙර ප්‍රබල පරිසර හිතකාමියෙකු ලෙස කටයුතු කර තිබේ. ඔහු ඇමෙරිකා එක්සත් ජනපදයේ වනාන්තර සංරක්ෂණ සේවයේ කටයුතු කළ අතර, ලැව් ගිනි මැඩ පැවැත්වීමේ ක්‍රියාන්විත වලදී හෙලිකොප්ටරයක සිට පැරෂූටයකින් බැස ගිනි නිවීමට දස්කම් දැක්වූවෙකි. පරිසර කටයුතු වලට අදාළ යම් කිසිවක් ඔහුගේ ‘පෞද්ගලික දේ’ ලෙස අභ්‍යවකාශ ගමනේදී ගෙනයාමටද ඔහුට අවශ්‍ය විය. ශාක වර්ධනයේදී සිදුවන ස්වාභාවික සංසිද්ධි පිළිබඳව පාසැල් කාලයේදී උගත් සිද්ධාන්ත පිළිබඳව සිත් යොමු කළ රූසාට, ප්‍රරෝහණය වූ ශාක බීජයකින් හටගන්නා ‘බීජ පැලයක’ (seedling) මූල පද්ධතිය ගුරුත්වාකර්ෂණය නිසා පස තුළට වැඩෙන බවත් එහි කඳ කොටස ගුරුත්වාකර්ෂණයට විරුද්ධ දිශාවට වැඩෙන බවත් මතකයට නැගුණි. ඒ සමගම තමන්ගේ අභ්‍යවකාශ ගමනේදී දින කිහිපයක් තිස්සේ ඉතාමත් අඩු ගුරුත්වයක් සහිත කුටියක ගතකිරීමට සිදුවීමේදී සහ චන්ද්‍ර කක්ෂයේ ගමන් කිරීමේදී ශාක බීජ වලට කුමක් සිදුවේද යන්නත් සොයා බැලීමට මෙය කදිම අවස්ථාවක් බවට ඔහුට හැඟී ගියේය. මේ නිසා ඔහුගේ ‘පෞද්ගලික දේ’ සඳහා ලැබෙන මල්ලේ ශාක බීජද ගෙන යාමට තීරණය කළේය. මේ සම්බන්ධව ඔහු වනාන්තර සංරක්ෂණ සේවා ආයතනයේ ප්‍රධානියා ඇමතීය.
“ මම ස්ටුවර්ට් රූසා……., අපගේ අභ්‍යවකාශ ගමනේදී, මගේ පෞද්ගලික මල්ලේ ශාක බීජද ගෙනයාමට අදහස් කළා. මට අවශ්‍ය වී ඇත්තේ ක්ෂුද්‍රගුරුත්වය (microgravity) බිජ ප්‍රරෝහණයේදී බලපාන්නේ කෙසේද යන්න සොයා බැලීමටයි. මේ සඳහා මට උදව් කරන්න.”
“ඔබට සුබ පතනවා. ඔබගේ අදහස ඉතාමත් කාලෝචිත එකක්. මගේ සහෝදර නිලධාරීන් සමගද සාකච්ඡා කර ඉක්මණින්ම ඔබ අමතන්නම්.”
රූසාගේ ඇමතුමට ආයතන ප්‍රධානියාගේ ප්‍රතිචාරය මෙසේ විය.
ටික වේලාවකට පසු නැවත රූසා ඇමතු වනාන්තර සංරක්ෂණ සේවා ප්‍රධානියා,
“ඔබගේ ව්‍යාපෘතියට සහාය වීමට අප ඒකමතිකව තීරණය කළා. මේ සඳහා අපට මේ ප්‍රදේශවල බහුලව වැවෙන දැවමය වටිනාකමක් සහිත ශාක විශේෂ පහක, ශක්‍ය (viable) බීජ දෙතුන්සියයක් ලබාදිය හැකිය යි.” කීවේය.
(යෝජිත පරිදි රූසාට ලැබුණු බීජ තොගයේ,
Loblolly pine - Pinus taeda,
Sycamore - Platanus occidentalis,
Sweetgum - Liquidambar styraciflua,
Redwood - Sequoia sempervirens සහ
Douglas fir - Pseudotsuga menziesii යන ශාකවල බීජ ඇතුළත් විය.)
අභ්‍යවකාශයේ ගෙනගිය බීජ සහ ඒවායින් හටගත් බීජ පැළ
Apollo 14 යානයේ චන්ද්‍ර තරණ ආරම්භය නියමිත දිනයේ නියමිත වේලාවට සිදු විය. දින පහක් තිස්සේ අභ්‍යවකාශයේ ගමන් කළ යානය, පෙබරවාරි 5 වන දින චන්ද්‍ර කක්ෂයට සේන්දු විය. එදිනම ගොඩ බැසීමේ උප යානය මගීන් සඳ මත පිවිසි ඇලන් ෂෙපර්ඩ් සහ එඩ්ගාර් මිචෙල් පැය පහක් තිස්සේ පාෂාණ සාම්පල එකතු කිරීම ඇතුළු තම කාර්යයන් නොපිරිහෙලා ඉටුකළහ. ඒ අතරතුර ස්ටුවර්ට් රූසා මව් යානය චන්ද්‍ර කක්ෂය ඔස්සේ මෙහෙයවන අතරම, අවශ්‍ය ඡායාරූප ගැනීමෙහිද නිරත විය. මේ ආකාරයට චන්ද්‍ර කක්ෂයේ වට 34 ක් යාමෙන් පසු, ඇලන් ෂෙපර්ඩ් සහ එඩ්ගාර් මිචෙල් උප යානයට ඇතුල්වී එය මව් යානයට පූට්ටු කර ගන්නා ලදී. ඉන්පසු පෘථිවිය කරා ආපසු ගමන ආරම්භ කළ ඔව්හු, පෙබරවාරි 9 වන දින, පැසිෆික් සාගරයේ සැමෝවා දූපත් අසල ස්ථානයකට පතිත වූහ. එහි සිට ඔවුනට නිරුපද්‍රිතව ගොඩ බිමට ඒම සඳහා සියලුම පහසුකම් සලස්වා තිබිණ. සැලසුම් කර තිබුණු ආකාරයට නිරෝධායන කටයුතු සහ විෂබීජ නාශක මගින් පවිත්‍ර සේවා අවසන් කිරීමෙන් පසු, ගගන ගාමීන්ට, ගමන ආරම්භ කර දින දොළහකට පමණ පසු, සුපුරුදු පෘථිවි පරිසරයට අවතීර්ණ වීමට හැකිවිය.
නිරෝධායන අවදියේදී කරන ලද එක්තරා පරීක්ෂණයකදී, රූසාගේ පෞද්ගලික දේ අඩංගු බෑගයේ තිබුණු ශාක බීජ සහිත මල්ල යම් කිසි හේතුවක් නිසා හදිසියේම පුපුරා ගියේය. මේ නිසා සමහර බීජ විනාශ වූ අතර, ඉතිරි බීජද සී සී කඩ විසිර ගියේය. අභ්‍යවකාශ ව්‍යාපෘතියට කෙලින්ම අදාළ සිද්ධියක් නොවන නිසා එයට වැඩි ප්‍රසිද්ධියක් නොලැබුණි.
මෙම අවස්ථාවේදී එහි සිටි, වනාන්තර සංරක්ෂණ සේවා ආයතනයේ ජාන විද්‍යාඥයෙකු (geneticist) විසින් විසිරි ගිය හොඳ තත්ත්වයේ බීජ ස්වල්පයක් එකතුකර, ඒවායේ ප්‍රරෝහණ තොරතුරු ලබාගැනීම පිණිස, හූස්ටන්හි පිහිටි NASA ආයතනයේ විද්‍යාගාරයකට යොමු කරන ලදී. ඉතිරි බීජද රටෙහි විවිධ ප්‍රජා සංවිධාන සහ පළාත් පාලන ආයතන වලට බෙදා දෙන ලදී. අභ්‍යවකාශයට ගොස් ආපසු පැමිණි මෙම බීජ වලින් ලැබෙන ශාක තම උද්‍යානවල ප්‍රදර්ශනය කර ඇපලෝ යුගයේ ගාම්භීර භාවය රැක ගැනීමට බොහෝ ආයතන උනන්දු වූහ. මුල් වසර කිහිපයේදී මෙම අද්විතීය වටිනාකමක් සහිත ශාක පිළිබඳව බොහෝ අය විමසිලිමත් වූවත් ක්‍රමක්‍රමයෙන් ඒ ගැන උනන්දුව අඩු වී ගියේය. ස්ටුවර්ට් රූසා 1994 දී මිය ගිය පසු, චන්ද්‍ර ශාක සම්පූර්ණයෙන්ම වාගේ අමතක වී ගියේය.
ස්ථාන දෙකක ඇති “චන්ද්‍ර ශාක” පිළිබඳව අටවා ඇති දැන්වීම් පුවරු.
අනාගතයේදී පාලක පරීක්ෂණ සඳහා ප්‍රයෝජනයට ගතහැකි වන පරිදි, මෙම ව්‍යාපෘතියේ ‘චන්ද්‍ර බීජ පැළ’ සිටවූ සමහර ස්ථාන අසල, අභ්‍යවකාශ ගත නොවූ එම විශේෂයේම බීජ පැළය බැගින්ද සිටුවන ලදී. සමහර උද්‍යාන වල එම, පැළ සිටවූ දිනය සමග එය චන්ද්‍ර ශාකයක් බවද සඳහන් නාම පුවරුද සවි කරන ලදී. එහෙත් කාලයාගේ ඉක්ම යාමත් සමග, 70 දශකයේදී ලබාගත් එම අභිමානය ටිකින් ටික තුනී වී ගොස් අමතක වූ තත්ත්වයටම පත්විය.
‘චන්ද්‍ර ශාක’ පිලිබඳ පසු විපරම්
චන්ද්‍ර ශාක පිලිබඳ තොරතුරු කාළය නමැති කඩතුරාවෙන් වැසී යද්දී, 1996 වර්ෂයේදී අහම්බෙන් සිදුවූ දෙයක් නිසා යළි මහජන අවධානයට ලක්විය. ඇමෙරිකාවේ Indiana ප්‍රාන්තයේ ප්‍රාථමික විදුහලක ගුරුවරියක් වන ගොබ්ලේ මහත්මිය තමන්ගේ තුන්වන ශ්‍රේණියේ සිසුන් සමග, තම පාසැල අවට ප්‍රදේශයේ ඇති රූස්ස ශාක ගැන ව්‍යාපෘතියක නිරත වූවාය. මේ අතරතුර දිනක පන්තියේ එක් ශිෂ්‍යාවක් ඇය වෙත පැමිණ,
Indiana ප්‍රාන්තයේ ප්‍රාථමික විදුහලේ සිසුන් අධ්‍යයනය කළ චන්ද්‍ර ශාකය
“මිස්….අපේ ගෙවල් කිට්ටුව, බාල දක්ෂිකා කඳවුරු භුමිය අසල ‘චන්ද්‍ර ශාකයක්’ තිබෙන බව අසල් වැසියෙක් කිව්වා. ඒ ගහ මොකක්ද ?” යයි ඇසුවාය.
මෙයින් තරමක් පුදුමයට පත්වූ ඇය,
“මම නම් ඒ ගැන දන්නේ නැහැ. අපි ලබන සතියේ ව්‍යාපෘති කාල ඡේදයෙදී එතැනට ගොස් තොරතුරු ලබා ගනිමු” යයි දරුවන්ට පැවසුවාය.
ගිවිසගත් පරිදි ඊළඟ සතියේ ඇය පන්තියේ දරුවන් සමග එතැනට ගියාය. ඔවුනට එතැනදී සාමාන්‍ය ප්‍රමාණයේ sycamore ගසක් දකින්නට ලැබුණි. ඒ අසල තිබුණු තරමක් දිරාපත්වූ පුවරුවක එය ‘චන්ද්‍ර ශාකයක්’ බව සඳහන් කර තිබුණි.
ආපසු පාසලට පැමිණි ගොබ්ලේ මහත්මිය මේ සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් සකස් කිරීම පිණිස සිසුන් යොමු කරවීම සඳහා, ඒ පිලිබඳ තොරතුරු අසා NASA ආයතනයට විද්‍යුත් තැපැල් පණිවුඩයක් යැව්වාය.
මෙම පණිවුඩය ලැබුණේ Maryland ප්‍රාන්තයේ පිහිටි.NASA ආයතනයේ Goddard අභ්‍යවකාශ ගමන් පිලිබඳ මධ්‍යස්ථානයේ, ග්‍රහලෝක විද්‍යාඥයෙකු වන ඩේව් විලියම්ස් ටය. මෙම චන්ද්‍ර ශාක පිළිබඳව ඔහු කිහිප දෙනෙකුගෙන් විපරම් කළ නමුත් ඒ ගැන කිසිම හෝඩුවාවක්වත් දැනගැනීමට නොහැකි විය. ඇපලෝ අභ්‍යවකාශ වැඩ සටහන ක්‍රියාත්මක වූ කාලයේදී එහි සේවය කර ඇති පැරැන්නෝද කිසිවෙක් මේ ගැන නොදත්හ. මෙයින් නොනැවතුණු විලියම්ස් තම ආයතනයේ ඓතිහාසික තොරතුරු ඇතුළත් පුස්තකාලයේ විමර්ශන අංශයේ ඇති පැරණි දත්ත අවුස්සා බලා හෝ මෙම සිද්ධිය සම්බන්ධ කරුණු සොයා බැලීමට උත්සාහයක් ගත්තේය.
ඔහුගේ ප්‍රයත්නය බොහෝ දුරට සාර්ථක විය. ගගනගාමී ස්ටුවර්ට් වනසංරක්ෂණ ආයතනයෙන් ශාක බිජ ඉල්ලා සිටීම, එම බීජ ඇපලෝ 14 අභ්‍යවකාශ යානයේ ගෙනයාම, ආපසු ගෙන එන ලද බීජ මල්ල පුපුරායාම, ඉතිරි බීජ ප්‍රරෝහණය කිරීම, බීජ පැළ බෙදාහැරිම වැනි තොරතුරු රාශියක් එහි ඇති පැරණි ලියකියවිලි වල දකින්නට ලැබුණි. රෝපණය කරනලද චන්ද්‍ර ශාක හයක් පිලිබඳ තොරතුරු ස්වල්පයක්ද ඔහුට හමුවිය. මේ අතර, ඒ කාළයේ පුවත් පතක පළවී තිබුණු චන්ද්‍ර ශාකයක් සිටුවීම පෙන්වන පහත දැක්වෙන ඡායාරුපයක්ද හමුවිය.
මෙම තොරතුරු සපයාගත් විලියම්සන්, ඒ සියල්ලේ පිටපත්, Indiana ප්‍රාන්තයේ ප්‍රාථමික විදුහලේ තුන්වන ශ්‍රේණියේ ගුරුවරිය වන ගොබ්ලේ මහත්මිය වෙත තැපෑලෙන් යවන ලදී. ඒ සමගම ඇයගේ උනන්දුව පිළිබඳව NASA ආයතනයේ ස්තුතිය පුද කිරීමේ ලිපියක්ද නිකුත් විය. දිගු කලක් තිස්සේ (වසර විස්සක් පමණ) අමතක වී ගොස් තිබුණු, ‘චන්ද්‍ර ශාක’ පිළිබඳ සිද්ධිය මින් පසු නැවතත් ලෝකයේ අවධානයට යොමුවිය.
.
මෙය 1977 සැප්තැම්බර් මාසයේ ‘Goddard News’ පත්‍රයේ පළවී තිබුණු ඡායාරූපයකි.
කුඩා දරුවන් සම්බන්ධකර ගනිමින් වුවද, පාසැලක කරනු ලබන ව්‍යාපෘතියක් මගින් රටෙහිම අවධානය යොමු කළහැකි, පාරිසරික මෙහෙයුමක් දියත් කළ හැකි බවට මෙය හොඳම උදාහරණයක් ලෙස සැලකිය හැකිය.
මේ සම්බන්ධයෙන් තවත් කරුණු සොයා ගැනීම පිණිස උනන්දුවක් දැක්වූ විලියම්සන් විසින් තොරතුරු ඇතොත් විද්‍යුත් මාධ්‍යය ඔස්සේ තමන් අමතන ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කරමින් අන්තර්ජාල පිටුවක්ද ආරම්භ කළේය. මෙයටද යහපත් ප්‍රතිචාර රාශියක් ලැබුණි.
මේ ආකාරයට ලැබුණු තොරතුරු අනුව චන්ද්‍ර ශාක සියයක් සිටුවා තිබෙන ස්ථාන අනාවරණය කරගත හැකිවිය. මෑතදී කරන ලද සමීක්ෂණයකට අනුව මෙයින් 34 ක් දැනටමත් මැරී ගොස් හෝ කපා හෙලිම නිසා අතුරුදහන් වී තිබේ. එසේ සිටුවා තිබී ශාක අතුරුදන් වූ ස්ථානවල රතුපැහැති තරු ලකුණක් සහිත පුවරු තිබෙන අතර එම තරුවෙන් අදහස් කරන්නේ චන්ද්‍ර ශාකයක් තිබී අතුරුදන් වූ වගයි. ඇමෙරිකා එක්සත් ජනපදයේ දෙවන ශත සංවත්සරය, පැවැත්වූ 1976 වර්ෂයේදී, එම සැමරුම නිමිතිකර ගනිමින් රෝපණය කරන ලද චන්ද්‍ර ශාකද රාශියක් තිබේ. දෙවන ශත සංවත්සරයට සම්බන්ධ මෙම චන්ද්‍ර ශාක, එවකට සිටි ඇමෙරිකානු ජනාධිපති වරයා වන ජෙරල්ඩ් ෆෝර්ඩ් විසින් තම අත්සනින් යුත් ආවරණ ලිපියක් සහිතව අදාළ ස්ථාන වලට යවා ඇති බවද වාර්තා වේ. ජනාධිපතිවරයාගේ පණිවුඩය මෙසේය:
“ඇමෙරිකා එක්සත් ජනපදයේ දෙවෙනි ශත සංවත්සරය පැවැත්වෙන මේ අවස්ථාවේ ඔබ වෙත මෙවැනි තිළිනයක් එවීමට හැකිවීම ආඩම්බරයකි. මේ පැළයේ බීජය,1971 ජනවාරි 31 දින පෘථිවියෙන් පිටත්වී, චන්ද්‍ර කක්ෂයක සැරිසැරූ, ඇපලෝ 14 චන්ද්‍රිකාවේ ගමන් කළ බවත්, මෙම ශාකය එයින් හටගත් බවත් අභිමානයෙන් යුතුව සහතික කරමි.”
අභ්‍යවකාශයට ගෙනගොස් ආපසු ගෙනෙන ලද බීජ වලින් සුළු ප්‍රමාණයක් බ්‍රසීලය, ස්විට්සර්ලන්තය, සහ ජපානයටද යවා ඇති බවද සටහන් වී තිබේ.
මෑතදී මේ සම්බන්ධයෙන් වාර්තාවී ඇති තරමක් හාස්‍යයට තුඩු දෙන සුවිශේෂී සිද්ධියක්ද මෙහිලා සඳහන් කිරීම උචිතයයි සිතමි. The Atlantic සඟරාවේ විද්‍යා ලේඛිකාවක් වන Marina Koren විසින් ඇපලෝ 14 චන්ද්‍රිකාව කක්ෂ ගතකර අඩ සියවසක් පිරිම නිමිත්තෙන් සකස් කෙරෙන ලිපියකට චන්ද්‍ර ශාක පිලිබඳවද යමක් එකතු කිරීමට සිතුවාය. 1976 දී Loblolly pine චන්ද්‍ර ශාකයක් වොෂින්ටන්හි ධවල මන්දිර පරිශ්‍රයේ රෝපණය කරන ලද බව ඇයට දැනගන්නට ලැබිණ. වැඩිදුර තොරතුරු ලබාගැනීම සඳහා ඇය ඩේව් විලියම්සන්ගේ Moon Trees වෙබ් අඩවියට පිවිසියාය. වෙබ් අඩවියේ එම ශාකයේ පින්තූරයක් නොමැත. ඒ වෙනුවට ‘රතු තරු සටහනක්’ සහිත දිරාගිය පුවරුවක් පමණක් දකින්නට ලැබිණ ! එම සටහනෙන් සංකේතවත් වන්නේ ඇපලෝ 14 චන්ද්‍ර බීජයකින් හටගත්, එහි රෝපණය කරන ලද Loblolly pine ශාකය, අකාලයේ මියගොස් ඇති බවයි. ධවල මන්දිර පරිශ්‍රයේ සිටවූ චන්ද්‍ර ශාකයේ ඉරණම එසේ වූයේ නම් අනිකුත් චන්ද්‍ර ශාක ගැන කියනුම කවරේද?
1977 දී, NASA ආයතන පරිශ්‍රයේද චන්ද්‍ර ශාකයක් රෝපණය කරන ලද බව ලේඛනගතවී තිබේ. මෙය sycamore (Platanus occidentalis) ශාකයකි.
1977 දී NASA ආයතනයේ රෝපණය කරන ලද චන්ද්‍ර ශාකය
මෙම ශාකය පිළිබඳව ‘National Geographic’ සඟරාවේ 2019 ජුලි කලාපයේ පළකර තිබුණු ඉහත දැක්වෙන ඡායාරුපය සහ විස්තරය එම සඟරාවට ස්තුති පූර්වකව මෙසේ උපුටා දක්වමි.
‘A moon tree’ stands tall, illuminated from behind by artificial lights, at NASA's Goddard Space Flight Center in Greenbelt, Maryland. Planted in 1977, the sycamore (Platanus occidentalis) grew from a seed that orbited the moon during the Apollo 14 mission in 1971’
ඡායාරූප සහ සමහර තොරතුරු ස්තුති පූර්වකව අන්තර්ජාලයෙන් ලබාගත් බව සඳහන් කරමි.
+++++++++++🙏👌😊
ReplyDeleteකියවන්නට මහන්සි ගත්තාට ස්තුතියි 'බසු'
Deleteඔක්කොම කියෙව්වා. නොදැණ හිටි කරුණු හුඟක් දැණගත්තා. දැන් ඉන්ටනැෂනල් ස්පේස් ස්ටේෂන් එකේ, zero gravity උද්භිත විද්‍යා පරීක්ෂණ කෙරෙන නිසා, මේ ගස්ගැන එතරම් සැලකිල්ලක් නැතුව ඇති.
Deleteමේ ගස් වල වැදගත්කම ලෙස සැලකිය හැක්කේ, micro-gravity හෝ zero-gravity ගැන වැඩි අවබෝධයක් හෝ ප්‍රායෝගික අත්දැකීම් නොතිබුණු ඒ කාළයේ (70 දශකයේ) කරන ලද මුලික අත්හදා බැලීමකට සම්බන්ධ නිසා එම ගස් වලින් කිහිපයක්වත් පිළිබඳවත් පූර්ණ අධ්‍යයනයක් කරමින් තොරතුරු රැස් කර තැබීම වටිනවා. අනාගත පර්යේෂකයින්ටත් මේවා ප්‍රයෝජනවත් විය හැකියි.
Deleteසිහිවටන ලෙස නම් හොඳයි. ඒ හැර තවත් සාමාන්‍ය ගසක් පමණයි නේ.
ReplyDeleteඅභ්‍යවකාශගාමින් මියගොස් වලලපු තැනුත් දැන් සෑහෙන්න ඇති නේද?
https://www.bbc.com/travel/article/20201214-rwenzori-mountains-africas-surreal-mountains-of-the-moon
ReplyDeleteස්තුතියි Pra Jay,
DeleteOnce thought to be the source of the Nile, these snow-white caps were coined the “Mountains of the Moon” by the ancient astronomer and geographer Ptolemy, but geologists expect they will disappear altogether within the next decade. Uganda faces significant impacts of climate change, with floods and droughts increasingly common.
උගන්ඩාවේ තිබෙන මේ ප්‍රදේශය “Mountains of the Moon” යනුවෙන් හඳුන්වා තිබෙන්නේ ගහක් කොළක් නොමැති කිසිම ආකාරයකින් තරණය කළ නොහැකි තද බෑවුම් සහිත කඳු ශිඛර සහිතව තිබෙන නිසයි. මේවා මිනිස් වාසය සඳහා සකස් කර ගැනීමට උත්සාහ කළත්, දේශගුණ විපර්යාස නිසා මහත් පසු බෑමකට ලක්වී තිබෙනවා.
මෙම ගස් වල සිහිවටන අගයක් කොහොමත් තිබෙනවා. උද්භිද උද්‍යානයක වැනි ස්ථානයක යම් කිසි ප්‍රභුවරයෙකුගේ පැමිණීම උදෙසා රෝපණය කරන ගසක සිහිවටන අගය වැඩියි. (මා මේ කියන්නේ දැන් බොහෝ අවස්වථාවාදීන් විසින් සිටුවනු ලබන ගස් ගැන නොවෙයි.) මේ සිද්ධියේ ඇති වැදගත්ම කරුණ නම් බීජ ප්‍රරෝහණයේදී ගුරුත්වයේ බලපෑම පිළිබඳව නිරීක්ෂණය කර වාර්තා තබාගැනීමට අවස්ථාවක් උදා වීමයි. සමහර ස්ථාන වල එම විශේෂයේම චන්ද්‍ර කක්ෂයට ගෙන නොගිය බීජයකින් හටගත් පැලයක්ද සිටුවා තිබෙන්නේ පාලක පරීක්ෂණ ගැන බලාපොරොත්තු ඇතිව බව පෙනෙනවා. එහෙත් මෙහිදී එවැන්නක් සිදුවී නැහැ වගෙයි. මෙසේ බීජ ගෙනයාම අභ්‍යවකාශ වැඩ සටහනට කෙලින්ම සම්බන්ධ නැති නිසාවත්ද? කෙසේ වෙතත් එවකට සිටි ජනාධිපති විසින් මහත් අභිමානයකින් යුතුව මෙම ශාක පැළ ප්‍රදානය කර තිබෙන්නේ යහපත් හැඟීමක් සහිතව බව මගේ විශ්වාසයයි.
ReplyDeleteකලින් අසාවත් නොතිබූ තොරතුරක් ...ස්තුතියි !
ReplyDeleteස්තුතියි පැතුම්,
Delete1971 දී Apollo 14 අභ්‍යවකාශ ගමන ගැන ශ්‍රී ලාංකිකයින් අතරත් මහත් ආන්දෝලනයක් තිබුණා. ඒ උනත් ඒ කාලයේත් මේ ආකාරයට බීජ ගෙන යාම ගැන වැඩි ප්‍රසිද්ධියක් තිබුණේ නැහැ. මේ නිසාමයි මට මේ ගැන යමක් ලියා තැබීමට සිතුණේ.
චන්ද්‍ර ශාක කිව්වම හිතුවේ හඳේ හැදෙන ගස් කියලා
ReplyDeleteබැලින්නං හඳ වටේ ගියපු ගස්නේ..
ඇත්තටම ස්තූතියි. අපූරු නොදත් තොරතුරු ටිකක්
ස්තුතියි මහේෂ්,
ReplyDeleteලිපියේ මාතෘකාවේම "චන්ද්‍ර ශාක" යන්න inverted commas (ප්‍රතිලෝම කොමා) යොදා සටහන් කර තිබෙන්නේ මේ හේතුව නිසයි. ඇත්තටම ඒවා සඳෙහි ප්‍රරෝහණය වූ ඒවා නොවෙයි. ඒ උනත් පෘථිවියේදී බීජ ප්‍රරෝහණය වනවිට දකින්නට ලැබෙන වැදගත් ලක්ෂණයක් zero gravity (ශුන්‍ය ගුරුත්වය) හෝ micro gravity (ක්‍ෂුද්‍ර ගුරුත්වය) ඇති ව්ටාපිටකදී වෙනසක් වේද යන්න අත්හදා බැලීමකි මෙය. පෘථිවියේ බීජ ප්‍රරෝහණය වන විට බීජයේ මුල ගුරුත්වය දෙසට වර්ධනය වීමත් කඳ ගුරුත්වයෙන් විරුද්ධ දිශාවට වර්ධනය වීමත් ප්‍රාථමික පන්ති වලදීම කවුරුත් ප්‍රායෝගිකව දැක තිබෙන ජීව විද්‍යාත්මක සත්‍යයක් නේද? නිගමනය කර ඇත්තේ එවැන්නක් සිදු නොවන බවයි.
තාත්තා- කලින් අසන්නට නොලැබුණු මෙවන් වටිනා විස්තර සොයා එක් රැස් කර සරලව මෙලෙස ඉදිරිපත් කිරීම බොහොම අගෙයි. කවදා හරි කවුරුන්ම හරි මේ ගැන විස්තරයක් හොයද්දි මේ සටහන ප්‍රයෝජන වෙයි.
ReplyDeleteමෙම සිද්ධිය පරිසරය පිළිබඳව විමසිලිමත් වන කෙනෙකුට කිහිප ආකාරයකින්ම ප්‍රයෝජනවත් විය හැකිය.
Delete1. ප්‍රාථමික පන්ති වලදීම බොහෝ අය ප්‍රායෝගිකව අත්හදා බලා ඇති, ප්‍රරෝහණය වන බීජයක් පිලිබඳ වැදගත් ලක්ෂණයක් කෙරෙහි ක්‍ෂුද්‍ර ගුරුත්වයක බලපෑමක් නොමැති බව.
2.එවැනි කෘතීම තත්ත්වයකට භාජන වූ බීජ වලින් හටගත් ශාක වල ගති ලක්ෂණ සාමාන්‍ය ශාක වලින් වෙනස් වේද යන බව.
3.මෙසේ හටගන්නා ශාකවල බීජ සරු බීජ (viable) වන්නේද යන්න සොයාබැලීම.
4. මේ ආකාරයට ලැබෙන ඊළඟ ශාක පරම්පරාවේ යම් කිසි වෙනස්කම් ඇතිවේද යන්න සොයා බැලීම ආදියයි. නිරීක්ෂණය කළහැකි තවත් බොහෝ විද්‍යාත්මක කරුණු තිබිය හැකිය.
වැදගත්ම දේ තමයි, එක පුද්ගලයෙකුට මතක හිටින වැදගත් යමක් කරන්න පුළුවන් කියන සංකල්පය. මේ වැඩේ ඇත්තටම ආයතනිකව සැළසුම් කළ දෙයක් නොවෙයි නේ...
ReplyDeleteDrakie,
Deleteඇපලෝ 14 කක්ෂගතවී වසර 50ක් ගත වූයේ 2021 වසරේදී. මේ අර්ධ ශත සංවත්සරය නිමිත්තෙන් ලෝකයේ රටවල් කිහිපයක බොහෝ දෙනෙක් Moon Trees ගැන විමසා තිබුණා. මේ නිසා ඒ අමතකවී ගොස් තිබුණු සිද්ධියට අලුත් මුහුණුවරක් ලැබිලා. මේ සමග තිබෙන Link එක බලන්න. දැන් ඒ මුල් ශාකවල බීජවලින් හටගත් දෙවන සහ තුන්වන පරම්පරාවල බීජ වලින්ද සාර්ථකව අලුත් ශාක ලබාගෙන තිබෙනවා.
https://www.bbc.com/future/article/20220210-the-trees-grown-from-space-faring-seeds
ස්ටුවර්ට් රූසාගෙ,පරිසර හිතකාමී අදහස් සහ මේ හරහා ඒ ගැන යම් අවධානයක් ඇති කිරීම වටිනා දෙයක් කියල හිතෙනවා.
ReplyDeleteDGM,
Deleteඇත්තටම ස්ටුවර්ට් රූසාගෙ,පරිසර හිතකාමී අදහස් නිසා තමයි ඔහුට අභ්‍යවකාශ ගමනේ සිහිවටන හැටියට ශාක බීජ ගෙන යාමට සිතක් පහල වන්නට ඇත්තේ. ක්‍ෂුද්‍ර ගුරුත්වයට හසුවූවිට බීජ ප්‍රරෝහණය වන්නේද යන්න එතෙක් කිසිවෙකු අත්හදා බලා නැහැ. එසේ අත්හදා බැලීමක් සඳහා ක්ෂුද්‍ර ගුරුත්වයක් හෝ ශුන්‍ය ගුරුත්වයක් පෘථිවිය මතුපිට ලබා ගත නොහැකියි. ඒ සඳහා අභ්‍යවකාශයටම යා යුතුයි . ඒ ආකරයට තමන් ගිය ගමනේදී රූසා එම පරීක්ෂණය කර තිබෙනවා. ඊට වසර පණහකට පසු මෙම වැදගත් සිද්ධිය කෙරෙහි නැවත අවධානය යොමුවීම සාධනීය පිවිසුමක් ලෙස සැලකිය හැකියි.
වටිනා පෝස්ට් එකක්.
ReplyDelete'කුඩා දරුවන් සම්බන්ධකර ගනිමින් වුවද, පාසැලක කරනු ලබන ව්‍යාපෘතියක් මගින් රටෙහිම අවධානය යොමු කළහැකි, පාරිසරික මෙහෙයුමක් දියත් කළ හැකි බවට මෙය හොඳම උදාහරණයක් ලෙස සැලකිය හැකිය'. රූසා වගේම, ගොබ්ලේ මහත්මිය, ඩේව් විලියම්සන්, පොඩ්ඩො ටික ඔක්කොම වීරයින්.
ස්තුතියි Lotus,
Deleteමා මේ ලිපිය ලිවීමට අදහස් කළ එක් හේතුවක් වනුයේ, ඔබ විසින් ඉහත උපුටා දක්වා තිබෙන
"කුඩා දරුවන් සම්බන්ධකර ගනිමින් වුවද, පාසැලක කරනු ලබන ව්‍යාපෘතියක් මගින් ........" ආදී වශයෙන් ඇති සරල අධ්‍යාපන සංකල්පය පිලිබඳ යළි සිහිපත් කිරීමයි.
පරිසරයේ ඇති අපූර්ව ලක්ෂණ සහ විවිධත්වය මූලික කර ගනිමින් ලබන අධ්‍යාපනයකින් දරුවන් යම් සංසිද්ධියක් පිළිබඳව ගැඹුරින් සිතීමටත් ඒ ඔස්සේ පරිසර සංරක්ෂණ ක්‍රියාවලියට දායක වීමට පෙළඹෙන බවටත් බොහෝ උදාහරණ දැක්විය හැකියි. වසර ගණනාවක් තිස්සේ විද්‍යා අධ්‍යාපන ක්ෂේත්‍රයේ නිරතව සිටියදී පාසල් සිසුන් සමග පරිසර ක්‍රියාකාරකම් වල නියැලුණු නිසා මා මේ බව අත්දැක තිබෙනවා.
මෙහිදී ස්ටුවර්ට් රූසා කර තිබෙන්නේත් බිජ ප්‍රරෝහණය කෙරෙහි ගුරුත්වය බලපාන ආකාරය පිලිබඳ වෙනත් කිසිම ආකාරයකින් කළ නොහැකි සරල පරීක්ෂණයකි.