Sunday, 24 October 2021

‘ආදර’ දිවයින

           කෝමත් එක කාලයක මහා සාගරය මධ්‍යයේ තනිවූ අරුම පුදුම දූපතක් විය. මෙම දූපත  මිනිස් හදවතක හැඩයෙන් යුක්ත වූ නිසා එය ‘ආදර දිවයින’ ලෙස ලෙස නම් කර තිබේ. මිනිස් වාසයෙන් තොර මෙම දිවයිනෙහි විවිධ ‘හැඟීම්’ සහ තවත් සුවිශේෂී ‘සංකල්ප’ කිහිපයක් පමණක් දකින්නට ලැබීම  විශේෂත්වයකි. එහි තණ්හාව, ආශාව, වෛරය, ක්‍රෝධය,  බුද්ධිය, දැනුම, ප්‍රීතිය, දුක, ආදරය  වැනි හැඟීම් සිය ගණනක් හුදකලාව තමන්ගේ පාඩුවේ සිටියහ.  එමෙන්ම එම දූපතෙහි ‘කාළය’, ‘වේලාව’, ‘ආලෝකය’, ‘වියපත්වීම’   වැනි තරමක් අද්භූත සංසිද්ධි කිහිපයක්ද විය.   මෙසේ හුදකලාවී තිබුණු  හැඟීම් සහ සංසිද්ධි   තමතමන්ගේ කටයුතු ගැන උනන්දු  වූවා මිස, එකිනෙකා අතර වැඩි සම්බන්ධයක් නොපැවැත්වීය. සෑම හැඟීමකටම සහ සංකල්පයකටම   පාහේ, දූපත  අවට තම ගමන් බිමන් සඳහා බෝට්ටුවක් බැගින් තිබුණි. එහෙත් එහි සිටි දුප්පත්ම හැඟීම වන ‘ආදරය’ බෝට්ටුවක අයිතිකාරිය  නොවූවාය. 


           


සාගරය මැද තනිවී ඇති “ආදර දිවයින”


අවාසනාවකට මෙන්,  මෙම දිවයින අසල සාගරය පතුළේ ඇතිවූ හදිසි භූ චලනයක්  නිසා,  දිවයින ක්‍රමක්‍රමයෙන් ගිලී යාමට පටන්ගෙන තිබෙන  බව  එහි වාසය කරන කාටත්  දැනගන්නට ලැබිණ. මේ නිසා සියලුම දිවයින් වාසීහු,   තම තමන්ට අයිති බඩු  බාහිරාදියද හැකි තරමක් තමන්ගේ බෝට්ටු වල පටවාගෙන දූපතෙන් පිටවී යාමට ලහි ලහියේ සූදානම් වූහ. ගෙනයාම සඳහා වැඩිමනත් බඩු  බාහිරාදිය නොමැති වූවත්, පිටවී යාම සඳහා බෝට්ටුවක් නොමැති කම නිසා, තමන්ට  දිවයිනත් සමගම මුහුදුබත් වීමට සිදුවන නිසා ‘ආදරය’ තරමක් කනස්සල්ලට පත්වූවාය. අතමිට හිඟ වූවත්, තම යුතුකම් නොපිරිහෙලා ඉටු කරමින් සිටි  ආදරය, කිසිවෙකුට අත නොපා, ලද දෙයින් සතුටු වෙමින්, චාම් දිවි පෙවෙතක් ගත කළාය. කෙසේ වෙතත්   අවසානයේදී ආදරය අකමැත්තෙන් වුවත් ගත් තීරණය වූයේ,  දිවයිනෙන් පිටවීම සඳහා, බෝට්ටුවක් හිමි   අන් අයෙකුගේ පිහිට පැතීමය.    


එහෙත්, මේ වනවිට බොහෝ හැඟීම් තම සන්තක දේ පටවාගෙන දිවයිනෙන් පිටවී හමාරය. දිවයිනේ අවසාන කොටසද මුහුදු රළට හසුවී යටවීමට ආසන්න  වෙමින්  පැවතිණ.  මේ අවස්ථාවේදී  තම බෝට්ටුවේ නැගී පිටවී යාමට සුදානම්වූ  ‘පොහොසත් කම’ නම්වූ හැඟීම ඇමතු ‘ආදරය’

 

“පොහොසත් මහත්මයාණෙනි, මට බෝට්ටුවක් සඳහා වත්කමක්  නැහැ. කරුණාකර ඔබගේ බෝට්ටුවෙන් මාද ගෙන යන්න.” 

කියමින්  බැගෑපත් වූවාය. 

එය එකහෙළා ප්‍රතික්ෂේප කළ  ‘පොහොසත් කම’ 


“මගේ බෝට්ටුවේ  රන්, රිදී, මුතු, මැණික්, කාසි පනම්, වැනි වටිනා  වත්කම් වලින් පිරි තිබෙනවා. ඒ නිසා  තවත් කෙනෙකුට ඉඩ නැහැ. වෙන අතක්  බලා ගත්තොත් හොඳයි.” 

කියා  මහත් උජාරුවෙන් පැවසීය.


“කොහොමත් රන් රිදී ආදරයට වඩා  වටිනවා වෙන්නට ඇති.” යයි ඇය  සිතුවාය.


ඊට ස්වල්ප වෙලාවකට පසු ‘උඩඟුකම’ තම බෝට්ටුවෙන් පිටත්වන බව දුටු ‘ආදරය’ 


“අනේ…. උඩඟු, මාවත් ඔයාගේ බෝට්ටුවට ගන්න. ඔයාගේ බෝට්ටුවේ නම් තව ඉඩ තිබෙනවා  වාගෙයි.” කියමින් ආයාචනයක් කළාය.

     

“ඔය තෙතබරි වී ඇති  කිළුටු ඇඳුම් නිසා මගේ බෝට්ටුව අපිරිසිදු කර ගැනීමට මට බැහැ.”  කියමින් ‘උඩඟු’ තම බෝට්ටුව වේගයෙන් ඉදිරියට පැදවූවාය.


තව මොහොතකින් එතැනට තම බෝට්ටුවේ පැමිණි,  ‘දුක්මුසුබව’ පසුගිය දිනක, යම්කිසි කරුණක් පිළිබඳව තමා සමග කතාබස්  කළ අවස්ථාවේ තමා ඇය අස්වැසු බව බව මතකයට නැගු  ආදරය,  ඇය තමාට උපකාරයක්  කරනු ඇතැයි සිතා,  ඇය ඇමතුවාය. එහෙත් ඇයගේ  ප්‍රතිචාරය වූයේ,

 

“මා මෙතෙක් කල් දුක්මුසු කමෙන්ම සිට හරියට හෙම්බත් වෙලා. මේ නිසා මට තවදුරටත් තනියම සිටින්නට ඕනෑ. ඒ නිසා ඔබ ගෙනයන්නට බැහැ “ යන්නයි.


ඊළඟට ඇය තමා අසලින්ම බෝට්ටුවක  එන ‘සතුට’ දැක මහත් සතුටට පත්ව ඔහුගේ පිහිට පතා හඬ නගා, 


“මා මුහුදේ ගිලෙන්නට හොඳටම ළඟයි. මට බෝට්ටුවක යාමට වත්කමක් නැහැ. අනේ ….. මා බේරාගන්න” කියමින්    කෑ ගැසුවාය.

 

ඒ වන විට උද්ගත වෙමින් පැවති,  මහත් විපත හමුවේ වුවද, ඒ ගැන  කිසි තැකීමක් නොකර උද්දාමයකින් සිටි ‘සතුට’, ඇයගේ ඉල්ලීම ගැන කිසි තැකීමක් නොමැතිව,  කිසිවක් නෑසුනාක් මෙන්  ඈතට බෝට්ටුව පදවාගෙන ගියේය.  


මේ ආකාරයට මහත් දොම්නසකින්  යුක්තව කල්පනා කරමින්   සිටින ආදරයට, හදිසියේම ඈතින් සිහින් කටහඬක් ඇසුණි.        


“එන්න  ආදරය  මා ඔබ රැගෙන යන්නම්.”  

කියමින් සිහින් කට හඬ නැගු අමුත්තා   ඔහුගේ  බෝට්ටුවේ වේගය අඩුකර,  ඇය අසලට පදවා නතර  කරන ලදී.    මහත් පිළිසරණක් ලද ආදරය, ආදර දූපත මුහුදු ජලයෙන් යටවී යාමට ඔන්න මෙන්න කියා තිබියදී,  වහාම එම අමුත්තාගේ බෝට්ටුවට ගොඩ වූවාය. ඒ බෝට්ටුව පැදවුයේ තමා කිසිදිනක කතාබස් කර නොමැති ‘වැඩිහිටිකම’ නමැති අද්භූත සංසිද්ධිය බව ආදරය පසුව තේරුම් ගත්තාය.

 

කිසිම කතාබහක් නොමැතිව බෝට්ටුවේ ටික වෙලාවක් ගමන් කළ ඔවුහු ගොඩ බිමට ලඟා වුහ. කිසිදෙයක් කථා නොකළ ‘වැඩිහිටිකම’ වහාම පිටත්ව ගියේය. 


තමන්ට වැඩිහිටි කම නමැති සංකල්පයට ස්තුති කිරීමටවත් නොහැකි වීම ගැන මහත් ලෙස කම්පා වූ ආදරය, කල්පනා කරමින් වෙරළ  තීරයේ ඉදිරියට පිය නැගුවාය. මෙසේ පිය නගද්දී,  කලකට පෙර,   ආදර දුපතේදී හමුවී ඇති ‘බුද්ධි’ මුහුදු වෙරළේ ගසක් සෙවනේ සැනසිල්ලේ සිටිනු ඇයට දකින්නට ලැබුණි.  ඔහු වෙත ගමන් කළ  ‘ආදරය’  තමාට  ජලයෙන් යටවී ගිය දූපතෙන් පිටවී,  ජීවිතය රැක ගැනීමට උපකාර කළ අද්භූත වැඩිහිටි  සංකල්පය ගැන විස්තර කර, ඒ කවරෙක්දැයි ඔහුගෙන් විමසුවාය.

  

“ඒ ‘කාළය’ නමින් හඳුන්වන  මගේ කල්‍යාණ  මිත්‍රයා”  ඔහුගේ පිළිතුර විය. 


“කාළය !  කවුද ඒ.?  මම ඒ නම ඇසුවේත් අදමයි.”


මේ ඇසූ  බුද්ධි තම ප්‍රඥාව ගැන ආඩම්බරයෙන් මෙන්, 


“ඒක තමයි. බොහෝ දෙනෙක් ඔහුගේ වැදගත්කම  ගැන දන්නේ නැහැ. ‘ආදරය’ ගැන මනා වැටහීමක් සහ එහි අගය ගැන අවබෝධයක් තිබෙන්නේ මගේ මිත්‍ර ‘කාළයට’ පමණයි.”   කියමින් බුද්ධි නොපෙනී ගියේය.

 

සමහරවිට, ‘ආදරය’  විවිධ හැඟීම් සහ චර්යා නිසා,  වරින් වර අඳුරු වලාවලින් වැසි ගියද, පසුව ‘කාළය’ මගින් එම කඩතුරා ඉවත් කර ආදරය යළි ප්‍රකෘතිමත් කර, නැවුම් භාවයකින් යුක්තව සුවපත් කරනු ඇත.   


 කියවන්නට ලැබුණු පැරණි ලිපියක් ඇසුරෙනි          



Tuesday, 12 October 2021

අමතක වීමක් නිසා සිදුවූ අකර තැබ්බයක්..........

 මා දකුණු පළාතේ විදුහලක සේවය කරද්දී විදුහල් ශිෂ්‍ය නිවාසයේම කාමරයක නතරවී සිටියෙමි. ශිෂ්‍ය නිවාසය භාරව සිටි මගේ මිත්‍ර ආරියරත්න, විදුහලේ ඉංග්‍රීසි ගුරුවරයෙකු වූ  අතර විදුහලේ ජේෂ්ඨ ශිෂ්‍ය භට කණ්ඩායම භාර ලුතිනන් වරයාද විය.

 

ඒ කාලයේ ඉතාම ජනප්‍රිය BSA මෝටර් සයිකලයක්ද ඔහුට තිබිණ. සති අන්ත වලදී අප දෙදෙනා මෝටර් සයිකලයෙන් ගමන් යාමට පුරුදුවී සිටියෙමු. ශිෂ්‍ය නිවාසයට යාමට පඩි කිහිපයක් නැගීමට තිබෙන නිසා රාත්‍රියට ප්‍රවේශම සඳහා මෝටර් සයිකලය පඩි උඩින් තල්ලු කර ආලින්දයට දැමීම අමාරුවෙන් වුවත් කළයුතු කාර්යයක් විය.

 

එක් සෙනසුරාදා දිනයක අප දෙදෙනාටම අවශ්‍යතාවක් සඳහා ගාල්ලේ බැංකුවකට යාමට සිදු  විය. අප දෙදෙනා මෝටර් සයිකලයෙන් ගාලු ගියෙමු. මට තවත් හිතවතෙකු හමුවීමට මාතර යාමට තිබුණු බැවින් ඒ බව ආරිට පවසා බස් රථයකින් මගේ ගමන ගියෙමි. ශිෂ්‍ය නිවාසයේ ගුරුවරු කවුරු හෝ සිටිය යුතු නිසා ආරි ඉක්මණටම ආපසු යන බව කිවේය.

 

මගේ හිතවතා හමුවී දහවල් ආහාරයත් ම්හුගේ නිවසින්ම ගත් මා සවස හයට පමණ ශිෂ්‍ය නිවාසයට පැමිණ පුරුදු පරිදි සාමාන්‍ය වැඩ වල යෙදී සිට, ආරිත් සමග රාත්‍රී ආහාරයද ගතිමි. තව ටික වෙලාවක් සතුටු සාමිචියේ යෙදී සිටි අපි  නින්දට සුදානම් වීමු.

 

මෝටර් සයිකලය ආලින්දයට දැමීම පිණිස එලියට ගිය ආරි, කලබලයෙන් මගේ කාමරයට පැමිණ

 

‘හරි වැඩේනේ, බයික් එක නැහැනේ. හොරෙක්වත් ගෙනිච්චාද දන්නේ නැහැ.’ හති ලමින්  මට කිවේය.

 

ඔහු විහිලුවක්‌ කරන්නේදැයි සිතු මා

 

‘එහෙනම් වෙන එකක් ගන්න එකනෙ  තියෙන්නේ ‘ කියා මමද විහිළුවක් කලෙමි.

 

‘මේ දයා, විහිළුවක් නෙමෙයි ඇත්තටම බයික් එක නැහැ. එළියට යමු ටිකක් බලන්න’


තරමක් අදිමදි කළ  මම ශිෂ්‍යයින් දෙදෙනෙකුටත් කතාකර, විදුලි පන්දමත් රැගෙන ආරි සමග එළියට ගියෙමි. නේවාසික සිසුන්ද මේ තොරතුර අසා කලබල වුහ. කෝකියෝ දෙදෙනාද සිද්ධිය සැලවී දුවගෙන ආහ.

 

ඇත්තටම වෙනදා තබන සථානයේ මෝටර් සයිකලය නැත. ටික වේලාවක් වටපිට සොයා බැලු අපි, සොරකමක් සිදුවී ඇති බව අනුමාන කර මේ බව පොලිසියට දැන්වීමට තීරණය කළෙමු.

 

වේලාව රාත්‍රී දහය පමණ වී ඇත. අපි පයින්ම පොලිසියට ගියෙමු. පැමිණිලි ලියා ගන්නා පොලිස් නිලධාරියා මුලික විස්තර සටහන් කරගත් පසු මෝටර් සයිකලය පිලිබඳ තොරතුරු දීම සඳහා ආරි ඔහුගේ කමිස සාක්කුවේ තිබුණු කඩදාසි කිහිපයක් පිටතට ගත්තේය. එසේ ගනිද්දී කුඩා කඩදාසි කැබෙල්ලක් බිමට වැටිණ. එය බස් ටිකට් පතකි. එය අහුලාගත් මම  ගුලිකර විසිකරන්නට තැත් කරන විටම, ආරි එය ඉල්ලා ගෙන නලළට අත තබාගෙන

 

‘හරි වැඩේනෙ, අද උදේ ගාල්ලේ ඉඳලා මම ආපසු ආවේ බස් එකේනෙ. ඔය ඒ බස් ටිකට් එකනේ. මෝටර් සයිකලය තවම බැංකුව ළඟනෙ’ කිවේය.

 

ඔහුගේ කියමනට  මට සිනහව මැඩ පවත්වා ගන්නට නොහැකි විය.

 

සිදුවන්නේ කුමක්දැයි වටහා නොගත් පොලිස් නිලධාරියා

 

‘ඉක්මන් කරන්න ඔය විස්තර ටික මට දෙන්න.’ යයි තරමක් උස් හඬින් කිවේය.

 

මහත් අසීරුවට පත්වූ ආරි ගොත ගසමින්

 

‘.....රාලහාමි.  ම් ...ම් ...ම්   පැමිණිල්ල ඉල්ලා අස් කර ගන්නවා’ යයි තතනමින් කිවේය.

 

‘මොනවා ...... දැන් බයික්  එක නැතිවූ බවක් නේද කිව්වේ. මොකක්ද මේක බොරු පැමිණිල්ලක්ද ?’

 

 ‘නැහැ රාලහාමි අමතක වීමක්’

 

‘මොකක්ද මට තේරෙන්නේ නැහැ මේ දෙබිඩි බාසාව. පැමිණිල්ල දානවද නැද්ද කියන එක විතරක් මට කියන්න.’

 

ආරි බිරාන්තව සිටින විට මම විස්තරය කීවෙමි.  උපහාසාත්මක සිනහවක් පැ පොලිස් නිලධාරියා, විහිලුවට මෙන් පරුෂ වචන කිහිපයක්ද කියා .........

 

‘දැන් මේ පැමිණිල්ලේ කොටසක් ලියලා. මේක කැන්සල් කරන්න බැහැ. එහෙනම් මේක ‘ඉල්ලා අස් කර ගන්නවා’ කියා යටින් ලියා අත්සන් කරන්න’ කියමින් 

 

පැමිණිලි පොත අප දෙසට තල්ලු කළේය. මටද, පැමිණිල්ල ඉල්ලා අස් කර ගැනීම පිලිබඳ සාක්කියකට අත්සන් කරන්නට සිදුවිය.

 

මහත් ලැජ්ජාවට පත්වූ අපි පොලිස් නිලධාරියාට ස්තුති කර එන්නට සැරසෙන විටම  ඔහු යළි  අප ඇමතීය. 

 

‘එහෙම යන්නට බැහැ. මෝඩ වැඩ කළාට නීතියට අනුව පැමිණිල්ල ඉල්ලා අස් කර ගැනීම ඕ අයි සි අනුමත කරන්නට ඕනෑ. යමු ඕ අයි සී  ගේ කාමරයට’

 

යයි කියා අප සමග පොලිස් ස්ථානාධිපතිගේ කාමරය ඇතුළට ගියේය.

 

ස්ථානාධිපතිපති වරයා විස්තරය අසා, සාවඥ  සිනාවක් පා,

 

‘මෝටර් සයිකලයේ පාරේ යන කොටවත් සිහි බුද්ධියෙන් යන එක හොඳයි.’

 

කියමින් පොලිස් පොතේ අවලංගු කළ පැමිණිල්ලට අනු අත්සනක් තැබිය.

 

කිසිවක් කතා නොකර පොලිසියෙන් පිටතට පැමිණි පසු

 

‘දැන් ඉතින් මොකද කරන්නේ.’  කියා මම ඇසීමි.

 

‘බයික් එක බැංකුව ඉදිරිපිට දැම්මේ. රෑ උනාට කරන්නට දෙයක් නැහැ. මේ දැන් වාහනයක් කුලියට අරගෙන යමු.’ ආරි කිවේය.

 

කළ හැකි වෙනත් කිසිම දෙයක් නොමැති නිසා මම ඔහුගේ යෝජනාවට කැමති වීමි.

කුලී රථයකින් නැවත ගාල්ලට යන විට  රාත්‍රි දොළහ ට ආසන්නය.

 

එදින උදේ  ආරිට තවත් සගයෙක් මුණ ගැසී ඔහු සමග කතා කරමින් ගොස් මෝටර් සයිකලය ගැන අමතකවී, බස් රථයෙන් ආපසු ගිය බව ඔහු නැවතද මා සමග කියා

 

‘ඔය වගේ අමතකවීම් කාටත් වෙනවා.’ කියාද කිවේය.

 

‘මම නිශ්ශබ්දව නොඇසුනා මෙන් සිටියෙමි.’

                                                   _         _         _          _          _

 

අප දෙදෙනා කුලී රථයකින් ගාල්ලේ බැංකුව අසලට යනවිට, මෝටර් සයිකලය වටා පිරිසක් රැස්වී සිටින බව අපි දුටුවෙමු. ඒ අය පොලිස් නිලධාරින් දෙදෙනෙකු සහ බැංකුවේ ආරක්ෂක නිලධාරින්  කිහිප දෙනෙකි.

 

පිරිස අතරින් පොලිස් නිලධාරියා වෙත ගිය ආරි ‘සමාවෙන්න රාළහාමි. මේ බයික් එක මගේ.’ කියා බැගෑපත් විය. 

 

‘හා ..... හා.... ඔයාද අයිතිකාරයා. අද උදේ ඉඳලා මෙච්චර වෙලා මොන .......... ගියාද ? අපට පණිවුඩයක්‌ ලැබුනා මේ  මෝටර් සයිකලය අත් අඩංගුවට ගන්නටය කියළා.’ පොලිස් නිලධාරියා කිවේය.

 

‘රාලහාමි මේ පොඩි අමතකවීමක්   උනේ. මෙන්න මගේ විස්තර’ කියා ආරි ඔහුගේ ලියවිලි පොලිස් නිලධාරියාට පෙන්වා මෝටර් සයිකලය නිදහස් කර දෙන ලෙස ඉල්ලා සිටියේය.

 

‘එහෙම කරන්නට බැහැ. මේක ඉහළින් ආපු නියෝගයක්. පොලිසියට යන්නට වෙනවා.’ කි පොලිස් නිලධාරියෙක් මෝටර් සයිකලයේ යතුර ඉල්ලා ගත්තේය.

 

නැවත ගාල්ල පොලිසියේ රස්තියාදු  වීමට සිදුවිය. අප දෙදෙනාගෙන් සහ බැංකු ආරක්ෂක නිලධාරියාගෙන් කට උත්තර ලබාගෙන  මෝටර් සයිකලයේ යතුර අයිතිකරුට භාර දෙන විට අලුයම දෙක පසුවී තිබිණ.

 

මෙය නොසැලකිල්ල නිසාම නොව අවධානයෙන් තොර බව නිසාම සිදුවන අමතකවිමකි. Absent-mindedness යනුවෙන් හඳුන්වනුයේ මෙවැනි අමතක වීම්ය. මිට පෙර සහ පසුවත් අමතක විම් නිසා ඔහුට සිදුවී ඇති බොහෝ සිද්ධි ගැන කල්පනාකාර බලන විට මෙය ඔහුගේ චරිත ලක්ෂණයක් බව පැහැදිලි වේ.

 

මෝටර් සයිකලයේ අයිතිකරු වන ආරි ඔහුගේ දරුණු අමතක වීම  නිසා දැඩි අසහනයකට පත්විය. මධ්‍යම රාත්‍රියේ කුලී වාහනයකින් ගිය ගමන  සඳහාත් ඔහුට ලොකු මුදලක් වැය කිරීමට සිදුවිය.

 

බොහෝවිට මෝටර් සයිකලයේ පිටුපස ආසනයේ ගමන් බිමන් යන මට ද මිත්‍රයා වෙනුවෙන්, නිදි වරමින් හාස්‍යය මුසු  පිඩාවක් විඳීමට සිදුවිය..