Monday, 22 February 2021

දෙව්ලොව ගිය පෘථිවි විද්‍යාඥයින්ගේ සුහද හමුවක් ! Scientists from Earth meet in Heaven !

       සුගිය ශතවර්ෂ කිහිපය තුළ මෙලොව ජීවත්වූ විද්‍යාඥයින් සියලු දෙනාම වාගේ මරණින් පසු චුතවී, දිව්‍ය ලෝකයේ ඉපදීමට වාසනාව ලබා තිබේ. ඔව්හු දිව්‍ය ලෝකයේ විවිධ ස්ථානවල ජීවත් වූවත් එකිනෙකා නමින් හඳුනනවා මිස ඔවුන් අතර වෙනත් කිසිම සම්බන්ධයක් නොවීය. 

නිකරුනේ කාලය ගත කරමින් සිටින විද්‍යාඥයින්ගේ එකමුතුවක් සංවිධානය කිරීමට කල්පනා කළ පයිතගරස්,  තමන් හොඳින් දන්නා ඇරිස්ටෝටල්ට  මේ සම්බන්ධව දුර කථන පණිවුඩයක් දුන්නේය. 

“ඇරිස්, මම පයිතගරස්. මට පොඩි අයිඩියා එකක් ආවා, ඒකයි මේ තකහනියක්ම කතා කළේ. අපි මනු ලෝකයේ කොයි තරම් වැඩ කරපු අයද?   මෙහෙට වෙලා නිකම්ම සිටින එකේ, අපගේ එකමුතුවක් හදලා මාසයකට වරක් වත් හමුවෙලා නැවතත් මොනවා හරි වැඩක්  පලක් කරන්නට පටන් ගනිමුද?”

පයිතගරස්ට  ඇරිස්ටෝටල්ගෙන් ක්ෂණික පිළිතුරක් ලැබිණ.

“හොඳ  අදහසක් බොස්, මටත් ඔය ගැන හිතිලා තිබුණේ.”  

“ඇරිස්,  මගේ ‘පයිතගරස් තියරම්’ එකේ ඍජු කෝණීය ත්‍රිකෝණය කුමන ආකාරයකට ඇන්දත්,  ඍජු කෝණය සෑදෙන පැති දෙකේ  දිගෙහි වර්ග ඵල දෙකේ ඓක්‍යය, ඉතිරි පැත්තේ දිගෙහි වර්ග ඵලයට   සමාන වෙන්නේ මොකද කියා මටම මහත් ගැටළුවක්. දැන්  සති කිහිපයක සිට මම මේ ගැනම කල්පනා කරමින් ඉන්නේ. නිකම්ම  a2 + b2 = c2    කියන එකේ  දැන් කාලෙට ගැලපෙන ලොකු ගැම්මක් නැහැ.  මට තවම ඒකට මීට වඩා ගැඹුරු තේරුම්  ගැනීමට අමාරු  ප්‍රකාශනයක්  හොයා ගන්නට බැරි උනානේ. මට මේකත් ඔයා එක්ක ටිකක් සාකච්ඡා කරන්න ඕනෑ. ඉක්මණට මුණ ගැසෙමු.” 

පයිතගරස් ඊළඟට කතාකලේ නිව්ටන්ටය. කම්මැලිකම නිසාම උයනක විශාල පරසතු ගසක් යට සෙවනේ, අඩ  නින්දේ  සිටි නිව්ටන් ඈනුමක් හරිමින්, නාද වූ  තම මොබයිල් දුරකථනය ක්‍රියාත්මක කර එහි ඩයලය දෙස ටික වෙලාවක් බලා සිටියේය. මොබයිල් දුරකථනයේ පයිතගරස්ගේ  නම සහ ඔහුගේ මුඩුම මුහුණ දුටු විගසම එය ක්‍රියා විරහිත කිරීමට මොහොතක් කල්පනා කළ නිව්ටන් 

“ඕනෑ එකක්, ලොක්කාගෙ අලුත් අදහසක්ද දන්නේ නැහැනේ” යි සිතමින් පණිවුඩයට සවන් දුන්නේය.

පයිතගරස් ඔහුගේ ‘දෙව්ලොව විද්‍යාඥ එකමුතුව’ පිලිබඳ අදහස ගැන නිව්ටන්ටත් කීවේය. 

“අදහස නම්  හොඳයි. ඒ උනත් ඔය කියන ‘එකමුතුව’ හදලා වැඩක් වෙයිද?  අපේ පෘථිවියේ සිටින අලුත් පරම්පරාවට එහේ  සිටීමත් එපා වෙලා, දැන් අඟහරු ලෝකෙටත් යන්න හදනවා කියන්නේ. ඇමෙරිකාවයි, චීනෙයි, අරාබියයි තරඟෙට ඒ ගැන වලිකනවාලු . අපිත් ටිකක් ඒ වගේ එකක් ගැනත්  හිතලා බැලුවොත් නරකද ?” 

කියා තරමක සාවඥ සිනාවක් පෑ  නිව්ටන්, 

“ඔයාගේ තියරම් එකෙත්  අවුලක් තියෙනවා කියලා නිවේදනයක් නිකුත් කරලා කියලා මට ආරංචියක් ආවා. ඒක ඇත්තද? ඔය මොනවා කළත් කිසි වැඩක් නැති පාටයි. මට නම් ඔය කොයිවත් එපා වෙලා සිටින්නේ, ඒ උනත් කනබොන, ජොලි කරන වැඩසටහනක් තිබෙතොත් මම එතනට එක පයින් ‘ඇපල්  ගෙඩියක් ගහෙන් බිමට එනවා  වගේ’ මොහොතකින් ආකර්ෂණය වෙනවා.” කියමින් මහා හඬින්  සිනාසුනේය.

නැවත කථාකළ නිවුටන් 

“මම  මේ  කල්පනා කරමින් සිටින්නේ, මෙහේ ජාතික වෘක්ෂය වන  මේ පරසතු ගස් වලින් කිසි වැඩක් නැහැනේ. පරසතු ගෙඩිත් දැන් ඇඹුල් රසයි. ඒ නිසා ‘රස ගුණ පිරි’ පරසතු ගෙඩි සහිත, කුරු මිටි ගස් විවිධ  ප්‍රභේද රාශියක්, හරිතාගාර වල වැවීමට යෝජනාවක් දිව්‍ය මන්ත්‍රණ සභාවෙන් සම්මත වෙලාලු.” 

ටික වෙලාවක් කල්පනා කළ ඇරිස්ටෝටල්, 

“ඉතින් ඔය රූස්ස ගස් තිබෙන පරසතු වනාන්තරවලට මොකද කරන්නේ” යයි ප්‍රශ්න කළේය.

“පරසතු අංක එකේ දැව වර්ගයක්ලු. පරසතු දැව සකස් කිරීම සඳහා, දේවේන්ද්‍ර  රජයේ අනුග්‍රහයෙන් අන්තර් ග්‍රහලෝක මට්ටමේ විශාල දැව කර්මාන්ත ශාලාවක් පටන් ගන්නට යනවලු. තව අවුරුදු කිහිපයකින් ‘පරසතු දැව’ අඟහරු ලෝකෙටත් අපනයනය කළ  හැකි  වේවි.”     

“පරසතු වනාන්තරයටත් අඟහරු කොහොම වෙතත්, සෙනසුරු ලබන්නට වගෙයි”  සිතූ පයිතගරස් තම ඇමතුම විසන්ධි කළේය.

ඔහු ඊළඟට ඇමතුමක් ගත්තේ චාල්ස් ඩාවින්ටය. 

“චාලි කොහොමද වාසෙ ...දේසේ……?  අපි  කාලෙකින් හමු උනෙත්  නැහැනේ. මොනවද අලුත් අදහස් එහෙම?” 

දුර කථන පණිවුඩයට වහාම පිළිතුරු දුන් ඩාවින්  

“හා ….මේ ලොකු අයියා  නේ …… අපිවත් මතක් වෙලා වගෙයි. මොකද අර ‘තියරම්’ එකේ අවුල විසඳා  ගත්තද?” කියා පයිතගරස් බලාපොරොත්තු නොවූ දෙයක් එක්  වරටම ඇසීය. 

මෙයින් තරමක් පසුබෑ පයිතගරස්, තමාගේ තියරම් එකේ අඩුපාඩුව මේ තරමේ කටකතාවක් වී තිබීම ගැන පුදුමයට පත්විය.  දැන් එහි කිසිම ව්‍යාකූල භාවයක් නොමැති බව පෙන්වීමට අවශ්‍ය බැවින්, අලුත්ම තත්ත්වය ගැන මෙසේ  අදහස්  දැක්වීය. “මගේ  තියරම් එකේ අවුල දැන් බොහෝ දුරට විසඳිලා, ඇරිස්ටෝටල් උන්නැහෙත් අලුත් උපදෙස්  කිහිපයක්ම දුන්නා. හෙට අනිද්දට ඒකට ඇමුණුමක් දාලා තව ටිකක් සංකීර්ණ කරල ශේප් කර දාන්නයි  හදන්නේ.”

අන් කෙනෙකුගේ සුළු අඩුපාඩුවක් වුවත් හාර අවුස්සන අය  දිව්‍ය  ලෝකයට ආ පැරණි මනුෂ්‍ය විද්‍යාඥයින් අතරත් සිටීම ගැන පයිතගරස්ට තරමක දුකක්ද ඇතිවිය. කොහොම වෙතත් මේ සමගම ඩාවින්ටත්  තරමක ඇනුම් පදයක් කීම සඳහාම ඔහු නැවත  මෙසේ ඇසීය.

“මිනිස් ලෝකයේ අලුතින්  පටන් අරන් තිබෙන  ජාන තාක්ෂණය කියන අපබ්‍රංශය නිසා ඔයාගේ පරිණාම වාදයටත්  අලුත් අර්ථයක් එකතු කිරීමට පිරිසක් ලොකු සටනක් ගෙන යනවා  කියන්නේ ඇත්තද?”

“ඔය කියන්නේ DNA ගැනනේ. ඔය කාරණය  මාත් දැනගෙන හිටියා. ඒ උනාට ඒ කාළේ බොහෝ අයට නොතේරුන නිසා මම ඕකට නමක් දැම්මේ නැහැ. මම දැන ගත්තා කවද හරි ඔය ටික තේරුම් ගනියි කියල. මේ ලඟදි මනු ලෝකෙට කඩා පාත්වූ  ‘පිට සක්වලින්’ පැමිණියා  යයි තවමත් සිතා සිටින,   කොරෝනා වසංගතය නිසා තමයි ඔය තර්කය ජනගත උනේ. වයිරසයේ අලුත් ප්‍රභේද හිටි හැටියේ හටගැනිම පරිණාමයේම  සංසිද්ධියක් හැටියටයි  මා දකින්නේ. ඒ කියන්නේ පරිණාමයත් පරිණාමය වෙලා. වෙනසකට තියෙන්නේ මේ වයිරස් පරිණාමය හරිම වේගවත්. මේ නිසා මෙයින් මගේ පරිණාම වාදයට වඩාත් ගැඹුරු නව අර්ථ කථනයක් ලැබෙනවා.” යනුවෙන් දීර්ඝ විස්තරයක් කළේය.

මම මේ වැඩිපුරම කතාකලේ අපේ විද්‍යාඥ කාණ්ඩයේ අයගේ ‘වියත් සුහද එකමුතුවක්’ හදා ගැනීම සඳහා ඔබගේත් අදහස් ගන්න. පයිතගරස් අවශ්‍යතාවය පැහැදිලි කළේය.

තරමක් අදි  මදි කරමින්   පිළිතුරු දුන් ඩාවින්,  “වැඩේනම් හොඳයි. ඒ උනත් කව්ද ඕවා සංවිධානය කරන්නේ. මෑතකදී මිනිස් ලෝකයේදී නොබේල් තෑග්ග ලැබිලා මේ ලඟදි මෙහේට ආ අර ‘සාපේක්ෂතාව’ කියලා අලුත් තියරියක් ඉදිරිපත් කරපු හාදයා ඔය  වැඩේට හොඳ ඇති. මට නමත් හරියට මතක නැහැ. ‘යංග් බ්ලඩ්’ නේ. කියපු ගමන්ම වැඩේ බාර ගනියි.” 

“ආ ….. ඔය කියන්නේ ඇල්බට් ගොයියා නේද?  හරි…. හරි….. අයින්ස්ටයින් ද කොහෙද වාසගම.  මම නම් මිනිහව ඒ තරම් දන්නේ නැහැ. චාල්ස් ළඟ නැද්ද මිනිහගේ ඊ මේල් ලිපිනය එහෙම”. පයිතගරස් ඇසුවේය. 

ටික වෙලාවක් කල්පනා කළ ඩාවින්ට   යමක් මතක් වී

 “හරි….. හරි….  මට දුරින්   නෑ කමකුත් තිබෙන, මෙන්ඩලීෆ්  එයාගේ පරණ ආවර්තිතා වගුවේ ආකෘතිය අනුව, විද්‍යාඥයින්ගේ වගුවක් හදන්නට හදනවා. ඒකෙත් සිරස් කාණ්ඩ සහ තිරස් ආවර්ත තියෙනවලු. අපි කාගේත් සංකේත ඒකට දාලා. මගේ සංකේතය  CD.  මෙන්ඩලීෆ්ගේ සංකේතය DM ලු. ඔයාගේ සංකේතය සමහරවිට PG වෙයි. මේ නම් කිරීමට ගන්නේ අපේ නම්වල මුල අකුරුලු. ආවර්තිතා වගුවේ තිබෙන තවම සොයා නොගත් මූල ද්‍රව්‍ය වලට තිබෙන හිස් තැන්  වගේ මේකෙත් හිස් තැන් තිබෙනවාලු. ඒ කියන්නේ තමන්  විද්‍යාඥයින් යයි සිතාගෙන  ගල් පැලෙන තර්ක ඉදිරිපත් කර, මහා ලෝක අර්බුද ඇති කරන  දේශපාලන තක්කඩි ‘විද්‍යාඥයින්ගේ’  නම් වලින් හිස් තැන් ළඟදීම  පුරවනවාලු. එයා ළඟ කාගේත් විස්තර ඇති. මම ඒ තොරතුරු සොයා දෙන්නම්.” කියමින් ඩාවින් පයිතගරස්ගේ ඉල්ලීමට කැමැත්ත පළ  කළේය.

පයිතගරස් මීට පසු  කථා කළේ  ආකිමිඩීස් ටය. මොබයිලය හත් අට වරක් නාද  වීමෙන් පසු  ආකිමිඩීස්ගේ “හෙලෝ ...ඕ ...ඕ ….” පිළිතුර සහිත ගැඹුරු කටහඬ ඇසිණි 

“හා … කොහොමද සහෝදරයා, මම පයිතගරස්. අවුරුදු කිහිපයකින්නේ මේ කතාකරන්නේ. දැන් කොහොමද ඔය පැත්තේ අලුත් ආරංචි එහෙම?”

ටික වෙලාවක නිස්ශබ්දතාවයකින්    පසු  ආකිමිඩීස්ගේ ගැඹුරු කටහඬ නැවත ඇසිණි. 

“වරදක් නැහැ පයිතගරස්. මම මේ කල්පනා කරමින් සිටියේ, මිනිස් ලෝකයේ NASA කට්ටිය එකතු වෙලා අඟහරු ලෝකෙට යවපු  Perseverance Rover යානාව ගැන. ඒ අය  අඟහරු පස් එකතුකර එකවරටම පෘථිවියට ගෙනෙන්නේ නැතිව, පසුව යන ගමනකදී ගෙන ඒමට තැන්පත් කර තැබීමට තීරණය කිරීම මට හරිම රහසක්. මේකේ මොකක් හරි යටි අදහසක් තිබෙන්නට පුළුවනි. හේතුව කියන්නේ නැහැ. කාගෙන් අහන්නද?  මොකද මේ ගැන  ඔයාගේ අදහස.?” 

“ඇරත්, මට හදිසියේම කථා  කළේ අලුත් Project එකක් ගැනවත් හිතුවද?”

“අඟහරු ලෝකයට ගොඩ බස්සවන Rover යානය ගැන නම් මම  කිසිම හාන්කවිසියක් දන්නේ නැහැ. මම නම් ඕව ගැන වැඩි උනන්දුවක් නැහැ.  මට හිතුනා අපි මෙහේ සිටින වයස්ගත විද්‍යාඥයින්ගේ ‘සුහද හමුවක්’ සංවිධානය කිරීමට. මම තවත් කිහිප දෙනෙකුටම කතා කළා. කවුරුත් කැමතියි.” පයිතගරස් පැවසීය.

“වැඩේ සංවිධානය කරන්නට  භාරදෙන්නේ මේ මෑතදී මෙහෙට  ආ සාපේක්ෂතා වාදියා, අයින්ස්ටයින්ට”. පයිතගරස් අලුත්ම තත්ත්වය පැහැදිලි කළේය.

“හොඳ අදහසක්. දැන් අලුත් අයත් රාශියක්  සිටිනවානේ. මමත් ඉහලින්ම කැමතියි.” ආකිමිඩීස් කීවේය.

“සාපේක්ෂතා වාදියා මේ වැඩේට බොහොම හොඳයි. එහෙනම් ඉක්මණටම හමුවෙමු. ඔබට ස්තුතියි. ගුඩ් නයිට්”  කියා ඔහු මොබයිලය විසන්ධි කළේය. 

ඒ අනුව පයිතගරස් අයින්ස්ටයින් ට   ඇමතුමක් ගත්තේය. “ හෙල් ….ලෝ ...ඕ.   ඇල්බර්ට්, මම පයිතගරස්. කාලෙකින් කතාකලේ. කොහොමද තොරතුරු.”

“දීර්ඝායු වේවා අන්කල්, කට හඬ අහන්නත් ආසයි. අපි හොඳින් ඉන්නවා. කොහොමද ඔය පැත්තේ තොරතුරු?” ඔහුගේ ක්ෂණික පිළිතුරයි.

“මම ඇල්බර්ට් ට කථාකලේ අලුත් වැඩක් ගැන යෝජනාවක් කරන්නයි.  අපි මෙහෙ ජීවත්වෙන මනුලොවින් ආ විද්‍යාඥයින්ගේ සුහද හමුවක් පැවැත්වීමට අදහසක් පහල උනා. මම ඇරිස්ටෝටල්, නිව්ටන්, ආකිමිඩීස්, මෙන්ඩලීෆ්, ඩාවින්   වගේ වැඩිහිටියන් කිහිප දෙනෙක් එක්කත් කතා කළා. මේ වැඩේට හැමදෙනාම කැමතියි.  අපි ඒකමතිකව තීරණය කළා මේ සුහද හමුව සංවිධානය කිරීමේ කටයුතු අල්බර්ට්ට භාර දෙන්න.” පයිතගරස් තම අදහස දැන්විය. 

ටික කලකට පෙර පයිතගරස් සහ අයින්ස්ටයින් අතර
a2 + b2 = c2 සහ E = m c2 යෙදුම පිලිබඳ මතභේදයක්ද ඇතිවිය

කලකට පෙර පයිතගරස් සහ අයින්ස්ටයින් අතර a2 + b2 = c2 සහ E = m c2 යෙදුම පිලිබඳ මතභේදයක් හටගෙන තුබුණත් එය දෙදෙනාටම අමතකවී ගොස් තිබුණු නිසාදෝ, ඉතාමත් කුළුපග ආකාරයකට කතාබස් කළහ.

“මම නම් ඔය හැමදෙනාම හඳුනන්නේත් නැහැ. ඒ උනත් හොඳ වැඩක් නිසා මග හරින්නත් බැහැ. අන්කල්ගේ උදව්වත් ලැබෙනවානම් මම වැඩේ භාර ගන්නම්. මේ හැමෝගෙම ලිපිනයන් හොයා ගන්නේ කොහොමද?  අයින්ස්ටයින් ඇසීය.

“වැඩේ බොහොම ලේසියි. මෙන්ඩලීෆ්  එයාගේ පැරණි ආවර්තිතා වගුව වගේ අලුතෙන් ‘විද්‍යාඥ වගුවක්’ කියා අටමගලක් හදන්නට යනවාලු. මේකට එයා එකතු කරගත් තොරතුරු සහ කාගේත් ඊ මේල් ලිපිනයන් තිබේලු. මේ සියල්ල ලබාගෙන දවස් කිහිපයකින් මම ඔයාට ඊ- මේල් කරන්නම්.. “

දින කිහිපයකින්ම මනුලොව සිටි පැමිණි, එහිදී  විවිධ ක්ෂේත්‍රවල නොයෙකුත් දක්ෂ කම් පෑ විද්‍යාඥයින් සිය දෙනෙකුගේ පමණ  ඊ මේල් ලිපිනයන් සහ වෙනත් තොරතුරැ අයින්ස්ටයින් ට, පයිතගරස්ගෙන් ලැබිණ.  

සති කිහිපයක්  ගතවිය. සියලු කටයුතු මනාව සංවිධානය කරනලද අයින්ස්ටයින් විසින් යවන ලද, ආරාධනා පත්‍රය සහ ඊ- මේල් පණිවුඩයට සියලු දෙනාගෙන්ම යහපත් ප්‍රතිචාර ලැබිණ.  තවත් සති කිහිපයකින්, දෙව්ලොව  රාජකීය විද්‍යා මන්දිරයේදී මනුලොවින් ආ විද්‍යාඥයින්ගේ ‘මහා සුහද හමුව’ ඉතාමත් උතකර්ෂවත්    අන්දමින් පවත්වන ලදී. පැරණි විද්‍යාඥයින් සියයකට අධික පිරිසක්  සහභාගිවූ එම ඓතිහාසික විද්‍යාඥ සුහද හමුවේ ආරාධිත අමුත්තා වූයේ, සියලු තේජෝ බල පරාක්‍රමයන්ගෙන් අගතැන් පත් මහා ශක්‍ර දේවේන්ද්‍ර උතුමාණන්  වහන්සේය.

දිව්‍ය භෝජන සහ දිව්‍ය  මධු විතෙන් පිරුණු,  ආලකමන්දාවේ අංක එක ශාලාවේ, සුහද හමුව පැවැත්විණි. කුසපත් ඇදීමෙන් තෝරාගත් ඉහලම පැලැන්තියේ දිව්‍යාංගනාවන්ගේ නැටුම් ගැයුම් වලින් අලංකෘත වූ, මනුලොවින් පැමිණි විද්‍යාඥයින්ගේ  එම ‘සුහද එකමුතුව’ එතෙක් දෙව්ලොව  පැවතී  ඉහලම ගණයේ ප්‍රිය සම්භාෂණයක්ම විය.     

 


Tuesday, 2 February 2021

සෙල්සියස් ( oC) සහ ෆැරන්හයිට් ( oF) උෂ්ණත්වමාන මගින් ලැබෙන මිණුම් පාඨාoක පිලිබඳ විමසුමක්

  

1.අප භාවිත කළ පැරණි මිනුම්  

     පසුගිය හැටේ දශකයේදී, ජාත්‍යන්තර මිණුම් ඒකක (SI Units), සම්මත මිණුම් ඒකක ලෙස, ජගත් පිළිගැනීමට පත්වන තුරු, අපගේ පැරැණ්නන් විසින්  භාවිත කර ඇත්තේ, සම්ප්‍රදායික මිනුම් ඒකක විය. මෙසේ බහුලව භාවිත වූයේ  බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය ඒකක (British Imperial Units)  යන ගාම්භීර නමින් හැඳින්වූ ඒකක විය. මෙම මිනුම් යාර, අඩි, අඟල්  සහ රාත්තල් අවුන්ස ආදිය විය.   මීට පෙර සිටම අප රටෙහි අපටම ආවේණික කිරුම් මිණුම්ද තිබිණ. මෙසේ භාවිත කළ කලං සහ මන්චාඩි, දැනුදු දේශීය ඖෂධ වෙළඳ සැල්වල  ඖෂධ අමුද්‍රව්‍ය බර කිරීම සඳහා භාවිත වේ.(මෙහි මන්චාඩිය යනු මදටිය ඇටයක බර වේ.) එසේම දිග මැනීම සඳහා වියත, රියන, බඹය වැනි ඒකකද  යොදා ගෙන ඇත. (මෙම මිණුම් වැඩුණු මිනිසෙකුගේ අතෙහි කොටස් හෝ දෑත විදහා ගත්විට දැක්වෙන දුර ලෙස සැලකේ). පියවර මැනීමෙන් වේලාව පිලිබඳ නිගමනයට පැමිණීමේ ක්‍රමවේදයක්ද භාවිත වී ඇති බවට සාක්ෂි තිබේ. දහවල් කාලයේ සූර්යාලෝකය නිසා පොලොව මත  වැටෙන තම සෙවනැල්ලේ දිග පාදයේ පියවර වලින් මැන, එම පියවර සංඛ්‍යාවට සාපේක්ෂව වේලාව කියවීම සඳහා යොදවා ගැනීම පියවර ශාස්ත්‍රයයි.   මෙසේම  පරිමාව, ක්ෂේත්‍ර ඵලය, දුර, කාලය   වැනි මිනුම් සඳහාද  දේශීය ඒකක භාවිත කර තිබෙන බව හෙළිවේ. එහෙත්, අතීතයේදී  ඔවුන් උෂ්ණත්වය මැනීම සඳහා යම්කිසි  ක්‍රමවේදයක්  භාවිත කළේද යන්න අප්‍රකටය. සමහරවිට ශරීර උෂ්ණත්වයේ මිනුම්,  නාඩි ශාස්ත්‍රය අනුව කරන ලද්දේ යයි අනුමාන කළ හැකිය.


2. උෂ්ණත්වමාන භාවිතය 


වර්තමානයේදී විවිධ කාර්යයන් සඳහා උෂ්ණත්වය මැනීමේදී, විවිධ සැකසුම් සහිත උෂ්ණත්ව මාන භාවිත කරණු ලැබේ. වෛද්‍ය උෂ්ණත්වමානය, අවම උපරිම උෂ්ණත්වමානය, පාංශු උෂ්ණත්වමානය වැනි උපකරණ වලට අමතරව, ඉතාමත් නිවැරදිව උෂ්ණත්වය මැනීම සඳහා භාවිත කරනු ලබන විවිධ ආකාරයේ ඉලෙක්ට්‍රොනික උෂ්ණත්වමාන අද බහුලය.    මෙම ලිපියේ  විශේෂයෙන්ම  අවධානය යොමු වනුයේ පාසැල් පන්ති කාමරයේදී, උෂ්ණත්වය මැනීම ඉගැන්වීම  සඳහා භාවිත වන සෙල්සියස් සහ ෆැරන්හයිට් සාමාන්‍ය උෂ්ණත්වමාන පිලිබඳවය.


පාසල් අධ්‍යාපනයේදී සිසුන්ට සාමාන්‍ය උෂ්ණත්වමාන හඳුන්වාදෙනු ලබන්නේ අටවන  හෝ නව වන ශ්‍රේණි වලදීය. මෙහිදී සෙල්සියස් සහ ෆැරන්හයිට් යනුවෙන් දෙආකාරයක උෂ්ණත්වමාන භාවිතය පිළිබඳව බොහෝ විට සිසුන්ට කුතුහලයක් මතුවන බව අසන්නට ලැබේ. විද්‍යාත්මක කටයුතු වලදී බොහෝ දුරට සෙල්සියස් උෂ්ණත්වමාන භාවිත කරනු ලැබුවත්, තවමත් ඉගැන්වීමේ කටයුතු වලදී ෆැරන්හයිට් උෂ්ණත්වමානයද භාවිතය සමහරවිට සිසුන්  තුළ ව්‍යාකූල  බවක් ඇතිකිරීමට හේතුවී  තිබේ.  

 

පාසැල් විභාග වලදීත් බොහෝවිට අපොස සාමාන්‍ය පෙළ වැනි රජයේ විභාගවලදීත්, නිරතුරුවම උෂ්ණත්වමාන වලට අදාළ ප්‍රශ්න ලැබේ. මෙයින් සරලම ප්‍රශ්න වනුයේ, දෙනලද සෙල්සියස් උෂ්ණත්වමාන පාඨාoකයක්  ෆැරන්හයිට් වලට හෝ ෆැරන්හයිට් පාඨාoකයක් සෙල්සියස් වලට හැරවීම ආශ්‍රිත බහු වරණ ප්‍රශ්න වේ.


සමහර අවස්ථාවලදී දැන උගත් වැඩිහිටියන්ට  පවා මෙම උෂ්ණත්ව පරිමාණ දෙක පැටළිලි සහිත බවද අසා තිබේ. දශම ක්‍රමයේ සම්මත ජාත්‍යන්තර එකක වලට අනුරූප, සෙල්සියස් උෂ්ණත්ව මිනුම් ඒකක තිබියදීත්, මේ වන තුරුම තරමක් ව්‍යාකූල තත්ත්වයක පවතින  ෆැරන්හයිට් උෂ්ණත්වමානද භාවිතයේ පැවතීම සම්ප්‍රදායික චින්තනයේ එල්බ ගැනීමක් විය හැකිය.  අපගේ අවධානය යොමුවනුයේ සෙල්සියස් සහ ෆැරන්හයිට් උෂ්ණත්වමාන භාවිතය පිලිබඳවය.


විස්තර කිරීමේ පහසුව සඳහා සෙල්සියස් උෂ්ණත්වය  °C යනුවෙන් සහ ෆැරන්හයිට් උෂ්ණත්වය °F ලෙසටත් හැඳින්වේ.  °C සහ °F උෂ්ණත්ව එකකින්  අනිකට පරිවර්තනය කිරීම සඳහා ඉතා සරල සුත්‍ර දෙකක් දැනගෙන සිටිය යුතුමය.   ඒවා නම්:   

        °C = (°F – 32) ÷ 1.8 …… …... (i)        සහ   °F =  (1.8 x °C) + 32 ……..       (ii)  වේ.                                                                                                                                                                   මුලින්ම මෙම සූත්‍ර පිලිබඳ නිසි අවබෝධයක් නොමැති වුවහොත් සිද්ධාන්තය තේරුම් ගැනීමට අපහසුය. මෙම සූත්‍ර දෙකෙහි  ‘32’  සහ ‘1.8’  සංඛ්‍යා භාවිතය පිළිබඳව විශේෂයෙන් සැලකිලිමත් වීම අවශ්‍යය.  මේ සඳහා  පහත දැක්වෙන තොරතුරු බෙහෙවින් ප්‍රයෝජනවත් වේ. 


3. උෂ්ණත්වමාන නිර්මාණයේ ඉතිහාසය 


විද්‍යාත්මක සිද්ධාන්තයකින් ගම්‍ය වන සංකල්පයක්, ගණිතමය ප්‍රකාශයක් ලෙස දැක්වීමේදී,    සමහර  අවස්ථා වලදී  එය  තුළ  ‘නියත අගයයන්’ ඇතුළත්  වේ.  ඉහත දැක්වෙන සුත්‍ර දෙකෙහි  භාවිත වන, 32 සහ  1.8  යන සංඛ්‍යා, මේ අවස්ථාවල භාවිත කළ යුතු ‘නියත’ වේ.  උෂ්ණත්ව පරිවර්තනය කිරීමේදී මේවා පිලිබඳ අවබෝධයක් තිබීම වැදගත්ය. මෙම අවබෝධය ලබාගැනීම සඳහා උෂ්ණත්වමාන නිපදවීමේ ඉතිහාසය පිලිබඳවද  මඳක් විමසා බැලීම අවශ්‍යය.


Fahrenheit නම් ජර්මන් ජාතික විද්‍යාඥයෙකු විසින් ඔහුගේ නමින් දැක්වෙන ෆැරන්හයිට් රසදිය උෂ්ණත්වමානය නිපදවා ඇත්තේ 1724 වර්ෂයේදීය. ඔහු විසින් ජලයේ උෂ්ණත්වය ආරම්භක ලක්ෂ්‍යය ලෙස සලකා, එක්තරා සුවිශේෂී භාජනයක දැමු ජලය, අයිස් සහ ලුණු මිශ්‍රණයකින් ආවරණය කර එහි උෂ්ණත්වය අඩුවන ආකාරය නිරීක්ෂණය කිරීමට පටන් ගත්තේය. මෙසේ කිරීමේදී ඔහුට ලබාගත හැකිවූ   අවම අගය, ඔහු විසින් නිපදවන ලද රසදිය උෂ්ණත්වමානයේ  යම්කිසි ලක්ෂ්‍යයක් ලෙස  සටහන් කර ගත්තේය. එම උපකරණය භාවිත කර,  ඔහුට මිනිස් සිරුරේ උෂ්ණත්වය සහ නටන ජලයේ උෂ්ණත්වයද දළ වශයෙන් සටහන් කර ගැනීමට හැකිවිය. 


ඔහුට ජලය සිසිල් කර ලබාගත හැකිවූ   අවම අගයත්,  නටන ජලයේ උපරිම අගයත් තමන්  විසින් නිර්මාණය කරන ලද  උෂ්ණත්වමානයේ සීමාවන් විය. මෙසේ හඳුනාගන්නා ලද සීමාවන් අතරට ඇතුළත්  කළයුතු තවත් වැදගත් ලක්ෂ්‍යයක් වුයේ  ජලය මිදෙන උෂ්ණත්වයයි. ඔහු සකස් කළ  පරිමාණය, සලකුණු කිරීමේදී ජලය මිදෙන උෂ්ණත්වය 32 වශයෙන් සලකුණු කර තිබේ. එහෙත්, මෙසේ කිරීමට අදාළ හේතුවක් දක්වා නොමැත. (ෆැරන්හයිට් තදින් විශ්වාස කළ එක්තරා ගුප්ත සංවිධානයක කොන්දේසි 32 ක් මුල් කරගනිමින් මෙසේ කරන්නට ඇතැයි  යන මතයක්ද ප්‍රචලිතව පැවතුණි. ඔහු විසින් තම මිතුරෙකුට ලියන ලද ලිපියක සඳහන් කර ඇත්තේ, කලින් තිබුණු මද්‍යසාර   භාවිත උෂ්ණත්වමානයක සළකුණක් ආශ්‍රිතව එසේ කළ බවයි)  පසුව ඔහුගේ උෂ්ණත්වමානයේ, බිංදුව  සිට 32 දක්වා ඇති දුර, සම කොටස් වලට බෙදු ආකාරයටම 32 ට ඉහලින් ජලය නටන උෂ්ණත්වය පෙන්වන සලකුණ දක්වා ප්‍රදේශයද  සමකොටස් 180 කට බෙදා සලකුණු කරන ලදී. මේ නිසා අවසාන සලකුණ, එනම් ජලය නටන උෂ්ණත්වය 212 වශයෙන් දැක්වීය. මෙම උෂ්ණත්වමානය මගින්  මිනිස් සිරුරේ උෂ්ණත්වය 97 ලෙස දැක්වේ.


මේ ආකාරයට සකස් කර ගන්නා ලද උෂ්ණත්වමානයේ පහලම  සලකුණේ  සිට ඉහලම සලකුණ දක්වා සමකොටස් 212 ක් (32 +180) තිබේ. මෙම ෆැරන්හයිට් උෂ්ණත්වමානයේ  පාඨාoක වශයෙන්,  ඔහු විසින් ලබාගන්නා ලද අවම උෂ්ණත්වය බිංදුව (zero) ලෙසද, ජලය මිදෙන උෂ්ණත්වය 32 ලෙසද, ජලය නටන උෂ්ණත්වය 212  ලෙසද සලකුණු කරන ලදී. මේ ආකාරයට නිර්මාණය කරන ලද ෆැරන්හයිට් රසදිය උෂ්ණත්වමානය ටික කලකදීම ඉතාමත් ජනප්‍රිය උපකරණයක් බවට පත් විය. 


මිට පසු 1742 දී ස්වීඩන් ජාතික Celsius විසින්  ‘සෙන්ටිග්‍රේඩ්’ නමින් හැඳින්වූ (සම කොටස් සියයකින් යුක්ත) උෂ්ණත්වමානය නිපදවන ලදී. මෙහි වැදගත්ම අංගය වූයේ ජලය මිදෙන අවස්ථාව (හිමාංකය) අංශක බින්දුව (zero)  ලෙසටත් ජලය නටන අවස්ථාව (තාපාංකය) අංශක 100 ලෙසටත් සැලකීමයි. මේ උෂ්ණත්වමානයට  අනුව මිනිස් සිරුරේ උෂ්ණත්වය 37 විය. ‘සෙන්ටිග්‍රේඩ්’ යන නාමය විද්‍යාවේ වෙනත් සංකල්පයක් හැඳින්වීම සඳහාද භාවිත වන බැවින්, පසුව එම  උපකරණය, නිර්මාණ කරුගේ නමින්ම Celsius (සෙල්සියස්) උෂ්ණත්වමාණය ලෙස නම් කරන ලදී.


පසු කාලයේදී Fahrenheit පරිමාණය  °F පරිමාණය ලෙසටත් Celsius පරිමාණය °C පරිමාණය ලෙසටත් භාවිතයට පත්විය. Celsius පරිමාණයේ, සම කොටස් සියයේ පහසුව නිසාම, එය ඉතා ඉක්මණින්ම ලොව පුරා ප්‍රචලිත විය. එහෙත්, ඇමෙරිකාවේ තවමත් වැඩිපුර භාවිත වනුයේ Fahrenheit පරිමාණයයි. (මේ නිසා බොහෝ විද්‍යාත්මක ලිපි ලේඛන වල දැනුදු  30°C ( 86°F)  යන ආකාරයට අගයයන් දෙකම භාවිත කරනු දකින්නට ලැබේ.) උෂ්ණත්වය මැණීමේ ජාත්‍යන්තර සම්මත ඒකකය වශයෙන් ගැණෙනුයේද Celsius (සෙල්සියස්) ඒකක වේ. 

උෂ්ණත්වමාන දෙවර්ගයෙන් ලැබෙන පාඨාoක සංසන්දනය කිරීමේදී දකින්නට ලැබෙන ප්‍රධාන ලක්ෂණයක් වන පරිමාණ දෙකෙහි දැක්වෙන අගයවල  වෙනස, බොහෝ ගණනය කිරීම් වලදී වැදගත් වේ. 


4. අදාළ ගැටළු විසඳීම


මෙහිදී,  කලින්ද සමීකරණ දෙක සමග පෙන්වා දෙනු ලැබූ ‘නියත අගයයන්’ පිළිබඳව විමසා බලමු.  ජලය මිදෙන අවස්ථාවේ සිට ජලය නටන අවස්ථාව දක්වා ෆැරන්හයිට් පරිමාණයේ සම කොටස් 180 කි. (32 සිට 212), එමෙන්ම සෙල්සියස් පරිමාණයේ එම පරාසය සම කොටස් 100කි (0 සිට 100). මේ නිසා ෆැරන්හයිට් අංශකයක්  සෙල්සියස් අංශක 1.8 ක්  වේ. ගණනය කිරීම් වලදී එම අගය නියතයක් ලෙස  භාවිත කෙරේ. එසේම තවත් කරුණක් මෙයට අදාළ කර ගත යුතුය. එනම් ෆැරන්හයිට් උෂ්ණත්වමාණයේ ජලය මිදෙන උෂ්ණත්වය 32 ලෙස සලකුණු කර ඇති අතර, සෙල්සියස් උෂ්ණත්වමාණයේ එය 0 ලෙස සලකුණු කර තිබීමයි. මේ නිසා ගණනය කිරීම් වලදී, නියතයක් වශයෙන් සැලකෙන සංඛ්‍යාත්මක අගය වන  ‘32’  අවස්ථානුකූලව භාවිත කිරීමද වැදගත්ය. 

තවත් එක කරුණක් පිලිබඳවද  මෙහිදී  සැලකිලිමත් වීම ප්‍රයෝජනවත්ය. එනම්, 1724 වර්ෂයේදී ෆැරන්හයිට් විද්‍යාඥයා විසින් ලබාගත් ජලයේ උෂ්ණත්වයට වඩා අවම උෂ්ණත්වයක් කරා යාම පිණිස ප්‍රායෝගිකව පරික්ෂණයක් කිරීමට 1848 වර්ෂයේදී, ඉංග්‍රීසි ජාතික  භෞතික විද්‍යාඥ විලියම් තොම්සන් (පසුව කෙල්වින් සාමිවරයා) සමත් විය. ඔහු විසින් කරනලද ගණනය කිරීම් වලට අනුව ලබාගතහැකි අවම උෂ්ණත්වය           -273 °C / (-460 °F)  බව අනාවරණය කරගන්නා ලදී. මෙම අවම අගය  නිරපේක්ෂ උෂ්ණත්වය  (absolute temperature)  ලෙස නම් කරන ලදී. මේ ආකාරයට සකස් කර ගන්නා ලද පරිමාණය කෙල්වින් පරිමාණය (Kelvin scale) යනුවෙන් නම් කරන ලදී.   


5. උෂ්ණත්වමාන පාඨාoක වලට අදාළ ගණනය කිරීම්

                                                                        

මේ සමග ඇති උෂ්ණත්වමානය දෙස බලන්න. එහි වම් පැත්තේ °F සහ දකුණු පැත්තේ °C පාඨාoක සලකුණු කර තිබේ. මෙහි දක්වා තිබෙන අවස්ථාවේදී උෂ්ණත්වය,(රතු පාටින් දක්වා තිබෙන)  20°C හෝ 64°F ලෙස කියවිය හැකිය. උෂ්ණත්වමානයේ  පාඨාoක ඔස්සේ පහලට කියවන විට 0°C වන විට එයට අනුරූපව 32°F සටහන්වන බව පෙනේ. 

පාඨාoක ඔස්සේ තවත් පහලට කියවන විට -40°C සහ -40°F එකම පාඨාoකය බව දැකිය හැකිය. (මෙම ලක්ෂණය පසුව විස්තර කෙරේ)

 Fahrenheit and Celsius are the same at -40 degrees.


ඉහතින් දැක්වූ සරල සුත්‍ර   සකස් වී ඇති ආකාරය අවබෝධ කර ගැනීම සඳහා මෙම විස්තරය ප්‍රයෝජනවත් වනු ඇත. උෂ්ණත්වමාන  පාඨාoක පරිවර්තනය කිරීම සඳහා විභාග ප්‍රශ්න පත්‍ර වල ලැබෙන  සරල ගැටලු  විසඳීම පිණිස මෙම සුත්‍ර භාවිතකරන ආකාරය  පහත දක්වා ඇත. 

ගැටලුව

(i) සෙල්සියස් උෂ්ණත්ව පරිමාණයේ කුමන උෂ්ණත්වයක්  77 oF ට සමාන වේද?                                                                                                      (ii) ෆැරන්හයිට් උෂ්ණත්ව පරිමාණයේ කුමන උෂ්ණත්වයක් 15 oC  සමාන වේද?


විසඳුම  

(i)   °C = (°F – 32) ÷ 1.8 …… …... (i)  භාවිත කර 

මෙහි ෆැරන්හයිට් පරිමාණය සෙල්සියස් වලට පරිවර්තනය කිරීම සඳහා, දී ඇති ගැටලුවේ,  oF අගය වන 77 න්  32 අඩු කරන්න. එවිට 77-32 = 45  අගය ලැබේ. මෙම අගය 1.8 න්  බෙදන්න. මෙවිට    45 ÷ 1.8 = 25. වේ. මේ නිසා   77 oF = 25 oC අගය ලැබේ.

 

(ii) °F =  (1.8 x °C) + 32 ……..     (ii)  භාවිත කර


මෙහි සෙල්සියස් පරිමාණය ෆැරන්හයිට් වලට පරිවර්තනය කිරීම  සඳහා, දී ඇති ගැටලුවේ oC අගය වන 15,   1.8 න් ගුණ කරන්න. එවිට15 x1.8 = 27 අගය ලැබේ. මෙම අගයට 32 එකතු කරන්න. මෙවිට    27 + 32 = 59  ලැබේ. මේ නිසා  15 oC  = 59 oF අගය ලැබේ. 


ඉහත දැක්වෙන  රූප අටහනෙහි, සෙල්සියස් සහ ෆැරන්හයිට් පරිමාණ දෙකම  එක්  උෂ්ණත්වමානයක  දෙපැත්තෙහි සටහන් කර තිබේ. මෙහි දක්වා  ඇති  පාඨාoක  ඉහල සිට  පහලට කියවීමේදී  තවත් වැදගත් ලක්ෂණයක් දකින්නට ලැබේ. එනම්, මෙහි -40 °C සහ  -40 °F  පාඨාoක දෙකම එකම මට්ටමක පිහිටා තිබිමයි. මෙයින් දැක්වෙනුයේ  සෙල්සියස් පරිමාණයේ  -40 °C දක්වන විට පැරන්හයිට් පර්මාණයේද, එම අගයම වන  -40 °F යන සුවිශේෂී  ලක්ෂණයයි. නැතහොත්  අංශක -40 උෂ්ණත්වයේදී සෙල්සියස් සහ ෆැරන්හයිට් උෂ්ණත්වමාන දෙකෙහිම පාඨාoක එක සමාන වීමයි. 


-40°C සහ  -40°F යන පාඨාoක දෙකෙහි එක සමාන භාවයේ  සංසිද්ධිය සම්බන්ධව පැහැදිලි කිරීමක් පිලිබඳ ගැටළුවක්, විභාග ප්‍රශ්න පත්‍රයක ලැබෙතහොත්, එය ගැඹුරින් වැඩි ප්‍රශ්නයකි. ඒ සඳහා පිළිතුරු සපයන්නා විසින් අවබෝධය සහ විශ්ලේෂණය යන සංජානන නිපුණතා ආශ්‍රීතව කරුණු දැක්විය යුතුවේ.


එකම අවස්ථාවකදී °C  සහ °F උෂ්ණත්වමාන දෙකක පාඨාoක සසඳන විට  ඒ දෙකෙහිම අගයයන් එක සමාන වන අවස්ථාවක් තිබිය හැකිද? බැලූ  බැල්මට මෙසේ විය නොහැකියයි කෙනෙකුට තර්ක කළ  හැකිය. එහෙත් ප්‍රායෝගිකව එවැනි  එකම උෂ්ණත්වයක් පමණක් තිබේ. ඒ සඳහා පහත දැක්වෙන  ආකාරයට ගණනයක් කර ඔප්පු කළ හැකි වේ. 

 

මෙසේ විය හැක්කේ කෙසේද යන්න මුලින්ම තේරුම් ගත යුතුය. ඒ සඳහා ඉහත විස්තර කළ උෂ්ණත්වමාන දෙවර්ගය නිපදවීම සහ ඒවායේ පරිමාණ සලකුණු කිරීම සම්බන්ධව නැවත සිත් යොමු කළ යුතුය. 


ඉහත දැක්වූ සරල සූත්‍ර භාවිතයෙන්,  මෙම සංසිද්ධිය පැහැදිලි කර ඔප්පු කළ හැකිය. මේ සඳහා සරල ගණනය කිරීමක් කළ යුතු වේ. නැවත එම සූත්‍ර දෙස බලමු.  


°C = (°F – 32) ÷ 1.8…… …...    (i) සහ  

°F = (1.8 x °C) + 32 ……          (ii)


මෙම ගණනය කිරීම සඳහා, ඉහත පළමු සුත්‍රයේ  °C අගය, -40  ලෙස ගෙන, එහි  °F අගය ‘z’ යයි සිතමු. මෙම අගය  (i) සුත්‍රයේ ආදේශ කළ විට  -40 = (z - 32 ) ÷ 1.8  ;                                                                      

                                               -40 = (z ÷ 1.8) - (32 ÷1.8) ;                           

                                      (-z ÷ 1.8) =  40 - (32 ÷1.8)  ;                                                                      

                                                  -z =  [40 - (32 ÷ 1.8)] x 1.8 ;                                                           

                                                 -z  =  (40 x 1.8) - [(32 ÷ 1.8) x 1.8]               

                                 - z =  72 - 32 = 40 ;          ඒ නිසා   z =  -40 

ඒ ආකාරයටම ඉහත (ii) සූත්‍රයේ  °C අගය’ 𝒚 ‘යයි සිතමු 

මෙහි  °F අගය  - 40 වන විට,   - 40 = (1.8 ×  𝒚 ) + 32

                   මේ නිසා   -(1.8 × 𝒚)  = 40 + 32   ;                                                                                     

                                            - 𝒚  =  (40+32)  ÷ 1.8  ;                                                              

                                               𝒚 =  -72  ÷ 1.8  =  -40,   ඒ නිසා   𝒚 = -40


නැතහොත්  °C අගය -40 වනවිට °F අගයද - 40 වේ. 

                                                                                                                                                                      මෙයින් දැක්වෙනුයේ -40 උෂ්ණත්වයේදී °C සහ  °F පාඨාoක දෙකම එකම අගයක් ගන්නා බවයි.




6.    අංශක -40 අවස්ථාවේදී  °C පාඨාoකය  = °F පාඨාoකය  ලෙස පිහිටීම ප්‍රස්තාරයකින් 

       දැක්වීම 

උෂ්ණත්වමාන පාඨාoක පරිවර්තනය කිරීමේ සමීකරණ යුගලය  y = mx + c පොදු ප්‍රස්තාර සමීකරණයට අදාලවන පරිදි මෙසේ සකස් කර ගත  හැකිය 

ඉහත වගු වල දක්වා ඇති ආකාරයට අදාළ උෂ්ණත්ව දත්ත භාවිත කරමින්, එකම ප්‍රස්තාර කඩදාසියක ප්‍රස්තාර 1 සහ ප්‍රස්තාර 2 ඇඳිය හැකිය. මෙසේ අඳින ලද  ප්‍රස්තාර පහත දැක්වේ.  මෙහි  (x = °C සහ y = °F) රේඛීය ප්‍රස්තාරය නිල්  පැහැයෙන්ද (x = °F සහ y = °C) ප්‍රස්තාරය රතු පැහැයෙන්ද දක්වා තිබේ. 

මේ ආකාරයට එක් එක් දත්ත සඳහා නියමිත ඛණ්ඩාංක ලක්ෂ්‍ය  යා කිරීමෙන් ලැබෙන රේඛීය ප්‍රස්තාර දෙක (-40,-40) ඛණ්ඩාංක ලක්ෂ්‍යයේදී  ඡේදනය වන බව දකින්නට ලැබේ. මේ නිසා මෙම අවස්ථාවේදී එනම් අංශක -40 දී    °F අගය සහ °C අගයයන්   සමාන වන බව ඔප්පු වේ.


සෙල්සියස් සහ ෆැරන්හයිට් උෂ්ණත්වමාන දෙවර්ගයම තවමත් බොහෝ අවස්ථා වලදී භාවිතයේ පවතින නිසා ඒවා මගින්  ලබාගෙන ඇති  පාඨාoක ඔස්සේ නිවැරදි  අවබෝධයක් ලබාගැනීම පිණිස මෙම තොරතුරු බෙහෙවින් ප්‍රයෝජනවත් වනු ඇත.

(සමහර තොරතුරු ස්තුති පූර්වකව අන්තර්ජාලයෙනි). 


දයාරත්න වීරසේකර