· ඔබගේ ළදරුවාගේ ප්ලාස්ටික් කිරි බෝතලය Micro wave උදුනේ
දමා රත් කරනවාද ?
· දියණිය පාසලට ගෙනයන උණුසුම් ආහාර ඔතා තිබෙන්නේ
පොලිතින් දවටනයකද?
එසේනම්
අනාගතයේදී සිදුවිය හැකි ආපදා ගැන දෙවරක් සිතන්න !
තවත්
‘මිහිකත දිනයක්’ උදාවිය. උදාවූ එම දිනය අවසන්විය. එය එක් දිනකට
පමණක් සිමා නොකර, එදිනට තෝරාගෙන තිබුණු ප්ලාස්ටික් හා සම්බන්ධ අනාගතයේදී සිදුවිය හැකි
ආපදා ගැන මෙනෙහි කරමු.
සිරිත්
පරිදි 2018 වසරේ
මිහිකත දිනයද පසුගිය අප්‍රියෙල්මස 22 දිනට යෙදී තිබිණ. එහි මෙවර තේමාව වුයේ ‘ප්ලාස්ටික් මගින් සිදුවන
පරිසර දුෂණයට තිත තබමු’ යන්නයි .
මිනිසා
ඇතුළු අනිකුත් සියලුම ජිවින්ට ජිවත් වීමට තිබෙන එකම ග්‍රහ ලෝකය පෘථිවියයි. එහෙත්
මිනිසාගේම අදූරදර්ශී ක්‍රියාකලාප නිසා සිදුවන පරිසර දුෂණ හේතුවෙන් අද පෘථිවිය මහත් අන්තරායකාරී තත්වයකට
මුහුණපාමින් තිබේ. මිට දශක හතරකට පහකට
ඉහතදී ‘පරිසර දුෂණය’ නාම මාත්‍රයක් පමණක් වූ අතර, ඒ මගින් සිදුවූ අනර්ථකාරී ව්‍යසන
ගැන අසන්නටවත් නොලැබුණි. 1960 දශකයේ පසු භාගයේදී, මිනිස් බලපෑම නිසා ස්ථානගතව සිදුවූ, යම් යම්
සිද්ධි කිහිපයක් අරමුණු කර ගනිමින්, පරිසර දුෂණය පිලිබඳ සංවේදී බවක් දැක්වූ
විද්වතුන්ගේ මෙහෙයවීමෙන් පරිසරය රැකගැනීම පිලිබඳ කතිකාවතක් ඇතිවිය. මෙහි ප්‍රතිඵලයක්
වශයෙන් ජනතාව පරිසරය පිළිබඳව දැනුවත් කිරීමේ වැදගත්කම අවබෝධ වී 1970 වසරේ අප්‍රියෙල් 22 දින ජගත් ‘මිහිකත දිනය’ (Earth day) ලෙස නම්
කර පරිසර සංරක්ෂණය සඳහා දැවැන්ත වැඩ පිළිවෙලක් දියත් කරන ලදී. ඉන් පසු සෑම වසරකම අප්‍රියෙල් 22 දින ‘ජාත්‍යන්තර මිහිකත දිනය’ (International Earth Day) ලෙස විවිධ තේමා යටතේ, ලොව පුරා ක්‍රියාත්මක
විය. 2016 වසරේ ‘පරිසරය සඳහා තුරුලිය’ (Trees for Earth) මිහිකත දිනයේ තේමාව වූ අතර, පසුගිය වසරේ තේමාව
වුයේ ‘පරිසරය සහ දේශගුණය ගැන දැනුවත් වෙමු’ (Awareness About
Environment and Climate) යන්නයි.
2018 වසරේ
තේමාව ලෙස ‘ප්ලාස්ටික් මගින් සිදුවන පරිසර දුෂණයට තිත තබමු’ (Getting Rid of Plastic Pollution) යන්න තෝරාගෙන තිබෙන්නේ මෙම අති භයානක දුෂකය ගැන
වහාම නිසි පියවර නොගතහොත්, නුදුරු අනාගතයේදීම මුළු මිනිස් සංහතියම මහත් ව්‍යසන වලට
ගොදුරුවී බලවත් අසහනකාරී තත්ත්වයකට පත්වීමේ පෙර නිමිති පහළ වෙමින් තිබෙන නිසාය.
පොලිතීන්
වැනි ජෛව වියෝජනයට භාජන නොවන ප්ලාස්ටික් ද්‍රව්‍ය සහ එදිනෙදා කටයුතුවලදී බැහැර කරන
තවත් සමහර දේ, ඝන අපද්‍රව්‍ය ලෙස නම් කර තිබේ. ඒවා කෙලින්ම පරිසරයට මුදා නොහැර
කළමනාකරණය කරගත හැකි, ජාත්‍යන්තරව පිළිගත් පහසුවෙන් අනුගමනය කළහැකි පියවර තුනක ක්‍රමවේදයක්,
හඳුන්වා දී ඇත. මෙය, අඩුවෙන් භාවිතය (Reduce), නැවත භාවිතය (Reuse) සහ ප්‍රතිචක්‍රීකරණය (Recycle) ලෙස ත්‍රිත්ව ආකාරයකින් ක්‍රියාත්මක වේ. මෙම ත්‍රිත්වයේ මුල් අකුරු තුන යොදා එම ක්‍රමවේදය 3 R ලෙස නම් කරන්නට යෙදුණි.
අඩුවෙන් භාවිතය
(Reduce), නැවත භාවිතය (Reuse) සහ ප්‍රතිචක්‍රීකරණය (Recycle) යන ත්‍රිත්වය
සඳහා සංකේතය..
3
R සංකල්පය
ලොව බොහෝ රටවල ජනතාව අතර ඉතාමත් ප්‍රචලිතව තිබු නමුත් අද වන විට, එහි ප්‍රබලතාව තරමක්
හීනවී ගොස් ඇති නිසා තවත් අදහස් දෙකක් එයට එකතු කර එය 5 R ලෙස ඉදිරිපත් තිබේ.
ඝන අපද්‍රව්‍ය බැහැර කිරීමසඳහා තිබුණු ත්‍රිත්ව පිවිසුම දැන් පංචම පිවිසුමකි.
මෙම
නව සංකල්පයේ පංචම පිවිසුම වන 5R ,
v අඩුවෙන් භාවිතය (Reduce),
v අනවශ්‍ය බව තීරණය (Refuse)
v නැවත භාවිතය (Reuse)
v ප්‍රතිචක්‍රීකරණය (Recycle)
v ඉවත් කිරීම (Remove)
යන
අවස්ථා වලින් සමන්විතය.
විශේෂයෙන්
ප්ලාස්ටික් වැනි ඝන අපද්‍රව්‍ය ගැන සලකා බැලීමේදී, භාවිතයට අනවශ්‍ය බව තීරණය (Refuse) සහ ඉවත් කිරීම (Remove) ඉතා වැදගත් වේ. මෙම අදහස් දෙකම සෑම කෙනෙකු
විසින්ම, අවංක භාවයකින් යුතුව පෞද්ගලිකවම
කලයුතු කාර්යයන් බව පැහැදිලිවේ.
පසුගිය
වසරේ මිහිකත දිනයෙන් පසු මේ දක්වා ලොව
කිහිප තැනක පරිසර දුෂණය නිසා සිදුවූ අවාසනාවන්ත සිද්ධි රාශියකි. එයින්
කිහිපයක් ගැන විමසා බැලීමේදී ප්ලාස්ටික් වල ඇති භයානක බව හෙලිවේ.
පසුගියදා
ස්පාඤ්ඤයේ දකුණු දිග වෙරළට පාවී තිබුණු, ටොන් 6 ක් බර ඇති යෝධ තල්මසාගේ මරණය
සිදුවීම මෙයින් එකකි.
මෙම
තල්මසාගේ මරණය සිදුවී තිබෙන්නේ ප්ලාස්ටික් සහ වෙනත් පොලිතීන් වැනි ඝන අපද්‍රව්‍ය
කිලෝග්‍රෑම් තිහක් පමණ උදරයේ සිරවීම නිසාය. මෙම අපද්‍රව්‍ය මුහුදට පාවී ගොස්
තිබෙනුයේ මිනිසාගේ අපරීක්ෂාකාරී බව නිසා බව පෙනේ. මෑතදී විද්‍යාඥයින් විසින් ගණනය කර තිබෙන ආකාරයට, දැනට
සිදුවන අයුරු , ප්ලාස්ටික් වර්ග මුහුදට මුදාහැරිම නොකඩවා සිදුවුවහොත්, තව දශක තුනකදී පමණ මුහුදේ සිටින මසුන්ගේ බරට වඩා
වැඩි බරකින් යුක්ත ප්ලාස්ටික් අපද්‍රව්‍ය මුහුදේ තිබිය හැකි වේ.
දෙවනුව, කසල කලමනාකරණයේ අවිධිමත් භාවය
නිසා, ශ්‍රී ලංකාවේ අප මුහුණ පෑ එක් ව්‍යසනයක් ගැන සිතා බලමු. 2017 වසරේ මැයි මාසයේදී, මිතොටමුල්ලේ සිදුවූ, ඝන අපද්‍රව්‍ය කන්ද නාය යාම, මහා
පරිමාණයේ ඛේදවාචකයකි. මෙම ව්‍යසනයේදී
අහිංසක මිනිස් ජිවිත රාශියකට මරණයෙන්
වන්දි ගෙවීමට සිදුවූ අතර, ගේදොර සහ වෙනත් දේපල විනාශ වීම නිසා තවත් දහස් ගණනකට
මහත් අලාභ හානි සිදුවිය. කසල බැහැර කරන ජනතාව විසින් අඩුම වශයෙන්, ඒවා කළමනාකරණය
පිළිබඳව ඉදිරිපත් කර තිබෙන 3R වැඩ
පිළිවෙලවත් අනුගමනය කළහොත් මෙවැනි මහා ඛේදවාචක මගහරවා ගත හැකිය.
ප්ලාස්ටික් අපද්‍රව්‍ය මෙතරම් පරිසරයට
හානිකර වනුයේ මන්ද යන්න ගැන බොහෝ අය තවමත් දැනුවත් වී නොමැත. මේ නිසා අනාගත ව්‍යසනයන්
පාලනය කර ගැනීම සඳහා මෙම තොරතුරු වැඩි
වැඩියෙන් ජනතාව අතරට යාම අත්‍යාවශ්‍යය.
ලෝකයේ ප්ලාස්ටික් වර්ග නිෂ්පාදනය ගැන
මෑතදී BBC ආයතනයේ සිදුකරනලද සාකච්ඡාවකදී හෙළිකරන ලද
දත්ත කිහිපයක් මෙහිදී විමසා බලමු.
ලෝකයේ, පොලිතින් ඇතුළු ප්ලාස්ටික් ද්‍රව්‍ය
නිෂ්පාදනයේ විශාලත්වය පිලිබඳ දත්ත මෙසේය.
·
මෙතෙක් ලොව පුරා, ජෛව පරිහානියට (bio-degradation) ලක් නොවන අපද්‍රව්‍ය වර්ග මෙට්‍රික් ටොන් බිලියන 8.3 ක් පමණ නිපදවා තිබේ.
·
මෙයින් මෙට්‍රික් ටොන් බිලියන 6.3 ක් පමණ ප්ලාස්ටික් අපද්‍රව්‍ය වේ.
·
එම අපද්‍රව්‍ය වලින් 9% ක් පමණ ප්‍රතිචක්‍රීකරණය කර තිබේ.
·
තවත් 12% පමණ පුළුස්සා දමා තිබේ. (පිලිස්සීමද භයානකය)
·
ඉතිරි 79% වන, මෙට්‍රික් ටොන් බිලියන පහක් පමණ පහත්බිම් ගොඩකිරීම සඳහා හෝ කෙලින්ම
පරිසරයට මුදා හැර තිබේ.
·
පරිසරයට මුදා හරින ලද කොටසින් සැලකියයුතු ප්‍රතිශතයක් සාගර සහ මුහුදු වලට
සේන්දු වී තිබේ.
·
මේ තත්ත්වය මෙසේම පැවතුනහොත් 2050 වනවිට, දැනට කරගෙන යනු ලබන පාලන තත්ත්ව යටතේ වුවත්, ඝන ප්ලාස්ටික් අපද්‍රව්‍ය
මෙට්‍රික් ටොන් බිලියන 12 ක් පමණ පරිසරයේ රැඳෙනු ඇත.
1.ප්ලාස්ටික් අපද්‍රව්‍ය, මිනිසා ඇතුළු වෙනත් ජීවීන්ගේ සෞඛ්‍යය කෙරෙහි
බලපාන්නේ කෙසේද ?
ගෙවීගිය දශක කිහිපය තිස්සේ ලොව සෑම රටකම
පාහේ නිෂ්පාදනය කර ඇති මිලියන ගණනක් වන, ප්ලාස්ටික් ආශ්‍රිත විවිධ භාණ්ඩ පරිහරණය නිසා, ජීවීන්ගේ පැවත්ම කෙරෙහි
අහිතකර බලපෑම් එල්ල වන බව දැන් දැන් හෙළි වෙමින් පවතී. මිනිසා ආහාර සඳහා ගනු ලබන
බොහෝ අමු ද්‍රව්‍ය ආවරණය කිරීම, එතීම සහ පැකට් කිරීම අඳහා යොදා ගනු ලබන ප්ලාස්ටික්
වර්ග වලින් කාන්දු වී පරිසරයට සහ ආහාර වලට එකතුවන සමහර රසායන ද්‍රව්‍යවලින්
මිනිසාට වැළඳිය හැකි භයානක රෝග රාශියක් හඳුනාගෙන තිබේ. ප්‍රජනක ක්‍රියාවලිය හා
සම්බන්ධ රෝග, වර්ණදේහ විකෘති වීමෙන් හටගන්නා රෝග, ස්නායු රෝග, පිලිකා සහ හෘද රෝග මෙයින් කිහිපයකි.
එසේම අනවශ්‍ය ස්ථුල භාවය සහ ප්ලාස්ටික් අතර සම්බන්ධයක් ඇති බවටද කරුණු
හෙළිදරව් වී තිබේ.
බොහෝ ප්ලාස්ටික් වර්ග වල ෆීනෝලික රසායන ද්‍රව්‍යයක්
වන තැලේට් (pthalate) නම් රසායන ද්‍රව්‍යය අඩංගු වේ. මෙම ප්ලාස්ටික් වර්ග වලින් සාදනලද ඇසුරුම්
වල දමා තිබෙන ආහාර සහ බීම වර්ග වල මෙම රසායන දූෂක අංශු තිබිය හැකිය. මෙවැනි භාජන වල දැමූ ආහාර මයික්‍රෝවේව් උදුනක රත්
කළහොත්, එම දූෂක ආහාරවලට මුසුවේ. ළදරුවෙකුගේ ප්ලාස්ටික් කිරි බෝතල් මෙලෙස රත්
කිරීම අතිශයින් භයානකය. තැලේට් දූෂක, අහාර හරහා ශරීර ගත වුවහොත්, ඒවා මිනිස්
හෝර්මෝන සහ ප්‍රජනක ක්‍රියාවලිය කෙරෙහි බලපෑම් සිදු කරන අතර, ළදරුවන්ගේ පෙර ළමා
වියෙහි වර්ධන විෂමතාද සිදුවන බව, අධ්‍යයනය කර තිබේ. සනාථ නොවූ තොරතුරක් මෙයට එකතු
කිරීම මැනවයි හැඟෙන නිසා කාගේත් අවධානය පිණිස මෙහි ඇතුලත් කරමි. විශේෂයෙන්ම සිංහල
අවුරුදු සමයේදී මහා පරිමාණයෙන් කොකිස් නිෂ්පාදණය කරන එක්තරා ආයතනයක, කොකිස් වල
කැඩෙනසුලු ගතිය අඩු කර ගැනීම පිණිස කොකිස් සකස් කරන තෙල් තාච්චියට ප්ලාස්ටික්
බෝතලයක් දමන බව දැනගන්නට ලැබුණි. මෙම සිද්ධිය සත්‍ය නම් ඒ කොකිස් කෑ අහිංසකයින්ට
කාගේ පිහිටද?
2. ප්ලාස්ටික් සහ දේශ ගුණය
ප්ලාස්ටික් අපද්‍රව්‍ය මගින් සිදුවන පරිසර
අපවිත්‍රතාවයට අමතරව තවත් විවිධ ආකාරයෙන් පරිසරයට අහිතකරය. ඇමෙරිකා එක්සත් ජනපදයේ
පරිසර සංරක්ෂක අධිකාරිය (ECA) පෙන්වාදී ඇති පරිදී, ප්ලාස්ටික් ද්‍රව්‍ය සහ භාණ්ඩ නිෂ්පාදනයේදී, අමු ද්‍රව්‍යය
ලෙස භාවිත කරනුයේ පිරිපහදු ඉන්ධන සඳහාද
යොදාගනු ලබන, ශුද්ධ නොකරන ලද ඛනිජ තෙල් වේ. සමස්ත ඛනිජ තෙල් නිෂ්පාදනයෙන්
8% ක් පමණ මේ සඳහා භාවිත කෙරේ. තෙල් ආකාර වලින් ඛනිජ තෙල් ලබාගැනීමේ සිට
ප්ලාස්ටික් භාණ්ඩ නිෂ්පාදන ක්‍රියාවලිය දක්වා සෑම පියවරක දීම කාබන් මොනොක්සයිඩ්,
හයිඩ්‍රජන් සල්ෆයිඩ්, ඕසෝන්, බෙන්සීන් සහ මීතේන් වැනි වායු වර්ග අතුරු ඵල ලෙස
උත්පාදනය වේ. (මෙයින් මීතේන්, කාබන්ඩයොක්සයිඩ් වායුවටත් වඩා බලගතු හරිතාගාර
වායුවකි.) ප්ලාස්ටික් වතුර බෝතල් නිපදවීම
සඳහා භාවිත කරනු ලබන PET යන කෙටි නමින් හඳුන්වනු ලබන Polyethylene
tetraphthalate අවුන්සයක් නිෂ්පාදනය
කිරීමේදී, කාබන්ඩයොක්සයිඩ් වායුව අවුන්ස පහක් පමණ මුදා හැරෙන බව ගණනය කර ඇත.
ප්ලාස්ටික් නිෂ්පාදනයේ මෙම කාබන්ඩයොක්සයිඩ් අතුරු ඵලය, කාලගුණ විපර්යාස වලට තුඩු
දෙනු ලබන, එක් කාරකයක් ලෙස පිලිගෙන තිබේ. මේ නිසා ප්ලාස්ටික් සහ කාලගුණ විපර්යාසය
අතර ඇති සහසම්බන්ධතාවය බිඳ දැමීම පිණිස අපට කළහැකි ප්‍රබලතම හවුල් වීම ප්ලාස්ටික්
දැවටුම්, ප්ලාස්ටික් බෝතල්, පොලිතීන් මලු ආදිය භාවිතය හැකි තරම් දුරට අඩු කිරීම හෝ
සම්පූර්ණයෙන් නතර කිරීමය.
3. සාගරයේ ප්ලාස්ටික් දූෂණය
2010 වසරේදී ලෝකයේ රටවල් 192 ක් මගින් බැහැර කරන ලද ප්ලාස්ටික් අපද්‍රව්‍ය
මෙට්‍රික් ටොන් මිලියන දහයකට වඩා සාගරයට මුදාහැර තිබේ. සාගර විද්‍යාඥ, Jambeck,
J. R., විසින්
“Plastic
Waste Inputs from Land into the Ocean.” යන මැයින්, 2015 පෙබරවාරි මාසයේ ‘Science’සඟරාවට සපයන ලද ලිපියකට අනුව, සකස් කර තිබෙන පහත දැක්වෙන
වගුවෙන්, ප්ලාස්ටික් දුෂක පිලිබඳ තොරතුරු රාශියක් අනාවරණය වේ. මේ අතින් චීනය, ඉන්දුනීසියාව, පිලිපීනය සහ
වියට්නාමය යන ආසියාතික රටවල් අපටත් වඩා
ඉහළින් සිටිති. මෙම අධ්‍යයනයට අනුව, ප්ලාස්ටික් මගින් සාගර දුෂකයෙකු ලෙස අපට,
ලෝකයේ පස්වන ස්ථානය හිමිව ඇත. මෙයින් පෙනී යනුයේ ප්ලාස්ටික් කළමනාකරණය අතින් අප
තවත් බොහෝ ඉදිරියට ගමන් කළ යුතු බවයි. මෙහි ජනගහනය වශයෙන් ගණනය කර තිබෙන්නේ මුහුදු
වෙරළේ සිට 50 Km දක්වා රට අභ්‍යන්තරයට ජීවත්වන ජනතාවය.
ප්ලාස්ටික් කළමනාකරණ ප්‍රතිශතය අඩු රටවල් දහය
වගුව : (Jambeck, J.
R., et al. “Plastic Waste Inputs from Land into the Ocean.” Science, vol. 347,
no. 6223, 13 Feb.2015, pp. 768–771., doi:10.1126/science.1260352). ලිපිය ආශ්‍රිතවය.
මෙම වගුව හොඳින් අධ්‍යයනය කළවිට, පහත දැක්වෙන
අයුරු පැහැදිලි වන වැදගත් කරුණු කිහිපයක් තිබේ.,
·
ලෝකයේ වැඩිම ඒක පුද්ගල දෛනික අපද්‍රව්‍ය
නිෂ්පාදනය කෙරෙනුයේ, ශ්‍රී ලංකාවේය.
·
එය දිනකට කිලෝ ග්‍රෑම් 5.1 කි. (වගුවේ තුන්වන තීරුව 5.1 kg/ppd) .
·
මෙයින් 7 % ක් ප්ලාස්ටික් අපද්‍රව්‍ය වේ. (වගුවේ හතරවන
තීරුව)
·
අපගේ අපද්‍රව්‍ය වලින් 84% ක් කළමනාකරණය නොකර
පරිසරයට මුදා හැරේ , (වගුවේ පස්වන තීරුව )
·
මෙය වසරකට මෙට්‍රික් ටොන් මිලියන 1.59 ක් වේ. (වගුවේ හයවන තීරුව)
·
අප විසින් වසරකට අපද්‍රව්‍ය මෙට්‍රික් ටොන්
මිලියන 0.24 සිට 0.64 ක් පමණ සාගරයට මුදා හරිනු ලැබේ. (වගුවේ අටවන තීරුව)
Plastic Pollution Primer & Action Toolkit EARTH
DAY NETWORK ඇසුරෙනි
සාගර ජීවීන් සඳහා ප්ලාස්ටික් අපද්‍රව්‍ය මෙතරම්
හානිකර වන්නේ ඇයි?
විවිධ සාගර ජීවීන් සඳහා ප්ලාස්ටික් විවිධ ආකාරයට
අහිතකර වේ. බොහෝ සාගර ජීවීන්ට ප්ලාස්ටික් තම ගොදුරු වලින් වෙන්කර හඳුනා ගැනීමට
නොහැකිය. ගිල දමන ලද ප්ලාස්ටික් ජීර්ණය නොවී, ඔවුන්ගේ ආහාර මාර්ගවල හිරවී පිරි
තිබෙන විට, තවත් ආහාර ගැනීමට නොහැකිව සිට සමහර සත්තු, බොහෝවිට සාගින්නේම මියයති. විශාල මසුන් සහ
මුහුදු ආශ්‍රිතව ජිවත්වන පක්ෂීන්, ප්ලාස්ටික් මලු, තංගුස් පට හෝ මාළු දැල්වල පැටලී බේරීමට නොහැකිව මියයති. මුහුදු
කැස්බාවුන්, දිය මත පාවෙන පොලිතීන් මුහුදු
ලොඩියන් (jelly fish) යයි අනුමාන කර ගිල දමති. මුහුදේ එකතුවන ප්ලාස්ටික් කසල
ගොඩවල් තුළ පටලැවී හිරවී සිටින සමහර කැස්බෑවුන් චලනය වීමට නොහැකිව කිසිම වර්ධනයක්
නොවී මැරී යන අවස්ථාද එමටය.
ප්ලාස්ටික් යනු කිසිම කලකදී ජෛව වියෝජනයට ලක්
නොවන ද්‍රව්‍යයකි. එසේ වුවත් ඒවා කල්යාමේදී කුඩා කැබලි වලට බිදී යනු දකින්නට ලැබේ.
මුහුදේ මසුන් විසින් ගිලින ලද ප්ලාස්ටික්, එම මසුන් අල්ලා ගැනීමෙන් පසුව
පාරිභෝගිකයින් වෙත ගිය පසුත් ආහාර මාර්ගය තුළ එලෙසම ඉතිරිව තිබෙනු වාර්තා වී ඇත.
එක්සත් රාජධානියේ ප්ලිමත් විශ්ව විද්‍යාලයය විසින් මෑතදී කරන ලද සමීක්ෂණයකට අනුව,
එරට අල්ලා ගනු ලබන සාගර මසුන්ගෙන් තුනෙන් එකක පමණ ආහාර මර්ගය තුළ ප්ලාස්ටික් හමුවී
තිබේ. මෙම මසුන් අහාරයට ගැනීම සුදුසුද යන්න පිළිබඳව තවම තීරණයක් ගෙන නොමැත.
කෙසේ වෙතත් මුහුදු ජලයට එකතුවී කලකදී ඉතා කුඩා
අංශු බවට පත්වන ප්ලාස්ටික්, කල්යාමේදී මත්ස්‍යයින් ඇතුළු වෙනත් ජීවීන්ගේ රුධිර
පද්ධතියටද ඇතුල් වේ. මෙම ජීවින් වෙනත් විලෝපීයයෙකුගේ ආහාරය වූ විට එම දුෂක ඔවුන්ගේ ශරීරයටද ඇතුල්වේ.
මේ ආකාරයට අහාර දාම ඔස්සේ ගලායන එම දුෂක අවසානයේදී මත්ස්‍යයින් ආහාරයට ගන්නා
මිනිසුන්ගේ ශරීර වලට ඇතුල් වනු ඇත. මේ අනුව
ප්ලාස්ටික් වල තිබෙන උග්‍ර රෝග කාරක රසායන ද්‍රව්‍ය නිසා, මිනිසාටද මෙතෙක්
අසන්නට නොලැබුන ආකාරයේ, ලෙඩ රෝග වලට මුහුණ දීමට සිදුවනු ඇත.
ඉතා කුඩා අංශුමය ප්ලාස්ටික් සූක්ෂම ප්ලාස්ටික් (Micro
plastics) ලෙස හැඳින්වේ. අන්වීක්ෂයකින් පමණක් දැකිය හැකි
මෙම කුඩා අංශු අද පරිසරයේ ඕනෑම ස්ථානයක තීබිය හැකිය. ඔබ පානය කරන ජලයේ, ඔබ ආහාරයට
ගන්නා මස් මාළු හෝ වෙනත් ඕනෑම ද්‍රව්‍යයක තිබිය හැකි සූක්ෂම ප්ලාස්ටික් ඔබ
නොදැනුවත්වම ශරීර ගතවිය හැකිය.
4. සූක්ෂම ප්ලාස්ටික් ව්‍යසනය පාලනය කරගන්නේ
කෙසේද?
සූක්ෂම ප්ලාස්ටික් අති භයානක පරිසර දූශකයක් වුවත්
එය පාලනය කර ගැනීම සඳහා අපට තවමත් හැකියාව තිබේ. මේ සඳහා අප විසින් කළ යුතු වන්නේ
මොනවාද?
i.
ඇල, දොළ, ගංගා, වැව්, මුහුදු වෙරළ, සාගරය වැනි
ජලය හෝ ජලාශ්‍රිත කිසිම පරිසර හෝ
එළිමහන් ප්‍රදේශවලට ප්ලාස්ටික් බැහැර නොකිරීම.
ii.
මුහුදු වෙරළ, ඇල, දොළ, ගංගා වැනි ඕනෑම තැනක
ප්ලාස්ටික් ද්‍රව්‍ය වැටි තිබෙනු දුටු වහාම ඒවා ඒවා අහුලා නියමිත කසල බඳුනකට
දැමීම.
iii.
පරිසරය පිරිසිදු කිරීමේ කණ්ඩායම් සමග එක්ව කටයුතු
කිරීම
iv.
ඇඳුම්
පැළඳුම් මිලදී ගැනීමේදී ස්වාභාවික අමුද්‍රව්‍ය වලින් නිමකළ ඒවා පමණක් ගැනීමට
උනන්දු වීම.
v.
හැකිතරම් දුරට ඔබගේ අසල් වැසියන් සහ ප්‍රජාව මේ
පිලිබඳ දැනුවත් කිරීම.
vi.
පරිසරය සුරැකීමට මුලික වන 5 R පංචම පිළිවෙත
ගෙදරදී අනුගමනය කර එය ක්‍රමක්‍රමයෙන් ප්‍රජාව වෙතද යොමු කරවීම.
ප්ලාස්ටික් දූෂණය ගැන කෙතරම් තොරතුරු හෙළිදරව්
වුවත්, එදිනෙදා ජීවිතයේදී එය අපට නැතුවම
බැරි දෙයක් බවට පත්වී තිබේ. බොහෝ රටවල් ප්ලාස්ටික් වෙනුවට විවිධ විකල්ප භාවිතයට
හුරුවන බව දකින්නට ලැබේ. කෙසේ වෙතත් 5 R
පංචම පිළිවෙත හොඳින් අවබෝධ කර ගෙන තම තමන්ගේ යහපත සඳහාම කටයුතු කිරීමෙන්,
ප්ලාස්ටික් පිටුදැකීමේ සංග්‍රාමයට අපටද
දායක විය හැකිය. එහි එක් එක් පියවර සැකෙවින් විමසා බලමු.
v අඩුවෙන් භාවිතය (Reduce),
පරිසරයේ
ප්ලාස්ටික් ඉවත්කිරීමේ හොඳම ක්‍රමය ප්‍රතිචක්‍රීකරණය වුවත් එය ගේ දොර මට්ටමෙන් ප්‍රයෝගික
පිළිවෙතක් නොවේ. මේ නිසා, අප විසින් මිලදී ගනු ලබන භාණ්ඩ වලත් නිතර පාවිච්චි කරන
දේ වලත් ඇති දවටන හෝ ඇසුරුම් ගැන සුපරික්ෂාකාරී වී එවැනි දවටන සහිත භාණ්ඩ අඩුවෙන් භාවිත කිරීමෙන් පළමු පියවර සපුරා ගත
හැකි වේ. සරල උදාහරණයක් වශයෙන්, ඔබට
වීදුරුවකින් වතුර හෝ වෙනත් පානයක් බීම සඳහා ප්ලාස්ටික් බටයක් අවශ්‍ය නැත.
v අනවශ්‍ය බව තීරණය (Refuse)
භාණ්ඩ
මිලදී ගැනීමේදී, ඒවායේ ප්ලාස්ටික් ඇසුරුම් වල ඇති බාහිර ඔපය ගැන නොතකා එවැනි භාණ්ඩ
අනවශ්‍ය බව තීරණය කර, ප්ලාස්ටික් දැවටුම් නොමැති ඒවා තෝරා ගැනීම. ඔබට රෙදි මල්ලක් හෝ පන්, වේවැල් වැනි ස්වාභාවික ද්‍රව්‍ය වලින්
වියන ලද මල්ලක් වෙළඳ පලට ගෙනයා හැකි නම්, අවශ්‍ය භාණ්ඩ ප්ලාස්ටික්
දවටන වලින් තොරව ඒවා තුළ අසුරා ගත හැකි වේ.
v නැවත භාවිතය (Reuse)
අප
විසින් එක වරක් පමණක් භාවිත කර ඉවත් කරන බොහෝ දේ යලි එක් වරක්වත් පාවිච්චි කල
හැකිය. අප වැඩිපුරම භාවිත කරන ප්ලාස්ටික් ‘සිලි සිලි’ මලු මේ සඳහා හොඳම උදාහරණයයි. පාරිභෝගිකයින්
සියලු දෙනාම වෙළඳ පළෙන් ලැබෙන ‘සිලි සිලි’
මල්ල තව එක වරක් පාවිච්චි කළහොත් ‘සිලි සිලි’ මලු නිෂ්පාදනය හරි අඩකින් අඩු වන බව
ඔබ කල්පනා කර තිබේද?
v ප්‍රතිචක්‍රීකරණය (Recycle)
කලින්ද
සඳහන් කළ පරිදි ප්‍රතිචක්‍රීකරණය පෞද්ගලික
මට්ටමෙන් කළ හැකි දෙයක් නොවේ. ඔබ පදිංචිව සිටින ප්‍රදේශයේ පළාත් පාලන ආයතනය මේ
සඳහා යම්කිසි වැඩ පිළිවෙලක් සකස් කර තිබේනම්, ප්ලාස්ටික් අපද්‍රව්‍ය නිසි අයුරින්
තෝරා, ඒවා එකතු කිරීම සඳහා යොදා ඇති
වාහනවලට හෝ පිළිසකර කරනු ලබන ස්ථානයට භාර දීමෙන් ඔබගේ යුතුකම ඉටු කළ හැකිය.
මෙතෙක්
සිදුවී ඇති සහ සිදුවෙමින් පවතින ප්ලාස්ටික් දුෂණය නිසා පරිසරයේ සෑම අස්සක්
මුල්ලකම, දැන හෝ නොදැන ඉවත දමා ඇති ප්ලාස්ටික් බොහෝය. මෙයට හොඳම උදාහරණයක් ලෙස
සිරිපා වන්දනා සමයේදී මග දෙ පස එකතුවන ටොන් ගණනක ප්ලාස්ටික් අපද්‍රවය තොගය සඳහන්
කල හැකිය. යෝජිත පංච විධ පිවිසුමේ පස් වැන්න වනුයේ මෙසේ අත්හැර දමා තිබෙන
ප්ලාස්ටික් අපද්‍රව්‍ය ආපසු එකතු කර ප්‍රතිචක්‍රීකරණය හෝ වෙනත් පරිසර හිතකාමී
දෙයකට යෙදවීමයි. රටවල් කිහිපයකම, මෙවැනි ප්ලාස්ටික් අපද්‍රව්‍ය අච්චුවක බහා ඉහල
උෂ්ණත්වයක් යටතේ අධික පීඩනයකට ලක් කර
සකස්කර ගන්නා ගඩොල් වැනි ප්ලාස්ටික්
කුට්ටි පස සෝදායාම වැළක්වීමේ බැමි සඳහාත්, මුහුදු කෑම වැලැක්වීම සඳහා යොදා ගැනීම
පිළිබඳවත් සැලකිල්ල දක්වන බව පෙනේ.
සෑම
කෙනෙක්ම මෙම සරල පිවිසුම් අවංකවම අනුගමනය කළහොත් නුදුරු අනාගතයේදීම, මිට දශක පහකට
පමණ ඉහතදී තිබුණු මනා සමතුලිත තාවයකින් යුක්තව තිබුණු ඒ සුන්දර වටපිටාව අපට නැවතත්
ලබාගත හැකිවනු ඇත. තවමත් මේ සඳහා ප්‍රමාද නැත. අප තවතවත් ප්‍රමාද වුවහොත්, මිනිසා
විසින්ම අත්තනෝමතික ලෙස පරිහරණය කර පරිසරයට මුදාහැර තිබෙන ප්ලාස්ටික් දූෂක වලින්ම මිනිස් සංහතියේ
දුර්භාග්‍යය උදාවනු නොඅනුමානය.
ප්ලාස්ටික්
බෝතල් හොඳින් හඳුනා ගනිමු.
මෑතදී
කරන ලද සමීක්ෂණයකට අනුව ලොව වැඩියෙන්ම භාවිත වන ප්ලාස්ටික් භාණ්ඩය ප්ලාස්ටික්
බෝතල් බව හඳුනාගෙන තිබේ. ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්ලාස්ටික් කර්මාන්ත සමාජය ( The Society of Plastics Industry- SPI ).නම් ආයතනය මගින්
ප්ලාස්ටික් භාණ්ඩ වර්ගීකරණය කිරීම සඳහා අංකන ක්‍රමයක් හඳුන්වා දී ඇත. මෙම වර්ගීකරණයට විවිධ
ප්ලාස්ටික් වර්ග සඳහා භාවිත කරන රසායන
ද්‍රව්‍යය පාදක කරගෙන තිබීම පාරිභෝගිකයින් දැනුවත් කිරීම සඳහා උපයෝගී කර ගත
හැකිය.
විශේෂයෙන්ම අප විසින් පාවිච්චි කරනු
ලබන ප්ලාස්ටික් බෝතල් වල පතුළ, පිටතින්
හොඳින් පරික්ෂා කළහොත් මෙම අංක ඔබට දැක ගත හැකිවේ. ප්‍රතිචක්‍රීකරණයට අදාළ
එම අංක වලින් හැඳින්වෙන ප්ලාස්ටික් බෝතල් සහ වෙනත් භාණ්ඩ වල අඩංගු රසායන ද්‍රව්‍ය
පිලිබඳ දනුවත් වීම සඳහා පහත දැක්වෙන සටහන ප්‍රයෝජනවත් වේ.
ප්ලාස්ටික් වර්ග හඳුනාගැනීම
සඳහා අංක යොදා වර්ගීකරණය කිරීම.
දැනට භාවිත වන ප්ලාස්ටික් අංකනය
කිරීමේ මෙම ක්‍රමය සංශෝධනය කර, මිට වඩා සරල හඳුනා ගැනීමේ ක්‍රමවේදයක් නුදුරු
අනාගතයේදීම සකස් කිරීමට අදාළ බලධාරීහු බලාපොරොත්තු වෙති.
මේ ආකාරයට ප්ලාස්ටික් පිලිබඳ දැනුවත්
වීමෙන්, එදිනෙදා ජිවිතයට අත්‍යාවශ්‍ය එම කෘතීම භාණ්ඩ හෝ දේවල් ක්‍රමානුකුලව භාවිත
කර,කලට වේලාවට ප්‍රතිචක්‍රීකරණය සඳහා යොමු කිරීමෙන් පරිසර හානිය අවම කර හත හැකි
වනු ඇත. ස්වාභාවික පරිසරය ගැන හොඳින් සිතා බලන විට ‘ඉවත දැමීම’ (‘throwing away’)
යන්න අප විසින්ම යොදා ගන්නා වචන මාත්‍රයක් පමණක් මිස, ඇත්ත වශයෙන්ම ‘ඉවත’ නමින්
හැඳින්විය හැකි ස්ථානයක් නොමැතිය. අප ‘ඉවත’ ලෙස
සිතා සිටින සෑම ස්ථානයක්ම පියවි ඇසට පෙනෙන හෝ නොපෙනෙන වෙනත් ජීවින්
රාශියකගේ වාසස්ථානය විය හැකිය!
2018 වසරේ මිහිකත
සුරැකීමේ තේමාව ලෙස ‘ප්ලාස්ටික් මගින් සිදුවන පරිසර දුෂණයට තිත තබමු’ (Getting Rid of Plastic Pollution) යන්න පිළබඳව අප කවුරුත් එකිනෙකාගේ යුතුකම ඉටුකර
ප්ලාස්ටික් භාණ්ඩ අනතුරු දායක ලෙසට පරිහරණය නොකර හැකිතරම් දුරට ප්‍රතිචක්‍රීකරණය
කිරීම සඳහා වැඩි වැඩියෙන් සිත් යොමු කර, අනාගතයේදීත් මිනිසාට ජීවත්වීමට හිතකර, සුන්දර ලොවක් අත්කර දීමට අදිටන් කර
ගනිමු.
(New York State Department of Environmental Conservation විසින් අන්තර්ජාලයේ පළකර ඇති
තොරතුරු ඇසුරෙනි.)