මිනිසා කෙතරම් දුරට සතුටින්
සිටීද යන්න හඳුනා ගැනීම සඳහා නිවැරදිව යොදා ගත හැකි පොදු මිණුම් දණ්ඩක් මෙතෙක්
හමුවී නොමැති ලෙසකි. එක් එක් පුද්ගලයාගේ සතුට විවිධ විය හැකි නිසා මෙවැන්නක් ගැන
සිතීම පවා අපහසුය. සිනාමුසු බවකින් සිටීම හෝ මහ හඬින් සිනහවිම සතුට ප්‍රකාශ කිරීමේ
එක් ක්‍රමයක් විය හැකිය. මෙය බොහෝ විට කුඩා දරුවන් තුළ දකින්නට ලැබේ.
“සංතුෂ්ඨී
පරමං ධනං” (happiness is the
ultimate wealth) යන ධම්ම පද පාඨයට අනුව සතුට
පරම ධනය වේ. මේ නිසා නූතන සමාජයේද පරම ධනය වන සතුට ලබාගැනිම සඳහා මිනිසා විසින්
උපයෝගී කර ගන්නාලද ක්‍රමෝපායයන්වල තරමක් පැරණි පැතිකඩක් ගැන විමසුමකි මේ.
“සිනා සී තර වන්න” යනුවෙන් අපට
හුරුපුරුදු පැරණි ප්‍රස්තා පිරුළක්ද තිබේ.
කෙසේ වෙතත්, එය සත්‍යයක් නම්, වර්තමාන සමාජයේ සමහරු සිනාසීමට මැළි වනු ඇත. එසේ
වනුයේ ශීඝ්‍රයෙන් පැතිරෙන තරබාරු කම නමැති සංකුලතාව නිසාය. සිනාසීම සතුට පෙන්වන
සාධකයක් වියහැකි නිසා දැනටද අප ජන සමාජයේ සතුට බෙහෙවින් ඇති බව පෙනේ.
කවටකම්ද සිනහ
දනවන සුළු ප්‍රකාශ වශයෙන් ගිණිය හැකිය. අතීතයේ ජීවත්වූ අන්දරේ, අංක එකේ කවටයෙකු
වශයෙන් ප්‍රසිද්ධය. ‘රජවාසල කවටයා’ වූ
අන්දරේ, රජතුමා සහ බිසව ඇතුළු කාටත් ඇස්
රතුවන කවටකම් කර තිබේ. එමෙන්ම යසලාලකතිස්ස රජතුමා සුභ නම් දොරටුපාලයා සමග එක්වී
කරනලද කවට කමකින් රජතුමාට රජකම නැතිවූ සිද්ධියක්ද අප අසා ඇත.
එසේම අප සාහිත්‍යයේ එන
‘මහදැනමුත්තා’ ද මෝඩකම් යයි සැලකිය හැකි බොහෝ හාස්‍ය ජනක දේ කර අන් අය සිනහ ගන්වා
තිබේ. කලකට පෙර අප රටෙහි කවට කම් වලටම වෙන්වූ ‘කවට මුත්තා’ නම් මාසික පත්‍රයක්ද පළවී
ඇති බව ප්‍රකටය. කවටකම් සහ විහිලු තහළු ආශ්‍රිතව උපහාසයද හුවා දැක්විය හැකි අතර,
එය සාහිත්‍ය රස විඳීමේ එක් මෙවලමක් ලෙසද භාවිත වේ.
අපගේ සංස්කෘතික උරුමයන් ලෙස
පිළිගැනෙන බලි, තොවිල්, සෙත් ශාන්ති වැනි අවස්ථාවලදීද, ප්‍රේක්ෂක ආකර්ෂණය වැඩිකර
ගැනීම සඳහා හෝ කාලය මිඩංගු කිරීම සඳහා බෙර
වයන්නන් සහ නැට්ටුවන් අතර විහිලු ගණයේ සංවාද ඇතිවන බව අප දැක තිබේ. සමහර
අවස්ථාවලදී මේවා ‘දෙපැත්ත කැපෙන’ ප්‍රකාශ බවටද පත්වේ. කෙසේ වෙතත් එවැනි විහිලු,
සීමාව ඉක්මවා ගිය විට පිළිකුල් සහගත ප්‍රකාශයන්ද විය හැකිය. එසේම විහිලු තහළු උපහාසයෙන්
ඔබ්බට ගොස් අපහාසය මූලික වූ ‘මඩ ගැසීමක්’ බවට පත්වුවහොත් ඒවාද සමාජයෙන් ප්‍රතික්ෂේප වේ.
‘උසුළු විසුළු’ යනුවෙන්
හැඳින්විය හැකි වාචික කවටකම් ප්‍රභේදයක්ද ඇත. මේවායේත් ‘රතු ඉර පැන්නූ විට’ අඬදබර,
කළකෝලාහල වලින් පවා අවසන් විය හැකිය. දැනට
දශක කිහිපයකට පෙර සිටි කෙටිකථාකරුවෙකු වූ ටී.ජී.ඩබ්ලිව්.
ද සිල්වා මහතා තම කථා ඔස්සේ උපහාසය හොඳින්
ඔප් නැංවිය. ඔහුගේ කෙටිකථාවල ‘භගලවති ඉස්කෝලේ හාමිනේ’ සහ ‘පණ්ඩිත ඔල්මොරොන්දම්’
වැනි චරිත සහ ‘කාකද්වීපය’ වැනි වටපිටාවල් ඒ කාලයේ බොහෝ ජනප්‍රිය විය.
අපගේ චිත්‍රපටි සහ වෙනත් නාට්‍ය
වලද විකට නළු චරිත රාශියක් දැකිය හැකිය. ශ්‍රී ලංකාවේ මුල් චිත්‍ර පටි කිහිපයක
රඟපෑ එඩී ජයමාන්න, ඩී.ආර්. නානායක්කාර සහ
ෆ්‍රෙඩී සිල්වාත්, එසේම ‘විනෝද සමය’ වැනි
ගුවන් විදුලි සහ රුපවාහිනි වැඩ සටහන්වල විකට චරිත නිරූපණය කල සැමුවෙල් රුද්‍රිගු,
ඇනස්ලි ඩයස්, බර්ටි ගුණතිලක වැන්නෝද එයින්
කැපී පෙනෙන නළුවෝ වූහ. මෙම වැඩ සටහන් වල කාන්තා විකට චරිත රඟපෑවේ මර්සි එදිරිසිංහ
නිළිය බවද සඳහන් කළ යුතුය.
‘විනෝද සමය’ නමැති මෙම ජනප්‍රිය වැඩ සටහන ‘අන්දරේගෙන් පස්සේ’ යන
අලුත් නමකින් මෑතදී නැවත ප්‍රචාරය විය.
බටහිර ලෝකයේද චාලි චැප්ලින් වැනි අසහාය විකට නළුවෝ ලොව පුරා ඉතා
ජනප්‍රිය වූහ. අමෙරිකාවේ Mutual Film Cooperation වාර්තා කරන ආකාරයට චාලි චැප්ලින්
වයස අවුරුදු 26 දී ලෝකයේ වැඩිම ආදායම් ලබන පළමු පස්දෙනා අතරට යාමට තරම් ජනප්‍රිය වී
ඇත්තේ ඔහුගේ උපහාසාත්මක කථාබහ, බැල්ම, හැසිරීම් රටාව, අංග චලනය වැනි ලක්ෂණ නිසාය.
චාලි චැප්ලින් ඔහුගේ චිත්‍ර
පටයක.
මෑතකාලයේ බටහිර විකට චරිතයක් වන මිස්ට බීන් ද (Mister
Bean) චාලි චැප්ලින් තරමටම වාගේ ප්‍රසිද්ධියක් ලබා තිබේ.
ශ්‍රී ලංකාවේ කාටුන් චිත්‍ර ශිල්පපීන්ගෙන්ද විකට හා උපහාසාත්මක නිර්මාණ රාශියක් බිහිවී ඇති
අතර, නව ශිල්පින් බොහෝ දෙනෙකුද ඉදිරියට එමින් සිටිති. මෙම ශිල්පීන් බොහෝ දෙනෙකුට
කලඑළි බැසීමට දායක වී ඇත්තේ පුවත් පත්ය. ජී. එස්. ප්‍රනාන්දු සහ කොලට් ඒ කාලයේ
සිංහල සහ ඉංග්‍රීසි පුවත් පත්වල කාටුන් නිර්මාණය කළ ප්‍රසිද්ධ ශීල්පියෝ වූහ. ඒ
කාලයේත් මෙම කාටුන් වලින් බොහෝ දුරට උපහාසයට ලක් වූයේ දේශපාලන ඥයින්ය. අදත් එසේමය. තවත් කාටුන් ශිල්පියෙකු වූ අමිත
අබේසේකරයන්ද සමාජයේ අඩු ලුහුඬු කම් වලට තියුණු පහර එල්ල කරමින් ‘විකට විට’ නම් තනි
තීරුවේ කාටුන් නිර්මාණ පුවත් පත්වලට සැපයූ
කලාකරුවෙකි. දැනටද, තලංගම ජයසිංහ, දාස හපුවලානේ, පංකජ රුවින්ද වැනි දක්‍ෂ කාටුන්
ශිල්පීන්ගේ අගනා සංකල්පනාවලින් පුවත්පත්වල පාඨක රස වින්දනය ඔප් නංවා තිබේ.
තලංගම
ජයසිංහගේ නවතම සංකල්පනාවක්
දැනට
දශක හතරකට පමණ ඉහතදී ප්‍රසිද්ධියට පත්ව සිටි
හෙන්රි තෙන්නකෝන් ඒ වකවානුවේදීම බිහිවූ වෙනත් මාදිලියේ කාටුන් ශිල්පියෙකි. කළුතර
විද්‍යාලයයේ චිත්‍රකළා ගුරුවරයෙකු වූ ඔහු, මාගේ මිතුරෙකුද විය. මා එවකට සේවය කළේ කළුතර
ප්‍රාදේශීය අධ්‍යාපන දෙපාර්තමේන්තුවේය. ඉරිදා
ලංකාදීප පත්‍රයේ කලක් තිස්සේ පළවී පාඨකයින් අතර ඉතා ජනප්‍රිය වූ ‘සමාජ සමයං’
සංයුක්ත කාටුන් සටහන් ඔහුගේ අගනා කෘති විය.
ඒ කාලයේ අපට නිතර හමුවන ඔහු ඒ සෑම විටකම වාගේ “නැද්ද බොස්..... අලුත් සමයං කෑල්ලක්” කියා අපගෙන් ඇසීමට පුරුදුව සිටියේය. ‘සමාජ සමයං’ කාටුන් වලදී ඔහුගේ සාකච්ඡා මඬුල්ලට
බොහෝවිට එකතු වූයේ ඒ මනඃකල්පිත පවුලේ
උදවිය හෝ කාර්යාලයයක සේවය කරන අය හෝ බසයක
හෝ දුම්රියේ ගමන් කරන මගීන් සමුහයකි. ඔහුගේ සංකල්පනාවලට භාජන වුයේ එදිනෙදා ජිවිතයේ
සුන්දර අත්දැකීම්ය.
මේ
කාලයේම ඉරිදා ලංකාදීප පත්‍රයේ පළවූ “පොඩි එකාගේ ලියුම” නම් උපහාසාත්මක තීරු ලිපියද
පාඨකයින් ප්‍රිය කල තවත් විශේෂ අංගයක්
විය. මෙය කාගේ කෘතියක්ද යන්න මට අමතකය. කලකට පෙර “පොඩි එකාගේ ලියුම” තීරුවක පළවී තිබුණු රසවත්
නිර්මාණයක උපුටනයේ පිටපතක් උපුටාගත් අයට සහ නිර්මාණය කළ අයටද ස්තුති පුර්වකව මෙහි
දක්වමි.
වරක් පොඩි එකා ඉතා උපහාසාත්මක සිද්ධියක් වාර්තා කලේය. එහි පසුබිම
මෙසේය. පොඩි එකාගේ ගෙදරට අල්ලපු ගෙදර ඉන්නේ මානිස් නම් වූ මුදලාලි කෙනෙකි. ඔහුගේ
දුවගේ නම සාමාය. ඇය සනී නම් වූ තරුණයෙක් සමග පෙම් බැඳ සිටින්නීය. පොඩි එකාගේ පියා සංගීතඥයෙකි.
ඔහු 'ස රි, ග, ම, ප, ධ, නි, ' ස්වර භාවිතයෙන් සංගීතය නිතර දෙවේලේ හදාරයි. පොඩි එකා ලියුම මෙසේ ලියයි.....
"අපේ තාත්තා සංගීතකාරයෙකි. තාත්තාගේ වැඩේ උදේ ඉඳල හැන්දැ වෙන කම්
සංගීතය පුරුදු වෙන එකය. තාත්තා අලුත් සිංදුවක් හදල ඒකෙ ස්වර පුරුදු වෙන කොට අල්ලපු ගෙදර මානිස් මුදලාලි තරහ
වුනේය. ඒ මානිස් මුදලාලිගෙ දුව සාමා, මානිස් මුදලාලි හවස
නිදා ගන්න කොට,
එයාගෙ කොල්ල වන, සනී එක්ක පැනල ගිය
එකට තාත්තා හින්ට් ගහනව කියලාය. සිංදුවේ තනුව මෙසේය.
"මා..නි..සා, ..මා....නි..සා, නි....ධා... ග..නී...//
සා..මා, සා... රි... ධා... ග...නී...// ස...නී ස..ම..ග ප..නී...// "
අප සමාජයේ පොදු ජනතාව එදිනෙදා
ජීවිතයේදී, විවිධ වස්තු බිජ අනුසාරයෙන් විහිලු තහළු හෝ උපහාසයෙන් අහිංසක වින්දනයක්
ලබන බව නිතර දකින්නට ලැබේ. මෙයින් පෙනී යනුයේ සතුට සහ සිනහව ලඟාකර ගැනීම සඳහා මෙම
මාධ්‍යය බොහෝ ප්‍රයෝජනවත් වන බවයි. සාක්ෂරතාව අතින් උසස් මට්ටමක සිටින අපගේ ජනතාවට
මෙවැනි වින්දනයක් ලබාගැනීම පහසුවෙන්ම කළහැකි බව ඔවුන්ගේ නිර්මාණ වලින් පැහැදිලි
වේ. මට, මෑතකදී ෆේස් බුක් හරහා
මිතුරෙකුගෙන් ලැබුණු, මෙවැනි, එමෙන්ම
කුතුහලය දනවන අහිංසක විහිළුවක් ලෙස දක්විය හැකි ලෝකයේ රටවල් කිහිපයක නම් සඳහා නව
තේරුමක් බැගින් දී සකස් කරන ලද අපගේ දේශීය
නිර්මාණයක් පහත සඳහන් වේ. (මෙහි
නිර්මාණකරු පිලිබඳ තොරතුරු සොයාගැනීමට නොහැකි විය )
ලෝකයේ රටවල් කිහිපයක නම් සඳහා
නව අර්ථ කථනයක්.
1. බියෙන් අරක් ගත් රට - අරා
බිය
(අරාබිය)
2. බල්ලන් සිප වැළඳ ගන්නා රට - බලු කිස් ථානය (බලුකිස්ථානය)
3. කාමභෝගී අය ජය ලබන රට - කාම් බෝ
ජය (කාම්බෝජය)
4. සර්පයින් නිතරම මළ පහ කරන රට
- නයි ජී
රියාව (නයිජීරියාව)
5. පිදුරු සෙවිළි කළ කාර් ඇති රට
- මැඩ ගස්
කාර් (මැඩගස්කාර්)
6. හැමවිටම ලකුණු වැටෙන රට -
ඩෙන් මාර්ක් (ඩෙන්මාර්ක්)
7. සමාජයෙන් කොන්වූ අය සිටින රට
- හොං කොන්
(හොංකොන්)
8. අනික් රටවල් ඇමට යොදවන රට - ඇම රිකාව (ඇමරිකාව)
9. ‘සිම් කාඩ්’ නිපදවන රට - සිම්
බාබ්වේ (සිම්බාබ්වේ)
10. ලියන් රාශියක් සිටින රට - ඉතාලිය (ඉතාලිය)
11. යාමට මාර්ගයක් නැති රට - නෝ වේ (නෝවේ)
12. ලොව සිරියාවන්තම රට - සිරියා ව (සිරියාව)
13. තම නාමය ලොව බබලවන රට - වියට් නාමය (වියට්නාමය)
14. ණය පිළිකුල් කරන රට - චී නය (චීනය)
15. ණය සාගරයක ගිලී තිබෙන රට - සී ලෝන් (සීලෝන්)
මේ අතින් බලන කළ විහිලු තහළු, උසුළු විසුළු, උපහාසය, සරදම් ආදිය
අපගේ සාහිත්‍යයට බොහෝ දුරට නෑකම් තිබෙන හාස්‍යය මුසු ප්‍රකාශණ ලෙස දැක්විය හැකිය. අනාගතයේදීත්
මිනිසාට සතුට සහ සිනහව ගෙනදෙන මෙවැනි නව නිර්මාණ වැඩි වැඩියෙන් බිහි වේවායි යන්න අපගේ ප්‍රාර්ථනයයි.
සිනා මැවෙන විට හදවත පිරෙන තරම්
ReplyDeleteගෙනා සතුට මෙතෙකැයි කිව නොහැකි තරම්
මනා සිහියකට විහිලුව වටින තරම්
සිනා වටී ජීවිතයක් රැකෙන තරම්....
ජයවේවා!!!
ස්තුතියි දුමී,
Deleteහිස් බව මකා හැකියා ඉදිරියට එතී
දස් කම් තිබේ පෙන්වන දිවි මගෙහි පැතී
විස් තර කරන විට උපහාසයන් ගෙතී
ඇස් 'රතු' උනොත් විහිලුව කිසි පලක් නැතී
ඔබට ජයම !
ඉතා දිගු කාලයක් තිස්සේ මගේ සිතේ තැන්පත් වී තිබෙන ස්වර මාලාවක් මෙන්න.
ReplyDeleteමට මතක හැටියට මෙය ද තෙන්නකෝන්ගේ පොඩි එකාගේ ලියුමක තිබී මමද ස්වර කිහිපයක් දමා දික් කර සාදාගත් එකකි.
සාරි මග දම දමා මාරී රිරී පාග පාගා නිදා ගනී
ස්තුතියි රසික,
ReplyDeleteසංගීත ස්වර මාලාවේ ස්වර හරඹයකින් තවත් විහිළුවක් සොයා එවීම මා අගය කරනවා. ඉංග්‍රීසියේ තිබෙන සමහර වාක්‍ය ඛණ්ඩ සහ යෙදුම් සිංහල ඌරුවට හරවා සකස් කර ඇති විහිලු බොහෝ විට හමුවෙනවා. මේවා යේ එකතුවකින් කෙනෙකුට පර්යේෂණයක් උනත් කරන්නට හැකිවේවි.
The possession of a sense of humour is an indication of being civilized.
ReplyDeleteThank you Pra Jay,
ReplyDeleteI totally agree with you. Humour is the best medicine!