Friday, 10 May 2019

එදා ... මෙදා... වෙසක් කූඩු සෑදීම ..........


    සුගිය දිනවල රටෙහි සිදුවූ අභාග්‍ය සම්පන්න සිද්ධි නිසා, මෙවර වෙසක් සැමරීම  අඩුවේයැයි බොහෝ අය සිතති. ආමිෂ පූජා වල මෙන්ම ප්‍රතිපත්ති පූජා වලත් නියැලීම අවශ්‍ය බව, බුදු දහමේ ඉගැන්වීමයි. වෙසක් දිනවල සැරසිලි කිරීම,  පහන් කූඩු දැල්වීම, වෙසක් තොරන් ඉදිකිරිම වැනි දෑ ආමිෂ පූජා ලෙස සැලකෙන අතර ශීල, භාවනා, දාන මානාදී සත්ක්‍රියා, ප්‍රතිපත්ති පූජාවන් වේ.

සමාජයේ බොහෝ දේවල් වානිජකරණය වෙමින් පවතින මේ කාලයේ, වෙසක් සැමරීමට අදාළ සමහර භාණ්ඩ සහ සේවාද, ඉල්ලුම සහ සැපයුම නමින් හැඳින්වෙන  විෂම ජාලයට අවතීර්ණ වෙමින් පවතී.

වානිජකරණයේ උදාහරණයක් වශයෙන් වෙසක් පහන් කූඩු ගෙන බලමු. අද විවිධ ආකාරයේ වෙසක් කූඩු, වෙළඳ පළේ මිලදී ගැනීම සඳහා තබා තිබේ. නිෂ්පාදකයෝ මේවා මහා පරිමාණයෙන් නිපදවන අතර, වෙළෙන්දෝ කල්තියාම තොග ලබා ගනිති. බට ගස් සොයා ගොස්, බට දඬු කපා,  බට පතුරු සකස්කර, වෙසක් කූඩුවක් තනා,  සව් කඩදාසි අලවා මහන්සි වනවාට වඩා, සියල්ල නිමකළ වෙසක් කූඩුවක් වෙළඳ පළෙන් මිලයට ගැනීම පහසු බව අද පාරිභෝගිකයාද තීරණය කර තිබේ. 
      
පසුගිය වසරේ වෙසක් සමයේ, කෘතීම වෙසක් කූඩුවක් ගැන පාඨකයෙකු මාධ්‍යයක පළකර තිබූ පුවතක් මෙසේය.

‘නගරයේ කඩයකට ගොස් වෙසක් කූඩු ‘පැකට්’ හතරක්  මිලයට ගත්තෙමි.’ ‘එකම වෙනස වූයේ මේවා ෆ්ලැට් පැක් හෙවත් පැතළියට අසුරා තිබුණු කුඩා පැකට්ටුවක බහා තිබීමයි. ඒවා සාදා තිබුණේ බ්‍රිස්ටල් බෝඩ් වැනි තරමක් ඝන කඩදාසි වලිනි.’
‘අද මම ඒ අටපට්ටම් වෙසක් කූඩු හතරෙන් එකක් එකලස් කළෙමි.
පැතළියට අසුරා තිබුණු කුඩා පැකට්ටුවේ, හතරැස් කැබලි හයක් සහ තුන් හුලස් කැබලි අටක් විය. රැළි සඳහා සව් කඩදාසි හතරක් ද තිබුණි. කූඩුව එකලස් කිරීම සඳහා පැය භාගයක්වත් ගත නොවීය.’
‘විචිත්‍ර ආකාරයට කැටයම් කපා තිබුණු කූඩුවේ, කොටස්වල නැමිය යුතු තැන්ද සලකුණු කර තිබිණ. ගැලපෙන පරිදි නැමුම් එකට තබා ස්ටේපල් කටු ගැසූ විට රුපයේ දක්වා ඇති ආකාරයේ අටපට්ටම් කූඩුවක් ලැබුණි.’

වානිජකරණයට භාජන වී ඇති මෙම වෙසක් කූඩුව දෙස බලන විට, දශක හයක් හතක් තිස්සේ, සෑම වසරකම  නොකඩවා වෙසක් කූඩු සකස් කළ මම තරමක් පුදුමයට පත්වීමි.  එම පාඨකයා අවසාන වරට වෙසක් කුඩුවක් සකස් කළේ, ඔහු  නවවෙනි ශ්‍රේණියේ ඉගෙනීම ලබද්දී  බවත් පවසා තිබුණි. ඒ දැනට වසර තිහ හතළිහකට පෙරාතුව වන්නට ඇත. ඒ කාලයේ මෙම නවීන වෙසක් කූඩු නොතිබෙන්නට ඇත.

දින කිහිපයකට පෙර Face book සටහනක තිබුණු කාලෝචිත කෙටි ඉල්ලීම් දෙකක්ද මෙම කරුණට අදාළ කර ගත හැකි බවද  පෙනේ. ඒවා මෙසේය:

දශක කිහිපයක අතීතය මෙනෙහි කළ  මට, ඒ කාලයේ වෙසක් කූඩු සකස් කළ අකාරය පිළිබඳ පහත දැක්වෙන පරිදි සටහනක් තැබීම උචිතයයි හැඟීමක් ඇතිවිය. 

මගේ සටහන මෙතැන් සිට .....

පස්වන හයවන ශ්‍රේණිවල ඉගෙන ගන්නා කුඩා කාලයේ සිට, සෑම වසරකම,  නොකඩවා වෙසක් කුඩු සකස් කර එයින් ආස්වාදයක් ලැබීමට මම පුරුදුව සිටියෙමි. දැනට දශක හයකට වැඩි කාලයක්, අවුරුදු පතා නොකඩවාම, ඉතාමත් කැමැත්තෙන් කළ එම කාර්යය අදටද කරමි. එකළ සිටම මා ඉතාමත්  ප්‍රිය කළේ, අටපට්ටම් කුඩු සකස් කිරීමටය. කුඩා කාලයේ අපගේ ගම්බද ‘මහගෙදර’ ජීවත්වූ අපට, අවුරුදු නිවාඩුවේ අවසාන දින කිහිපයේදී  තිබුණු වැදගත්ම ක්‍රියාකාරකම වූයේ, වෙසක් කුඩු තැනීමයි. අක්කරයක් පමණ වූ ගෙවත්තේ  එක් කොනක, බට පඳුරක් විය. මේ පඳුරෙන් මේරූ බට දඬු කිහිපයක් කපා ගැනීම එහි පළමුවෙනි කාර්යය විය.  මේවා අඟල්  අටක පමණ ප්‍රමාණයේ කැබලි වලට කපා ගැනීම ඊළඟ පියවරයි. ඊට පසු,  ඒ දඬු කැබලි හතරට පලා ගත යුතුය. එක් එක් බට පතුරේ  ඇතුලත තියුණු දාර, පිහියෙන් සැස, සුමට කර ගැනීමද වැදගත්ය. මෙහිදී බට පතුරුවල තියුණු දාර හා සම්බන්ධ,  ඒ කාලයේම කියවූ කෙටි කතාවක්ද සිහියට නැගේ. 

එය, මාර්ටින් වික්‍රමසිංහ ශුරීන්ගේ ‘මගේ කථාව’ කෙටි කතා සංග්‍රහයේ එන ‘බබාගේ වෙසක් පහණ’ කෙටි කථාවයි. එහි කුඩා දරුවන්ගේ ලෝකයේ සිද්ධියක් විස්තර කර තිබේ.

“ගෙදර දරුවෝ කිහිපදෙනා වෙසක් කුඩු තැනීමට බටපතුරු සකස් කරති. තුන් හැවිරිදි  පවුලේ බාලම දියණිය, අයියලා විසින්  පලා, පැත්තකින් තැබු සුමට නොකළ බට පතුරක් අතේ මිටට ගනී. අයියා නැගණිය අත තිබුණු බට පතුර උදුරා ගනියි, බට පතුරේ තියුණු දාරය නිසා නැගණියගේ අල්ල කැපී තුවාල වී ළේ ගලයි.  ඇය හඬමින් පියා වෙත දුව යයි. එයින්  බියපත්වූ අයියා, වෙසක් කූඩු තැනීම පසෙක තබා,  ගෙයි මුල්ලක සැඟවෙයි. පසුව පියාගේ අස්වැසීම සහ තුවාලයට පැලැස්තරයක් ඇලවිමෙන් පසුව, සියලු දෙනාම එකතුවී, නැවත  වෙසක් කූඩු සකස් කරති’.
 
මෙය වෙසක් කුඩු තැනීම පිලිබඳ සුන්දර සිද්ධියකි.   

දැන් පැරණි ක්‍රමයට අටපට්ටම් කූඩුවක් තැනීම ගැන සිත් යොමු කරමු. එක් අටපට්ටම් කුඩුවක් සඳහා බට පතුරු කැබලි 24ක් අවශ්‍ය ය. මුලින්ම, දාර සුමට කරගත් බට පතුරු හතරක් බැගින් එකට බැඳ, හරි හතරැස් කොටු හයක් සකස් කර ගත යුතුය. මෙම කොටු හය සියලුම මුලු යාකර වටේට බැන්ඳ විට අට පට්ටම් කූඩුවක් ලැබේ.

හරි  හතරැස් කොටු හයකින් සකස් කළ කුඩුවේ, අවසානයේදී,  හතරැස් කොටු හයක් සහ තුන් හුලස් කොටු අටක්ද තිබීම, අපට කුඩා  කාලයේ පුදුම උපදවන දෙයක් විය.

බට පතුරු එකට තබා බැඳීම සඳහා අප එකළ භාවිත කලේ, ‘ඔට්ටපාළු’ යන නමින් හැඳින්වෙන ස්වාභාවික රබර් පටි වේ. රබර් කිරි එකතු කර ගැනීමෙන් පසු ගසෙහි කැපුමේ ඉතිරිවන කිරි, මිදීම නිසා සෑදෙන ඇදෙනසුලු පටි වැනි ව්‍යුහ දෙමළෙන්  ‘ඔට්ට පාල්’ ලෙස හැඳින්වේ. සිංහලෙන් එම නාමය ‘ඔට්ටපාළු’ වී තිබේ බට පතුරු අග්‍ර  එකට තබා නොගැලවෙන සේ එකට බැඳීම සඳහා ‘ඔට්ට පාළු’ ඉතාමත් යෝග්‍යය.

මුල් අවදියේදී, අපගේ මහ ගෙදර  විදුලි බලය නොතිබුණි. මේ නිසා වෙසක් කුඩු ආලෝකමත් කිරීම සඳහා ඉටිපන්දම් භාවිත කිරීමට සිදුවිය. අටපට්ටම් වෙසක් කූඩුවක් තැනීමට වඩා, එහි ඉටිපන්දමක් ඇමිණීම සඳහා යෝග්‍ය පොල් පිත්තකින් කපා ගන්නා පැතලි පතුරක් බැඳගැනීම බෙහෙවින් අමාරු වැඩකි. ඉටිපන්දම් අමුණන පතුර ඇති පැත්තට විරුද්ධ පැත්තේ හතරැස් කොටුවේ, පැති දෙකක,  කූඩුව එල්ලීම සඳහා ශක්තිමත් හණ නූලක් ගැට ගැසිය යුතුය. මේ සියල්ල අවසන් වූ පසු වෙසක් කුඩුව සව් කොළ  ඇලවීම සඳහා සූදානම්ය.  එක කූඩුවක් සඳහා  හතරැස් කොටුවේ ප්‍රමාණයට වඩා මඳක් විශාල හතරැස් කොල හතරක් සහ තුන්හුලස් කොල අටක් අවශ්‍යය.

කඩෙන් මිලදී ගන්නා සව් කොළ අපතේ නොයන පරිදි කපා ගැනීමද ප්‍රවේශමෙන් කළ යුතුය. සකස් කරන සියලුම කූඩු එකම ප්‍රමාණයකටම  තිබෙන විට මෙය පහසු වේ.

(දැනටද අපේ පාසැල්වල පස්වන ශ්‍රේණියේ, පරිසරයට අදාළ පාඩමක, ‘වෙසක්’ තේමාව යටතේ, සෙන්ටිමීටර් 75 දිග සහ සෙන්ටිමීටර් 50 පළල සව් කඩදාසිය අපතේ නොයන ආකාරයට, කපා ගතහැකි වීම සඳහා, අටපට්ටම් වෙසක් කූඩුවක  බට පතුරු සකස්කර ගැනීමේ නිවැරදි   මිමි  පිලිබඳව, සිසුන්  සඳහා  සටහනක්ද තිබේ.)

පාසල් යන කාලයේ නම් අප යහළුවන් සමග තරඟයට මෙන් කූඩු තැනීමට උනන්දු වූවෙමු. ගෙදර සහෝදර සහෝදරියන් සමග එකතුවී  කූඩු දොළහක් පමණ සකස් කළ එක් වතාවක්ද මතකයට නැගේ. 
තව වරක්, මිදුලේ එල්ලා තිබුණු වෙසක් කූඩු වැල සුළඟට සෙලවීම නිසා, එක් කූඩුවක ඉටිපන්දමක් පෙරළී ගිනිගත් නිසා, වැලේ එල්ලා තිබුණු කූඩු දහයක් පමණ, එකවිට ගිනිබත් වූ අවස්ථාවක්ද සිහිවේ. ඒ සිද්ධිය නිසා, අප  මහත් දුකට පත්වී සිටියදී  ‘ප්‍රීතී වෙසක්’ යනුවෙන් මුද්‍රිත නවීන පන්නයේ කුඩු හයක් සහ ‘බකට්’ කූඩු දහයක් නගරයේ සාප්පුවකින් ගෙනවිත් දී, තාත්තා අප සැනසූ ආකාරයද අද වගේ මතකය.

අඟල් අටේ බට පතුරු වලින් සෑදු කුඩුවක, හතරැස් කොටු සහ තුන් හුලස් කොටු සියල්ලම, සාමාන්‍ය ප්‍රමාණයේ (75cm x 50cm) සව් කොළ දෙකකින් පමණ අලවා අවසන් කළ හැකිය. පතුලේ රැලි සහ පැති මුළු වලට එල්ලන රැලි සඳහා තවත් සව් කොළ  දෙකක්වත් අවශ්‍යය. රැලි කැපීමද ඉතා සීරුමාරුවකින් කළ යුතු කාර්යයකි.  සව් කොලය අග සිට කුඩා වනතුරු සිරස්ව නමා, නැමු කොටසට ඉහලින් ඇති නොනැමූ තීරුව දක්වා, කතුරකින් කැපීමද එතරම් පහසු කාර්යයක් නොවේ. ඉන්පසු එකට බැඳි ඇති රැලි පොටවල් වෙන්කළ යුතුය. සව් කඩදාසි දෙකක් හෝ කිහිපයක් එකට තබා රැලි කැපුවහොත්,  රැළිපොටවල් වෙන් කිරීම තවත් අපහසුය. මේ සියල්ල අවසන් කළ පසු, එළඹෙනුයේ කූඩු ඇලවීමයි.

කූඩු ඇළවීම සඳහා ඒ කාලයේ යොදා ගත් ‘පාප්ප’ සකස් කර ගන්නේ  පාන් පිටි වලින්ය. පාන් පිටි උණු වතුරේ දියකර, එම මිශ්‍රණය භාජනයක දමා කකාරා ගත් විට, සව් කඩදාසි ඇලවීමට යෝග්‍ය ලාටු වැනි තලපයක් ලැබේ. කූඩුවේ බටපතුරු දිගේ පාප්ප තවරා, කපාගත් සව් කඩදාසි, ඒ මත පහසුවෙන් ඇලවිය හැකිය. ඊටපසු රැලිද අලවා ගත් විට අලංකාර වෙසක් කූඩුවක් නිර්මාණය වේ. බට කැපීමේ සිට, නිමි කූඩුව එල්ලීම දක්වා, සම්පූර්ණ ක්‍රියාවලිය සඳහා එක වෙසක් කූඩුවක් වෙනුවෙන් පැය තුන හතරක් ගත කිරීමට සිදුවේ. එසේ වුවත් අද කඩයෙන් මිලදී ගන්නා කෘතීම වෙසක් කූඩුව එකලස් කිරීමට පැය භාගයකට වඩා ගත නොවේ. බට පතුරක දිග අඟල් අටක් වන අටපට්ටම් කූඩුවක් තනා නිම කිරීම සඳහා සාමාන්‍ය ප්‍රමාණයේ (75cm x 50cm) සව් කඩදාසි හතරක් ප්‍රමාණවත් වේ. යම්කිසි රටාවක ආකාරයට හතරැස් කොටුවල සහ තුන් හුලස් මූනත්වල, විවිධ වර්ණ ගැලපීම් කර වර්ණවත් කඩදාසි ඇලවීමෙන් කූඩුවේ අලංකාරය වැඩිකර ගත හැකිය. පහලට එල්ලෙන රැලි එකම වර්ණයකින් යෙදීමද හොඳ ගැලපීමක් වන බව පෙනේ.  මෙසේ කල්පනා කර බලන විට, කුඩා දරුවන් තුළ වෙසක් සැමරීම පිලිබඳ යහපත් ආකල්ප වර්ධනය වන්නේත්, ඔවුන්ගේ හසුරු කුසලතා ඔප් නැංවෙන්නේත්, තමන්ගේම නිර්මාණයක් සඳහා අභිමානයක් ඇතිවන්නේත්, පැරණි ආකාරයට, බට පතුරේ සිට සියලු පියවර අනුගමනය කර වෙසක්  කූඩුවක් සකස් කළහොත් පමණකි. 

දැන් අපේ මහගෙදරටද විදුලි බලය තිබේ. මේ නිසා කූඩු ආලෝකමත් කිරීම පහසුය. මහගෙදර වෙසක් ගැන ගන්නා ලද  ඡායාරූපයක්නම් සොයා ගැනීමට  නොමැත.

මහගෙදරින් පිටවී, දරු මල්ලන් සමග වෙනම නිවසක පදිංචියට ගිය පසුවත්, වාර්ෂිකව වෙසක් කූඩු තැනීම නොකඩවා කළෙමි. වසර ගණනාවක් තිස්සේ අපේ ගෙදර ආලින්දයට ගැලපෙන පරිදි අටපට්ටම් කූඩු හයක් සෑදීම මාගේ සිරිත විය.

පසු කලකදී විදේශ ගතවී, දැන් මුනුපුරු මිනිපිරියන් සමගද වෙසක් කුඩු සෑදීම අමතක කළ නොහැකිය.

එදා, වත්තේ කොනක වැවුණු, බට පඳුරෙන් කපාගත් බට දඬු වෙනුවට, අද පිටරටින් ගෙනෙන බට හෝ උණ දඬු මිලයට ගත යුතුය. ‘ඔට්ට පාල්’ පටි වෙනුවට රබර් වලින්ම නිෂ්පාදනය කර ඇති rubber bands භාවිත කළ යුතුය. වෙසක් කූඩු ආලෝකමත් කිරීම සඳහා ප්‍රධාන විදුලිය වෙනුවට සූර්ය කෝෂ සහ LED බල්බ යොදාගත හැකිය.  අද මේ සියල්ලම සහිතව සාදා නිමකළ, විවිධ ආකාරයේ වෙසක් කූඩු පහසුවෙන්ම මිලදී ගත හැකිය.  

මේ සියල්ල තාක්ෂණ දියුණුවත් සමග පැමිණි පහසුකම් ලෙස සැලකීම නිවැරදිය. එසේ වුවත් අප කුඩා කළ, වෙසක් සමයේදී, බට කැපීමේ සිට, වෙසක් කුඩු තනා  ඒවා ආලෝකමත් කිරීම දක්වා, සියලුම පියවර වලදී  ලැබූ අහිංසක වින්දනය සහ හසුරු කුසලතාව අද දරුවන්ට නොලැබී යාම නම්  සන්තාපයට හේතුවකි. නැවත එවැනි කාලයක් උදා නොවනු ඇත. පාසල් යන දරුවෙකුට වෙසක් කූඩුවක්, සරුංගලයක් වැනි සරල දෙයක් සාදාගෙන, එයින් වින්දනයක් ලබාගැනීමට නොහැකි නම් එය මහත් අඩුවක් ලෙස දැනේ.   තාක්ෂණ දියුණුව කොයි තරම් වේගයෙන් ඉදිරියට ගියත්, අපගේ සංස්කෘතිය හා සම්බන්ධ පැරණි දේ දරුවන්ට ප්‍රගුණ කිරීමේ වගකීම දෙමාපියන් සහ අනිකුත් වැඩිහිටියන්ගේ යුතුකමක් බව මගේ හැඟීමයි.
                    
                 

Thursday, 2 May 2019

ජෛව විවිධත්වය සුරැකීම සඳහා, වන වැදී ඇති බළලුන්, මිලියන දෙකක් ඝාතනය කිරීම


·        සුරතල් සතුන් වුවද පාලනයෙන් ගිලිහී ගියහොත් විනාශකාරී විය හැකිය.
·        දඩාවතේ යන බළලුන් මහා විපතකි.
·        බළලුන් සඳහා ඇඳිරි නීතියක්

බොහෝ අය සුරතල් සතුන් ඇති කිරීමට මහත් කැමැත්තක් දක්වති. සමහර සුරතල් සතුන් ගෙදර සාමාජිකයින්ම ලෙස සැලකීමක් දක්වන  අයද සිටිති. බල්ලන් සහ බළලුන් සුරතල් සතුන් ලෙස ඇති කිරීම, මිනිස් ශිෂ්ටාචාරයේ ආරම්භයේ සිටම පැවති බව පෙනේ. වසර හාරදහසකට පමණ පෙර සිටි  ඊජිප්තු වාසීන්ද  බළලුන් හීලෑ කර සුරතල් සතුන් ලෙස ඇතිකර තිබෙන බව කියැවේ.

D.L. Brown විසින් රචිත The Adventures of An Awful House Cat යන ළමා පොත කියවා ඇති අය, ගෙදර ඇතිකරනු ලබන බළලෙකුගේ, අපූර්ව රාත්‍රී චාරිකා පිලිබඳ  හොඳ අවබෝධයක්  ලබන්නට  ඇති බව නිසැකය. මෙම පොතෙහි සඳහන් ‘නොරිස්’ නමැති සුරතල් බළලාගේ හාස්‍ය ජනක ගමන් බිමන් සහ මිතුරු මිතුරියන් ඇසුරු කිරීම ළමා සිත් ඇද ගන්නාසුළු විය. සුරතල් සතුන් අතරින් බල්ලා තම ස්වාමියාට සහ ගෙදර අන් අය සමග ඉතා ලෙන්ගතුව සිටී. එසේ වුවත් බළලුන් හිතවත් කම පෙන්වුවද, බොහෝ විට ආත්මාර්ථකාමී සුරතල් සතුන් බව ප්‍රකටය.

විද්‍යාත්මකව බළලුන් හඳුන්වනුයේ  Felis catus වශයෙනි. ගෙවල ඇතිකරනු ලබන බළලුන් Felis catus domesticus  ලෙසද හැඳින්වේ. බළලා ‘pussy’යන ඉංග්‍රීසි වචනයෙන් බිඳී ආ  ‘පූසා’ යන සුරතල් නමින් හැඳින්වීම කාගේත් කටට හුරු වදනකි. බළලුන් ඇතිකිරීම පහසුය. ඔවුන්, තමන්ට අවශ්‍ය ව්‍යායාම් තනිවම කර ගන්නා අතර, තනිවම  ඇඟපත පිරිසිදු කරගැනීමද ඔවුනට කළ හැකිය. ගෙදරට  මීයන් වැනි අහිතකර සතුන් පැමිණීම පාලනය කිරීමටද බළලා සමතෙකි. පොදුවේ Cats යන නමින් හඳුන්වනු ලබන  Felidae හෙවත් බිළාල ගෝත්‍රයට අයත් කොටි, සිංහයින්, ව්‍යාඝ්‍රයින් වැනි මාංශ භක්ෂක විශාල ශරීර සහිත බිළාලයින් බළලුන්ගේ පරිණාමික ඥාතීහු වෙති. 

මුල් අවදියේදී යුරෝපීය සංක්‍රමණිකයින් විසින් ඕස්ට්‍රේලියාවට  ගෙනෙන ලද බළලුන්, දඩාවතේ ගොස් වල් වැදී වෙනත් සතුන්ට මහත් තර්ජනයක් වී තිබේ. එම තර්ජනයේ ස්වභාවය සහ එම තත්ත්වය මර්දනය කිරීම සම්බන්ධයෙන්, ‘Live Science Essentials’ හි ජේෂ්ඨ ලේඛිකාවක්  වන  Mindy Weisberger විසින් 2019 අප්‍රියෙල් 29 වන දින එම ප්‍රකාශණයට ලියන ලද  ලිපියක, මහා බළල් සංහාරයක් පිළිබඳ තොරතුරු දක්වා තිබේ.    

1700 ගණන් වලදී ඔස්ට්‍රේලියාවේ පදිංචිය සඳහා පැමිණි යුරෝපීය සංක්‍රමණිකයින් විසින් ඔවුන් සමග බළලුන්ද  ගෙනැවිත් තිබේ. එකළ, මෙම බළලුන්ගේ හැසිරීම් රටා පිලිබඳ පාලනයක් නොතිබුණු නිසා, සමහර බළල්ලු දඩාවතේ යන්නට පටන් ගත්හ. එසේ දශක කිහිපයක් ගත වන විට,   වල් වැදුනු බළල්ලු බහුලව බෝවීම නිසා  ඉතා විශාල ගහණයක් ලෙස ව්‍යාප්ත වී තිබේ. දැනට මෙය ඕස්ට්‍රේලියාවේ සිටින  විශාලතම බළල් ගහණයයි.
 මේ ආකාරයටම  අයිතිකරුවන් නොමැති, දඩාවතේ යමින් ගෘහාශ්‍රීතව පමණක් හැසිරෙන දෙවන බළල් ගහණයක්ද බිහිවී තිබේ.
 දඩාවතේ යාම සීමාවී සිටින  ගෙවල ඇතිකරන බළල්ලු තුන්වන කණ්ඩායමයි.
 වික්ටෝරියා ප්‍රාන්තයේ මොනෑෂ් කවුන්සිලයට අයිති ප්‍රදේශයේ පමණක්, ලියාපදිංචි කරන ලද ගෙවල ඇති කරන බළලුන් 4,664 ක් සිටින බව වාර්තාවේ.

ලෝකයේ කුඩාම මහාද්වීපය වන ඕස්ට්‍රේලියාවේ වල් වැදුනු බළලුන් මිලියන පහකට වැඩි සංඛ්‍යාවක් සිටින බව ඔබ විශ්වාස කරන්නෙහි ද?  2017 වර්ෂයේදී The Sydney Morning Herald පත්‍රයට ප්‍රකාශයක් කළ  ඕස්ට්‍රේලියාවේ, ‘වඳවී යාමට ආසන්න සතුන් පිලිබඳ කොමසාරිස්’ ග්‍රෙගරි ඇන්ඩෘස් විසින් මේ බව පවසා තිබේ.
ඔහුගේ ඇස්තමේන්තුව අනුව, මහාද්වීපය පුරාම සහ අවට දුපත් වලද  වල් වැදී ඇති බළලුන් සිටිති. මෑතදී ලබා ඇති දත්ත අනුව මෙම වල් බළලුන් විසින් ඕස්ට්‍රේලියාවේ වනාන්තර සහ මිනිස් වාසස්ථාන ආශ්‍රිතව ජීවත්වන මිලියනයක් පමණ උරගයින්, එක දිනකදී විනාශ කර දමති.
 එසේම ඕස්ට්‍රේලියානු වනජීවී සංරක්ෂණ ආයතනයෙන් ලැබී ඇති තවත් තොරතුරකට  අනුව, වල් වැදුණු බළලුන් විසින් වාර්ෂිකව, කුරුල්ලන් මිලියන 316 සහ උරගයින් මිලියන 596 පමණ මරා,  කා දමන බව සොයාගෙන තිබේ. මේ නිසා ඕස්ට්‍රේලියාවේ දේශීය වනජීවින් හට වල්වැදුනු බළලුන්ගෙන් වන විපත ඉතාමත් භයානකය. ඕස්ට්‍රේලියාවේ, තිරසාර බව, පරිසර, ජලය, ජනගහනය සහ ප්‍රජා කටයුතු පිලිබඳ දෙපාර්තමේන්තුවේ  (Department of Sustainability, Environment, Water, Population and Communities  - SEWPAC). වාර්තාවකට අනුව මෙම වල් වැදුණු බළලුන්ගේ ග්‍රහණයට අසුවන කුරුළු විශේෂ 35 ක්, ක්‍ෂීරපායි විශේෂ 36 ක්, උරග විශේෂ 7 ක් සහ උභයජීවී  විශේෂ 3ක් සිටිති. ස්වාභාවික පාලනයකින් තොර මෙම වල් වැදුනු බළලුන්ගේ ශීඝ්‍ර බෝවීම නිසා පසුගිය දශක කිහිපය තිස්සේ වනජීවී විශේෂ රාශියක ගහණය තුනී වී ගොස් තිබේ.
සුවිශේෂී ජෛව විවිධත්වයකින් යුක්ත ඕස්ට්‍රේලියාවේ, වනාන්තර ආශ්‍රීතව  විලෝපියයෙකු (predator) වී ඇති, වනවැදුනු බළලුන්ගේ, ගොදුරු බවට පත්වන අනිකුත් සතුන්, වඳවී යාමෙන් බේරා ගැනීම සඳහා වනජීවී බලධාරීන්ට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවී තිබේ. මොවුන් ආක්‍රමණශීලී සත්ත්ව ප්‍රභේදයක ස්වරූපය ගෙන ඇති නිසා  ජෛව විවිධත්වය රැකගැනීම පිණිස ආක්‍රමණිකයන් ඉවත් කිරීම විනා,  වෙනත් විකල්පයක් නොමැත.
මේ නිසා වටිනා ජෛව විවිධත්වය රැක ගැනීම සඳහා  වනවැදුනු බළල් ගහණය සමග මහත්
සංග්‍රාමයක් කිරීමට සිදුවී තිබේ. පසුගිය දශක කිහිපය තිස්සේ විවිධ ගහණ පාලන ක්‍රමවේදයන් භාවිත කරනු ලැබුවත්, දිනෙන් දිනම බළල් ගහණය වැඩිවීම මහත් ගැටලුවකි. අවසානයේදී, මෙවැනි උපද්‍රවයකදී ගනු ලබන කෲරතම ක්‍රමය ක්‍රියාත්මක කරන්නට සිදුවී තිබේ. එය නම් අධිකතර ගහණය තිරසාර වන පරිදි, සෙස්සන් විනාශ කිරීමයි. මෙම තීරණය ගත් පසු, 2016 වසරේදී පමණක් වන බළලුන් 211,000 ක් ජීවිතක්ෂයට පත්කළ බවට SEWPAC වාර්තාවක දක්වා තිබේ. 2020 දක්වා කරගෙන යනු ලබන මෙම සංහාරය මගින්, වන බළලුන් මිලියන දෙකක් පමණ විනාශ කර දැමීම ඔවුන්ගේ ඉලක්කයයි.

මෙයට සමගාමීව ගෙවල ඇතිකරන සුරතල් ‘පූසන්’ රැක ගැනීම සඳහාද  ඉතාමත් සත්ත්ව හිතකාමී වැඩපිළිවෙලක් යෙදවීම පිණිස  ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ මොනෑෂ් කවුන්සලය පියවර ගෙන තිබේ. එය නම්කර ඇත්තේ ‘බළලුන් සඳහා ඇඳිරි නීතියක්’     (A cat curfew) යනුවෙනි.
මොනෑෂ් ප්‍රාදේශීය කවුන්සලයේ 2019 මාර්තු නිල පුවත් නිවේදනයට අනුව ‘බළල් ඇඳිරි නීතිය’ පිලිබඳ දැනුවත් කිරීමක් කර තිබේ.) ඡායාරූපයේ දැක්වෙන පරිදි එම නිවේදනයේ අවසාන කොටස මෙසේය: 
“Cats are great companins to many residents in Monash. However, they are also natural predators and if they are left to roam at night they can do enermous dmage to native wildlife and be a nuisance to residents, and that is of concern to Council.
The  ‘cat curfew’ is one of a number of measures in Council’s Domestic Animal Management (DAM), plan which was adopted at the 31 st October 2017 Council meeting.
There are 4,664 registered cats in Monash.” (www.monash.vic.gov.au)
මේ ආකාරයට ‘බළල් ඇඳිරි නීතිය’ ක්‍රියාත්මක කර,  බළලුන් ගෙවල් වලට කොටු කර තැබීම සඳහා අයිතිකරුවන් දැනුවත් කිරීම සඳහා, මාධ්‍ය හරහා  විශාල ප්‍රචාරයක් දී තිබේ. මේ  මගින් බලාපොරොත්තු වන්නේ  රාත්‍රී කාලයේ දඩාවතේ යමින්, විලොපියයන් ලෙස හැසිරෙමින්,  අනිකුත් සතුනට පීඩාකාරී වන බළලුන් මර්දනය කර ගැනීම සඳහා සුදුසු පියවර ගැනීමට ඉඩකඩ සලසා ගැනීමයි.

වන වැදී සිටින පීඩාකාරී බළලුන් මර්දනය කිරීම සඳහා විවිධ ක්‍රමෝපායයන් භාවිත කරනු ලැබේ. වෙඩි තැබීම, උගුල් ඇටවීම සහ මරණීය විෂ සහිත ආහාර දීම මගින් මෙම බළල් ගහණය තුනී කර ගැනීමට මහත් උත්සාහයක් ගනිමින් සිටින බව දකින්නට ලැබේ.

මීට පෙරද, 1907 දී පමණ, සංක්‍රමණිකයින් විසින් ගෙනෙන ලද,රටහාවුන් (rabbits) ශීඝ්‍රයෙන් බෝවීම නිසා, ඔස්ට්‍රේලියාවේ පාලනය කර ගත නොහැකි වූ හාවුන්ගේ ගහණයක් නිසා, මෙවැනිම විපතක් සිදුවී ඇති බවටද වාර්තාවේ. එම අවස්ථාවේදී, බටහිර ඕස්ට්‍රේලියාවේ ශීඝ්‍රයෙන් බෝ වීමට පටන්ගත් හාවුන් රටෙහි අනිකුත් ප්‍රදේශ වලට සංක්‍රමණය වීම  වැලැක්වීම  පිණිස, හාවුන්ට රිංගා යාමට නොහැකි වැටවල් තුනක් ප්‍රාන්ත මායිමේ ඉදි කරන්නට සිදුවිය. වසර හයක් තිස්සේ එසේ ඉදිකරන ලද වැටවල් වල දිග කිලෝමීටර් 3,256 ක් විය. මෙයින්, කිලෝමීටර් 1,139  ක් දිගින් යුත් වැට, ලෝකයේ දිගම වැට ලෙස වාර්තාවක්ද පිහිටුවන ලදී. ඒ කාලයේ මෙම වැටෙහි කිලෝමීටරයක් ඉදි කිරීම සඳහා ඩොලර් 250 පමණ වැයවූ බවද සටහන් කර ඇත.

යම්කිසි පරිසරයක සමතුලිත බව පවතින්නේ සහ එයට හානි සිදුවන්නේ කෙසේද?

·        සීමිත විලොපියයන් පමණක් සිටීම - ඕස්ට්‍රේරේලියාව, මහා සාගරය නිසා භු ගෝලීයව සෙසු ලෝකයෙන් දුරස් වී තිබෙන මහාද්වීපයයි.  මෙහි සත්ත්ව පරිණාමයද තරමක් ‘සෙමින්’ සිදුවී ඇති නිසා ආදී කාලීනයින් යයි සැලකෙන උදරයේ පැසක් (pouch) සහිත, කැන්ගරු සහ වොලබි  වැනි සේපාටිකයින් (marsupials) තවමත් නිරුපද්‍රිතව සිටිති. මොවුන්ගේ ගහණය ස්වභාවිකව පාලනය වේ. එසේම උභය ජීවීන්, උරගයින් සහ පක්ෂීන් වැනි දේශීය සතුන්ගේ ගහණද, දේශයට ආවේණික විලෝපියයන්ගේ බලපෑම නිසා ස්වාභාවික සමතුලිත බවකින් පවතී. 
    
·        මාංශ භක්ෂක බළලා ආගන්තුක විලෝපියයෙකි - කුඩා සතුන් දඩයම් කිරීම සඳහා අනුවර්තන සහිත බළලා ඕස්ට්‍රේලියාවේ ආවේනික සත්ත්ව ප්‍රජාවට විලෝපියයෙකි. ආගන්තුක විලෝපියයාගේ ග්‍රහණයෙන් මිදියාම සඳහා දේශීය සතුන්ට අනුවර්තන නොමැත. මේ නිසා පහසුවෙන්ම ඔහුගේ ග්‍රහණයට හසුවේ. 

·        සම්පත් සූරාකෑම සහ අධික බෝවීම - බාහිර බාධක නොමැති විට ආගන්තුක විලෝපියයා පරිසරයේ ඇති සතුන් අධික ලෙස ගොදුරු කර ගනිමින් ශීඝ්‍ර ලෙස තම වර්ගයා බෝ කිරීමට පටන් ගනී.

·        ආගන්තුකයා තමන්ට ගැලපෙන පරිදි පරිසරය වෙනස් කිරීම - ආගන්තුක විලෝපියයන් විසින් පරිසරයට ආවේනික සතුන් අධිකලෙස ගොදුරු කර ගැනීම සම්පත් සූරාකෑමකි. මේ නිසා ආවේණිනික දේශීය ගහණ ක්‍රමක්‍රමයෙන් තුනී වේ.

·        වෙනස් වන පරිසරය, දේශීය සතුන්ට හිතකර නොවීම-  විලෝපියයන්ගේ බලපෑම නිසා විකෘති වන පරිසරය ආවේනික දේශීය සතුන්ට අහිතකර බවට පත්වේ.

·        ගහණය තුනී වී  වඳවී යාම - වෙනස් වන පරිසරයට අනුවර්තනය වීමට නොහැකි වන දේශීය සත්ත්ව ගහණය ක්‍රමක්‍රමයෙන් තුනිවී ගොස් අවසානයේදී වඳවී යාමට තුඩු දේ. 

මෙසේ සලකා බලන කළ, ඕස්ට්‍රේලියාවේ ආරම්භ කර තිබෙන, මහා වන බළල් සංහාරය පරිසර විද්‍යාත්මකව, ඉතාමත් නුවණට හුරු, පරිසර සංරක්ෂණ ක්‍රමවේදයක් ලෙස සැලකිය හැකිය.