පරිසරය
පිළිබඳව පොතක් ලියා පළකිරීම ගැන, කළක සිට
මාගේ සිතේ තිබුණු අදහසක් සඵල කර ගැනීමට මට හැකිවිය. මගේ පොතෙහි පිවිසුම මගින් එම
අදහස දැක්වුයේ මෙසේය:
“ ‘පරිසරය නිවැරදිව දකිමු’ මාගේ මුල්ම විද්‍යා කෘතියයි. කුඩා කල සිටම පරිසරයට ඇලුම් කළ මා හට එයට පාදක වූයේ මා
හැදුනු වැඩුනු ගම්බද පරිසරයයි. ගමෙහි වෙල් එළියේ, බඩ වැටි වල සහ ඇළ දොළෙහි ආශ්වාදය
නොමඳව ලද මා, ගමෙහි ප්‍රාථමික අධ්‍යාපනයෙන්
පසුව ද්විතීය අධ්‍යාපනය ලැබුවේද ස්වභාවික සෞන්දර්යයෙන් හෙබි අර්ධ නාගරිකයකය. පසුව
විශ්ව විද්‍යාල අධ්‍යාපනය සඳහා නගරයට යාමට සිදදුවිය. මේ සිදුවීම් දැනට දශක පහකට
පමණ ඉහතදීය. පරිසරය පිළිබඳව මා තුළ ජනිතව තිබූ කුතුහලය ඔප මට්ටම වීමටත් නව සංකල්ප
රාශියක් අධ්‍යයනය කිරීමටත්, අලුත් පොතපත කියවීමටත් විශ්ව විද්‍යාලයේ දී මාහට හැකියාවක් ලැබිණි. එකළ පරිසර විෂයය (ecology) විද්‍යාවේ නීරස කොටසක් විය. විශ්ව විද්‍යාලයයේද
‘පරිසරය’ විෂයය කොටස ප්‍රායෝගික අත්දැකීම් රහිත දේශන දෙකකට
පමණක් සීමාවිය.
අභ්‍යවකාශ තරණය සිදුවූයේ මේ අවදියේදීය. මේ සමගම
ලොව පුරා විද්‍යාවේ නව ප්රබෝධයක් හටගත්
අතර, ‘සැමටම විද්‍යාව’ නමින් නව අදහසක්ද නිර්මාණය වන්නට විය. එයට සමගාමීව
‘හරිතාගාර ආචරණය’, ‘පරිසරය උණුසුම්වීම’, ‘ධ්රැව ප්‍රදේශ වල හිම කඳු දියවීම’ වැනි
පරිසර විද්‍යාත්මක සංකල්පද විද්වතුන්ගේ සාකච්ඡාවලට ලක් විය. විශ්ව විද්‍යාලද මෙම
නව සංකල්ප ඇතුලත් පාඨ මාලාද ආරම්භ කළහ.
පසුව, විද්‍යා අධ්‍යාපන ක්ෂේත්රයට පිවිසි මා
හට, ඒ වන විට පාසල් විෂයය මාලාවට ක්‍රමක්‍රමයෙන් ඇතුල් වෙමින් තිබුණු පරිසර විෂයය
කොටස් පිලිබඳ අවධානය දැක්වීමට අවස්ථාව
ලැබුණි. විශේෂයෙන්ම විෂයය මාලා සංවර්ධනය, ගුරු පුහුණුව, පරිසර අධ්‍යාපනය
සඳහා පාසල් සිසුන් යොමු කරවීම වැනි කටයුතු වලින් මෙයට දායක වීමට හැකිවිය. මෙසේ දැක්වු
දායකත්වය හරහා ලැබූ අත්දැකීම් එළිදැක්වීම මෙම පොතෙහි අභිප්‍රායයි. මෙහි අඩංගු
කරුණු විශේෂයෙන්ම පාසැල් සිසුන්ට පරිසරය පිලිබඳ අවබෝධයක් ලබාගැනීමට ඉවහල් වේයැයි
උදක්ම බලාපොරොත්තු වෙමි”
පොතක් ලියා පළකර ගැනීමේදී, අත්විඳීමට සිදුවන ගැහැට
පිළිබඳ දැනගැනීම බොහෝ අයට ප්‍රයෝජනවත් විය හැකි වේයයි සිතු නිසා, මෙසේ සටහනක්
තැබීම සඳහා සිත් යොමු කළෙමි.
පොතෙහි පිට කවරය
රාජ්‍ය සේවයේ යෙදී සිටියදී පොතක් ලිවිම වැනි
බාහිර කාර්යයක් සඳහා කාලය මිඩංගු කිරීම කිසිසේත් කළ නොහැකි විය. විශ්‍රාම ගැනිමෙන්
පසුව යලිත් විෂයයට අදාළ පැවරුම් කිහිපයකට සම්බන්ධ වීම නිසා දැනුම තව දුරටත් ඔප
මට්ටම කර ගැනිමට අවස්ථාවක් ලැබුණු අතර ව්‍යාපෘති වාර්තා සකස් කිරීම, පැවරුම්වල
කොටසක් වූ නිසා ලිවීමේ හැකියාව වැඩිදියුණු කර ගැනීම පහසු විය. එම ලිය කියවිලි ඉංග්‍රීසියෙන් කරන අතරම
සිංහලටද පරිවර්තනය කිරීමට සිදුවූ නිසා භාෂාව හැසිරවීම පිළිබඳවද නිපුණත්වයක්
ලැබුණි. එසේ වුවත් සිංහල පරිගණක ලිවිම කිසිසේත් ප්‍රගුණ කල නොහැකි විය.
මේ අයුරින් වසර කිහිපයක් ගතවී ස්ථිර පදිංචිය සඳහා
විදේශ ගත වීමට සිදුවිය. කාර්ය බහුලතාවය අඩුවීම නිසා නැවත පොත ලිවිම සඳහා සිත යොමු
කළෙමි. එහෙත් විදේශයක සිටිමින් සිංහලෙන් ලියනදේ පරිගණක ගත කරගන්නේ කෙසේද යන්න මහත්
ගැටළුවක් විය. මෙසේ දෙගිඩියාවෙන් කල්පනාකරමින් සිටින විට, අපගේ දියණිය මලී අලුත්
අදහසක් මෙසේ ඉදිරිපත් කළාය.
“තාත්තේ.... සිංහලෙන් ටයිප් කරන්න ‘Google Input Tools’
පාවිච්චි කරන්න. එකෙන් ලියන්න හරිම ලේසියි. මම Install කරලා දෙන්නම්.”
එසේ කියා එම අකුරු පුවරුව මගේ පරිගණකයට යොමුකර
භාවිත කරන ආකාරයද පැහැදිලි කර දුන්නාය. සිංහල වචන ඉංග්‍රීසි අකුරු වලින් ලිවිම මට
ඉතාමත් පහසු කාර්යයක් විය. මට දින කිහිපයකදී, වෙනම අත් පිටපතක් නොලියා කෙලින්ම
පරිගණකයේ ලිවිමේ හැකියාව ලැබිණ. රුප සටහන්, ඡායාරූප, රේඛා සටහන් ආදියද ඇතුලත්
කිරීමේ ක්‍රමවේද රාශියක්ද ඇයගෙන් ඉගෙන ගන්නට ලැබුණි.
මම දියණියට සිංහලෙන් ටයිප් කර මෙසේ ඊ-මේල් සටහනක්
යැවීමි.
“Google Input Tools පාවිච්චි කර ලියන වැඩේ හරියට
හරි. කියා දුන් පිළිවෙලට ටයිප් කරන්නට පටන් ගත්තා. ලෙහෙසියෙන්ම අල්ලා ගන්නට
පුළුවන් උනා. පොත ලිවීමේ වැඩ අදම පටන් ගන්නවා.”
“ ‘පරිසරය සහ පරිසර සංරක්ෂණය’, ලේඛන කලාවට ඉතා හොඳ ප්‍රවේශයක්. මගේ සුබ පැතුම්”
යනුවෙන්
ඇයගෙන් කඩිනම් පිළිතුරක් ලැබිණ.
දැන් වැඩිපුර විවේකය තිබෙන අතර ක්රමවේදයද
ඉක්මණටම පහසුවෙන් අතට හුරු විය.
වසර ගණනාවක් තිස්සේ ඉගෙන ගත්, ඉගැන්වූ, ප්‍රායෝගිකව
අත්හදා බැලූ එසේම සමහර අවස්ථා වලදී ලේඛනගත කර තැබූ සංකල්ප, අදහස් සහ දත්ත පොදුවේ
කාටත් ගැලපෙන අයුරකින් පෙළ ගැස්වීම ගැන කල්පනා කළෙමි. එසේ ආවර්ජනා කළ කරුණු දහ
දොළොස් වරක් කපා කොටා අවසානයේදී මෙසේ මාතෘකා එකොලසකට සම්පිණ්ඩනය කර ගතිමි.
·
අපේ වට පිටාව
·
වට පිටාවේ සියල්ල පරිසරයයි
·
පරිසරයේ අන්තර් සම්බන්ධතා
·
අපේ ආහාර පරිසරයෙනි
·
ශක්තිය ලැබෙනුයේ ආහාර වලිනි
·
අපගේ අපද්‍රව්‍ය මොනවාද ?
·
පරිසරයේ ජෛව විවිධත්වය
·
ජලය මහඟු සම්පතකි
·
පරිසර දූෂණය සිදුවන්නේ කෙසේද?
·
පරිසරය සුරකිමු
·
අපේ පරිසර කටයුතු දෙස හැරී බලමු.
‘පොතක් ලිවීමේදී එයට දැමීමට උචිත නම ගැනද මුලින්ම
තීරණයක් කර ගතහොත් එම පරාසය ඇතුලත කරුණු ඇතුලත් කිරීම පහසු වේ’
යනුවෙන් එක්තරා
ලේඛකයෙකු පොත් ලිවිම පිලිබඳව ලියා පළකරණ ලද ලිපියක තිබුණු බව මට මතකයට නැගුණි. පොත්
ලියා පළකර ඇති මගේ මිතුරෙකුද එම අදහස
අනුමත කළේය. නවකයෙකු වූ මාද එම පිළිවෙත අනුගමනය කිරීම සුදුසු යයි සිතා ගතිමි.
යෝජිත මාතෘකා සියල්ල එකට ගලපා පොත ‘පරිසරය
නිවැරදිව දකිමු’ යනුවෙන් නම් කිරීමට තීරණය කළෙමි.
එක් එක් මාතෘකාව එක් එක් පරිච්ඡේදයක් ලෙස
සලකා වෙන වෙනම ගොනු සකස් කර, දන්නා කරුණු,
පොතපතින් ලබාගත කරුණු, වෙනත් විවිධ මාර්ග වල විමර්ශන වලින් ලබාගත කරුණු ආදියත්
ඒවාට අදාළ රුපසටහන්, ඡායාරුප, වගු, ප්‍රස්තාර ආදියත් ටිකින් ටික එකතු වන විට
නොදැනුවත්වම වාගේ පොතට පිටු දෙසියයක් පමණ එකතු
විය.
පොතට පිට කවරයක් සකස් කිරීම මීළඟ වැදගත් කරුණ
විය. මලී දුවගේද අදහස් සහ උපදෙස් අනුගමනය කරමින් පිට කවරයට සුදුසු යයි හැඟෙන චිත්‍ර
සහ ඡායරුප මිශ්‍ර සටහන් කිහිපයක් මා
විසින්ම සකස් කර ගන්නා ලදී.
මාස හයකදී පමණ මුලික වැඩ කටයුතු අවසන් කළ පොත
මුද්‍රණය කිරීම එතරම් ලෙහෙසි පහසු වැඩක් නොවන බව පෙනී ගියේ ඒ සියල්ලටම පසුවය.
කෙසේ වෙතත් පොතට පෙර වදනක් ලිවිම සඳහා, මාගේ
රාජකාරි කටයුතුවලදී බොහෝ ගුරුහරුකම් ලබාදී, පරිසර අධ්‍යාපනය සඳහා මා නොයෙක් විට
දිරි ගන්වා තිබෙන, අධ්‍යාපන අමාත්‍යංශයේ
ඉහල තනතුරක් දරා විශ්‍රාම ගත් අපගේ උසස් නිලධාරියෙකු වෙත අත් පිටපතක් (එය පරිගණක
සැකසුමකි) යැවීමි.
ඉතා ඉක්මණින් අගනා පෙරවදනක් සැපයූ ඔහු, කෙසේ හෝ
පොත මුද්‍රණය කරන ලෙස කාරුණික උපදෙසක්ද දුන්නේය.
ශ්‍රී ලංකාවේ සිටින මා දන්නා හඳුනන කිහිප දෙනෙකුටම මුද්‍රණය
කිරීම පිලිබඳව සොයා
බලන ලෙස ඉල්ලීම් කලත් ඒවායින් පලක් නොවිය.
මුද්‍රණ ශිල්පීන් සහ පොත් ප්‍රකාශකයින් කිහිප
දෙනෙකුගෙන් කරන ලද විමසීම් වලටත් සතුටුදායක පිළිතුරක් නොලැබුණි.
මේ ආකාරයට තවත් මාස දෙකක් පමණ බලා සිට පොත මුද්‍රණය
කිරීමේ අදහස සම්පූර්ණයෙන් අත්හැර දමන්නට සිදුවිය.
මේ අතරතුර ශ්‍රී ලංකාවේ අන්තර්ජාල පුවත් පතක
(e-paper) පළකර තිබුණු ව්ශේෂ දැන්වීමක් වෙත මගේ නෙත් යොමුවිය. එය කොළඹ ගොඩගේ සහ
සහෝදර පොත් ප්‍රකාශක සමාගමෙනි. එහි සඳහන් කර තිබුණේ තරඟයක් පවත්වා, ඒ මගින් තෝරා
ගන්නා පොත් අත් පිටපත්, මුද්‍රණය සඳහා භාරගත හැකි බවයි. එසේ වුවත් එම තරඟය සඳහා
නියමිත කිසිම කාණ්ඩයකට මගේ අත් පිටපත ගැලපෙන බවක් නොපෙනුණි. කුමකින් කුමක් වුවත්
කම් නැතැයි සිතා මගේ අත් පිටපතක් එම
ලිපිනයට යැව්වෙමි. මා විදේශයක සිටින නිසා අවශ්‍ය වුවහොත් මා විද්‍යුත් තැපෑලෙන් අමතන ලෙසද දැන්වීමි.
සති කිහිපයකට පමණ පසු මට විද්‍යුත් තැපෑලෙන්
පණිවුඩයක් ලැබිණ. එය මෙසේය.
‘ඔබගේ අත් පිටපත ලැබුණා. අප මුද්‍රණය කරනුයේ
‘Helabasa’ අකුරු වලින් පමණකි. අකුරුද ‘ප්‍රමාණ 14’ විය යුතුය. මේ ආකාරයට සකස් කර
එවන්නේනම් මුද්‍රණය සඳහා සලකා බැලිය හැකිය.
මෙයට
මුද්‍රණ කළමනාකරු’
මෙය කියවා, මම නැවතත් මුලින් සිටි තත්ත්වයටම පත්වීමි.
මගේ අත් පිටපතේ අකුරු ‘Helabasa’ ආකෘතියේ නොවේ. අකුරුද
ප්‍රමාණ 16 න් සකස් කර ඇත. ඒවා වෙනස් කිරීම සඳහා මට තාක්ෂණ දැනුම නොමැති නිසා කිසිවක්
කළ නොහැකිය.
මට නැවතද, පොත මුද්‍රණය කිරීම අතහැර දමා පසු
බසින්නට සිදුවිය.
මේ අතර, මා කලක සිට ඉතා කිට්ටුවෙන් ඇසුරු කළ,
සමාජයේ ඉහල පිළිගැනීමක් තිබුණු, අප ගම් ප්‍රදේශයේම ප්රභූවරයෙකු වන, දේශබන්ධු,
ඉන්ද්‍රදාස හෙට්ටිආරච්චි මහතාට, මගේ පොත පිලිබඳවත්, එය මුද්‍රණය කර ගැනීම දුෂ්කර
කාර්යයක් වී තිබෙන බවත් විස්තර
කර ලිපියක් යැව්වෙමි.
මට ඉක්මණටම ඔහුගෙන් පිළිතුරක් ලැබිණ. එය බලා තරමක සතුටක් ඇතිවිය.
එම ලිපියේ මෙසේ සඳහන් කර තිබුණි.
‘ඔබගේ ලිපියේ සඳහන් කර තිබෙන පොත් ප්‍රකාශක
ආයතනයේ අධ්‍යක්ෂක වරයා වන, දේශබන්ධු, සිරිසුමන ගොඩගේ මහතා, මගේ මිත්රයෙකි. ඔබගේ
පොත මුද්‍රණය කිරීම පිළිබඳව ඔහු සමග සාකච්ඡා කිරීම සඳහා සියලු විස්තර මා වෙත එවන්න.’
මම සියලු විස්තර ඔහුට යැව්වෙමි.
තවත් සති දෙකකින් පමණ දේශබන්ධු, සිරිසුමන ගොඩගේ
මහතාගෙන් පෞද්ගලික මට්ටමේ ලිපියක් මට ලැබිණ. එහි සඳහන් කර තිබුණේ මගේ පොත මුද්‍රණය
සඳහා භාරගන්නා බවයි.
මා සැපයූ අත් පිටපතෙහි ඇති අකුරුවල ප්‍රමාණය (Font size) හෝ අකුරු වර්ගය (Font),
තම ආයතනයේ ශිල්පීන් ලවාම අවශ්‍ය ලෙස වෙනත් අක්ෂර වින්‍යාසයකට හැරවීම සහ පිට කවරයේ ආකෘතිය ගැලපෙන ලෙස වර්ණ ගන්වා
ඉතාමත් ආකර්ශනිය ලෙස සකස් කරවීම ගැන, මම දේශබන්ධු සිරිසුමන ගොඩගේ මහතාට සහ එම ආයතනයේ ශිල්පීන්ට මාගේ ස්තුතිය පිරිනමමි. ඒ
සමගම පොත ඉතා ඉක්මනින් මුද්‍රණය කර ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන්ද ඒ සියලු
දෙනාටම නැවතත් මාගේ ස්තුතිය පුද කරමි.
මාගේ හිතවත් කල්‍යාණ මිත්‍ර, දේශබන්ධු ඉන්ද්‍රදාස
හෙට්ටිආරච්චි මහතාට මෙම සිද්ධිය දන්වා සිටි නිසාම ඔහුගේ පෞද්ගලික හැඳුනුම්කම මත, පොත කළට වේලාවට මුද්‍රණය කර ප්‍රකාශයට පත්කර ගත
හැකිවිය. විදේශයක සිටින මා වෙනුවෙන්, මේ සඳහා කාරුණිකව ඉදිරිපත්වී සහයෝගය දැක්වීම
පිළිබඳව ඔහුට මාගේ භක්ත්‍යාදරය සහ ප්‍රණාමය
හද පතුලෙන්ම පුදකරමි.