Monday, 4 September 2023

“බර්මියුඩා” ත්‍රිකෝණයේ අභිරහස

 බර්මියුඩාත්‍රිකෝණයේ අභිරහස

ඇමෙරිකා එක්සත් ජනපදයේ නාවික හමුදාවට අයිති, යුද කටයුතුවල දී බෝම්බ හෙලීම සඳහා භාවිත කෙරෙන, කුඩා සුවිශේෂී අහස් යානා පහක් පුහුණුවීමේ අභ්යාසයක් සඳහා, 1945 දෙසැම්බර් මස පස්වෙනි දින ෆ්ලොරීඩාවේ හමුදා කඳවුරකින් ගුවන්ගත විය. මෙයදහනමවන පියාසැරිය” (Flight 19) ලෙස නම්කර තිබේ. ෆ්ලොරීඩාවේ ගුවන් පථයකින් පිටත් වී බර්මියුඩා දූපත් දෙසට පියාසර කළදහනමවන පියාසැරියමගින් නිකුත් කළ සංඥා, ටික වේලාවකට පසු සම්පූර්ණයෙන්ම අකර්මණ් විය. මෙම ගුවන් අභ්යාසයට අයත් ගුවන් යානා පහ සහ ඒවායේ සිටි නියමුවන් සහ අනිකුත් කාර්ය මණ්ඩලයට අයත් දාහතරදෙනා , අද්භූත ආකාරයකට අතුරුදහන් වී ඇති බව කඩිනමින්ම ප්රකාශයට පත්විය. අතුරුදහන් වූ යානා සහ කාර්ය මණ්ඩලය සෙවීමේ කිසිම මෙහෙයුම් ක්රියාවලියකට යානාවල සුන්බුන් හෝ වෙනත් කිසිම හෝඩුවාවක් හෝ සොයාගැනීමට නොහැකි විය.


සියලුම මුදවා ගැනීමේ මෙහෙයුම් අසාර්ථක වූ නිසා, මෙයබර්මියුඩා ත්‍රිකෝණය(Bermuda Triangle)  තුළ සිදුවූ තවත් බිලිගැනීමක් මිස අන් කිසිවක් නොවන බව ප්‍රචාරය විය. මීට පෙරද මෙම ප්‍රද්ශයේ මුහුදු යාත්‍රා සහ අහස් යානා මේ ආකාරයටම අතුරුදන් වී ඇති බවටද  තොරතුරු වාර්තා වන්නට විය.  

මේ සමග ඇති සිතියමේ දැක්වෙන ආකාරයට  බර්මියුඩා ත්‍රිකෝණයපිහිටා තිබෙන්නේ, උතුරු ඇමෙරිකාවේ අග්නිදිග සිමාවේ පිහිටි ෆ්ලොරිඩා ප්‍රාන්තයට ආසන්නවය. ත්‍රිකෝණයට සීමාවන ප්‍රදේශය ෆ්ලොරීඩාව, උතුරෙන් බර්මියුඩා දූපත සහ  දකුණෙන්  කැරිබියන් මුහුදේ පිහිටි  පූර්ටෝ  රීකෝ (Puerto Rico) ප්‍රධාන දූපත සහිත  දූපත් සමූහයද වේ.

බර්මියුඩා ත්‍රිකෝණය’ (Bermuda Triangle) 


උතුරු ඇමෙරිකාවට අග්නිදිග දිශාවේ පිහිටි, කැරිබියන් මුහුදද ඇතුළත් මෙම ප්‍රදේශය කුඩා දූපත් දහස් ගණනකින් සමන්විතය. මෙයින් දූපත් සියයක පමණ මිනිස් වාසස්ථාන ඇත. බර්මියුඩා ත්‍රිකෝණයට සීමාවන මුහුදු ප්‍රදේශය උතුරු ඇමෙරිකාව, දකුණු ඇමෙරිකාව, යුරෝපය සහ මැද පෙරදිග  යා කෙරෙන සන්ධිස්ථානයක් නිසා එම කලාපයේ ඇති සාගර සම්පත් හා භූමියෙන් ලැබෙන සම්පත් වලට  සම්බන්ධ වෙළඳ කටයුතු සඳහා වැදගත් මධ්‍යස්ථානයකි. එමෙන්ම මෙහි තිබෙන  සූර්යාලෝකය බහුලව ලැබෙන මනස්කාන්ත මුහුදු වෙරළ පද්ධතිය නිසා සංචාරක කටයුතු  සඳහාද ප්‍රදේශය නම් දරා තිබේ. මෙම ප්‍රදේශය වර්ග කිලෝමීටර මිලියන හතරක් හෝ ඊට වඩා තරමක් විශාල වපසරියකින් යුක්ත බව අනුමාන කෙරේ. 

අත්ලාන්තික් සාගරය ඔස්සේ දේශාටනයේ යෙදුනු  ක්‍රිස්ටෝෆර් කොලොම්බස්  1493 වර්ෂයේදී පමණ, මෙම මුහුදු සීමාව තුළ පවතින අස්වාභාවික සංසිද්ධි ගැන සඳහන් කර ඇත. මෙයින් ඉතා වැදගත් නිරීක්ෂණයක්  වනුයේ, මෙම සීමාව තුලදීඔහු භාවිත කළ මාලිමා යන්ත්‍ර (compass)  වල එකිනෙකට නොගැලපෙන විකාර රූපී දත්ත සටහන් වීමයි. මෙසේ වනුයේ මෙම මුහුදු සීමාවේදී පෘථිවියේ සත්‍ය උතුර සහ  චුම්බක උතුර යන දිශා දෙකෙහි යම්කිසි ව්‍යාකූල භාවයක් නිසා බව පසුව සොයාගෙන තිබේ.  

 මෙයට බොහෝ කලකට පසු, 1945 දී සිදුවූ, ඉහත සඳහන් කළ, ඇමෙරිකන් නාවික බල ඇණියකට අයත් ‘19 වන පියාසැරියඅහස් යානා  අතුරුදන් වීම සම්බන්ධව,   එක්තරා සඟරාවකට  ලිපියක් සැපයූ වාර්තා කරුවෙකු, මෙම සිද්ධිය විස්තර කරමින්, එයට අදාළ මුහුදු සීමාව  ‘බර්මියුඩා ත්‍රිකෝණය’  ලෙස නම් කරන ලදී.  එතැන් පටන් මෙම  මුහුදු සීමාව හා සම්බන්ධ බොහෝ මිත්‍යා මතපිටසක්වල ජීවී ආක්‍රමණ, පියවි ඇසට නොපෙනෙන දැවැන්ත  සාගර රකුසන්ගේ බිලිගැනීම්, ගැඹුරු මුහුදු පතුළේ සිටී යයි සැකකරන විශාල  බූවල්ලන් හෝ ගිනි පිඹින මකරුන්ගේ ගේ පහරදීම් වැනි සනාථ  නොවූ කට කතාද  බොහෝ පැතිරෙන්නට විය.  කෙසේ වෙතත්  මෙම මුහුදු කලාපය පිළිගත් ප්‍රමිතියකින් යුක්ත කිසිම ලෝක   සිතියමකබර්මියුඩා ත්‍රිකෝණයBermuda Triangle’  ලෙස, සලකුණු කර නොමැත. 

     

        ‘19 වන පියාසැරියමුහුණ පෑ අනතුරට අදාළ පසු විපරම් 

 අහස් යානා පහකින් සහ නියමුවන් ඇතුළු 14 දෙනෙකුගෙන් යුක්ත කාර් ය මණ්ඩලය අයත් 19 වන පියාසැරියට  සිදුවූ අනතුර පිලිබඳව, ඇමෙරිකා එක්සත් ජනපදයේ නාවික ඓතිහාසික පදනම  (U.S. Naval Historical Foundation)  විසින් කර ඇති විද්‍යාත්මක පර්යේෂණ මගින් තොරතුරු රාශියක් අනාවරණය කරගෙන තිබේ. මෙම තොරතුරු වලට අනුව කලින් සඳහන් කර තිබෙන මිත්‍යා මත කිසිම පදනමක් නොමැතිව පැතිර ගියඕපාදූපවැනි  අදහස් බව හෙළිවේ. මෙම නිරීක්ෂණ වලට අනුව මෙම මුහුදු ප්‍රදේශයේ ක්ෂණිකව හටගන්නා  අසාමාන්‍ය රළු ස්වභාවය සහ ඒ සමගම මාලිමා යන්ත්‍ර වල සත්‍ය උතුර සහ චුම්බක උතුර විකෘති වීම නිසා නාවිකයින්ට සිදුවන්නට ඇති  මුහුදේ  මං මුලා වීම්ද  සමහර  ආපදා වලට හේතු වන්නට ඇති බව විශ්වාස කෙරේ. (මේ වකවානුවේ GPS ක්‍රමවේදය මගින් ගමන් මග තීරණය කිරීමේ තාක්ෂණය නොතිබුණි)  එසේම අනතුරු ඇඟවීමක් නොමැතිවම ස්වභාවධර්මය අත්තනෝමතික ලෙස මිනිසාට ද්‍රෝහී වීම, එවැනි අතිශයින්  කලබල අවස්ථාවලදී මිනිසා විසින් සාවද්‍ය තීරණ ගැනීම, මුහුදු යාත්‍රාවල ශිල්පීය සහ   නිර් මාණ දුර්වලතා ආදී කරුණු රාශියක් නිසාදබොහෝ විට, අවාසනාවේ  අනිටු බලපෑම් නිසාද  මෙවැනි අභාග්‍ය සම්පන්න දේ සිදුවිය හැකි බව ඔවුන්ගේ මතයයි. 

 අත්ලාන්තික් සාගරයේ බර්මියුඩා ත්‍රිකෝණයට අයත් මුහුදු ප්‍රදේශය, භූගෝලීය වශයෙන් ලෝකයේ මහාද්වීප කිහිපයක සහ වෙනත් රටවල් රාශියක වාණිජ, ආර් ථික, දේශපාලන සහ ආරක්ෂක කටයුතු සඳහා මර්මස්ථානයක් වී තිබේ. මේ  නිසා  මෙම ප්‍රදේශය  නාවික ගමන් බිමන් සහ ගුවන් ගමන් අධික ප්‍රදේශයක් ලෙස හැඳින්වේ. කලින්ද සඳහන් කළ පරිදි නිරතුරුවම සිදුවන ස්වාභාවික සංසිද්ධි වල කැළඹීම්ද අධික මෙම ප්‍රදේශයේ, වෙනත් ස්ථාන   වලට සාපේක්ෂව වැඩියෙන් අනතුරු සිදුවීමද අහඹු සිද්ධියක් නොවන බවද එම පර්යේෂකයින්ගේ සැලකිල්ලට භාජන වී තිබේ.

 දැනටද බර්මියුඩා ත්‍රිකෝණය ආශ්‍රීත මෙම මුහුදු ප්‍රදේශයේ  සිදුවන සමහර අනතුරු වලට හේතු සාධක වශයෙන් දැක්විය හැක්කේ, චණ්ඩ   මාරුත සහ දරුණු අකුණු ගැසීම්, තද කළු වලාකුළු වලින් මුළු අහස්  තලයම අඳුරුවීම්   වැනි ස්වාභාවික සංසිද්ධි වලට සමගාමීව  මිනිසාගේ අපරීක්ෂාකාරීකමද සම්බන්ධවී  කෙරෙන  වැරදි  තීරණ ගැනීමේ ප්‍රතිඵල බව  පර්යේෂකයින් විසින් පෙන්වා දී ඇත. මේ නිසා අනාගතයේදී  බර්මියුඩා ත්‍රිකෝණය ආශ්‍රීතව සිදුවන ආපදාවිද්‍යා ප්‍රබන්ධගණයට නොගැනෙන ස්වාභාවික සිදුවීම් විය යුතු බව ඔව්හු තවුරටත් තහවුරු කර තිබේ.           

 

            ‘19 වන පියාසැරියඅනතුරට ලක්වූයේ කෙසේද?

 බර්මියුඩා ත්‍රිකෝණය පිලිබඳ පුරාවෘත්තයේ වැඩිමනත් අවධානය යොමු වූ ආපදාව වශයෙන් ඉතිහාසගත වී තිබෙන්නේ 19 වන පියාසැරිය අතුරුදන් වීම ආශ්‍රීත සත්‍ය තොරතුරු සහ ඒ හා බැඳුනු මනඃකල්පිත විස්තර ලෙස සැලකිය හැකිය. ගුවන් උපදේශක, ලුතිනන් චාල්ස් ටේලර් නම් නියමුවාගේ ප්‍රධානත්වයෙන් ගුවන් ගතවූ යානා 5, යුද අභ්‍යාස සඳහා සුදුසු තත්ත්වයක තිබුණු අතර, ඒවායේ සිටි කාර්ය මණ්ඩලයද මනා පුහුණුවක් ලැබූ අය වූහ. ගුවන් ගතවූ යානා තම මෙහෙයුම් ඉතාමත් නිරවද්‍යව කරන බවටද ආරම්භයේදී තොරතුරු ලැබී ඇත. 

මෙම අහස් යානා ගුවන් ගතවී ටික වෙලාවක් යනතුරු, ඒවායින් තොරතුරු සහ සංඥා ලැබී තිබේ. අවසාන වරට ලැබී ඇති පණිවුඩයෙන් දන්වා තිබෙනුයේ හදිසියේම  කාල ගුණ තත්ත්ව අති ප්‍රචණ්ඩ වූ බව සහ ගමන් මග සොයාගැනීමේ උපකරණ  මහත් ව්‍යාකූළ    බවක් පෙන්නුම් කරන බවයි. 

 මෙම තත්ත්ව යටතේ යානා වලට ආපසු ඒම ඉතාමත් අසීරු වන බව කඳවුරේ මෙහෙයුම් මැදිරියේ  සිටි නිලධාරීන්ට අවබෝධ වී තිබේ. එක් එක් යානයක ඇති ඉන්ධන ප්‍රමාණය ගැලොම් දහයක සීමාවට පැමිණියහොත් ආපසු ඒම  වෙනුවට කළහැකි එකම පිළියම, ගුවන් යානා සියල්ලම මහා සාගරයට බැස්සවීම බව  ලුතිනන් චාල්ස් ටේලර් නියමුවා විසින් විධානය කරන්නට ඇති බවද  මෙහෙයුම් මැදිරියේ  සිටි නිලධාරීන්ගේ විශ්වාසය වන්නට ඇත.

 බලාපොරොත්තු රහිත මෙම  ආපදාවට භාජන වී ඇතැයි  සැක කෙරෙන යානා කෙසේ හෝ ගලවා ගැනීම සඳහා වහාම වෙනත් උපක්‍රමයක් යෙදවිය යුතු බව කඳවුරේ මෙහෙයුම් මැදිරිය විසින් තීරණය කරන ලදී.

  මේ අතර ඉන්ධන අවසන් වීමේ ඉරණමට ගොදුරු වීමට ආසන්නව සිටි නිසා, කළහැකි වෙනත් කිසිම විකල්පයක් නොමැති බැවින්  ගුවන් අභ්‍යාසයට සම්බන්ධ වූ සියලුම අහස් යානා වලට මහා සාගරයේ ජලකඳ මත බැස්සවීම සඳහා ප්‍රධාන නියමුවාගෙන් විධානයක් ලැබෙන්නට ඇත. 

 මෙම විධානය එලෙසම ක්‍රියාත්මක වූ බව විශ්වාස කළ හැකිය.

 නාවික ඓතිහාසික පදනම් මධ්‍යස්ථානයේ ඉතිහාසඥයෙකු පවසන ආකාරයට, යුද කටයුතු සඳහාම විශේෂයෙන්ම නිෂ්පාදනය කර ඇති මෙම අහස්  යානාවල ශක්‌තිමත්  භාවය නිසාම ඒවාට  “යකඩ කුරුල්ලෝ” (Iron birds) යන අන්වර් ථ නාමයක්ද පටබැඳී තිබිණ. එම ආයතනයේ වාර් තා  අනුව මෙම යානයක ශුද්ධ බර රාත්තල් 10,000 (4535 kg)  පමණ වේ. සාගර ජලය මත බැස්සවූ විට මෙම යානයක්, ඉතා වේගයෙන් සාගර පතුළ දක්වාම කිඳා බසී.  මහා සාගරයේ ජලය මත බස්සවා සාගර පතුළට කිඳා බසින අහස්  යානයක් ඉතාමත් අඩු උෂ්ණත්වයක් ඇති වටපිටාව නිසා, එහි   සිටින  කිසිවෙකුගේ ජීවිතය බේරීමට ඇති අහඹුතාව ඉතාමත් අඩුය. ලෝකයේ තිබෙන ඉතාමත් ගැඹුරු සාගර  ආගාධ පිහිටා ඇත්තේද  බර් මියුඩා ත්‍රිකෝණය ආශ්‍රීත ප්‍රදේශයේය. මෙහි සාගර පතුළ අඩි 19,000 (5791 m) පමණ ගැඹුරු වන අතර, පූර්ටෝ  රීකෝ (Puerto Rico) අසල පිහිටි අගාධය  අඩි 27,500 (8,229 m) පමණ ගැඹුරින් යුක්තය. මෙවැනි ගැඹුරකට සේන්දුවන ගුවන් යානයක් ජලකඳේ අති විශාල පීඩනයට කිසිසේත් ඔරොත්තු නොදී පොඩිපට්ටම් වී යාමට ඉඩකඩ තිබේ. 

 

19 වන පියාසැරිය අතුරුදහන් වූ සැනින්ම, එය නිරුපද්‍රිතව බේරා ගැනීම සඳහා, ගලවා ගැනීමේ මෙහෙයුමක් මුදා හැරීමට ෆ්ලොරීඩාවේ ගුවන් කඳවුරේ නිලධාරීන් විසින් තීරණය කරන ලදී. මේ සඳහා, දක්ෂ ගුවන් නියමුවෙකු ඇතුළු  කාර් ය මණ්ඩලය 13 දෙනෙකුගෙන් යුක්ත තරමක්  විශාල ගුවන් යානයක් පිටත් කර යැවීමට මෙහෙයුම් මධ්‍යස්ථානය විසින් පියවර ගන්නා ලදී.  ගුවන් ගතවූගලවා ගැනීමේ මෙහෙයුම්යානය පිටත්වී ටික වෙලාවක් යනතුරු, එය  මෙහෙයුම් මැදිරිය සමග සම්බන්ධය පවත්වා ගෙනගොස්, හිටි හැටියේම  සංඥා සියල්ල අකර්මණ්‍ය වී තිබේ.  ගුවන් යානය සමග සම්බන්ධ වීමට මෙහෙයුම් මැදිරිය ගත් සියලුම උත්සාහද   ව්‍යවර්ථ  වී තිබේ.

 මේ නිසා මහත් කම්පාවට පත්වී සිටි, ගුවන් හමුදා කඳවුරේ නිලධාරීන්ට මඳ වේලාවකට  පසු, අත්ලාන්තික් සාගරයේ යාත්‍රා කරමින් තිබුණු වෙනත් නෞකාවකින් පණිවුඩයක් ලැබිණ. එම පණිවුඩයේ සඳහන් වූයේ, ටික වේලාවකට කලින් ඔවුන්ගේ රේඩාර් පද්ධතියේ පැහැදිලිව සටහන් වී තිබුණු, ගුවන් යානයක් ක්ෂණයකින් රේඩාර් පථයෙන් මැකී ගිය බවත්, ඒ සමගම මහා ගිනි ගුලියක් සාගරයට කඩා වැටෙනු ඔවුන්ට දකින්නට ලැබුණු බවත්ය.

 ගලවා ගැනීමේ මෙහෙයුම සඳහා පිටත් කළ ගුවන් යානයටද අත්වූ ඉරණම, ගුවන් කඳවුරේ සිටි නිලධාරීන්ට අවබෝධ විය. ගිනි ගුලියක් ලෙස සාගරයට පතිතවී ඇත්තේ, දෙවනුව පිටත් කළ කාර් ය මණ්ඩලය 13  දෙනෙකුගෙන් යුක්ත ගුවන් යානය බව ඔවුන්ට ප්‍රත්‍යක්ෂ විය. 

 හේතුව කුමක් වුවත්, බර්මියුඩා ත්‍රිකෝණය මුහුදු ප්‍රදේශයේදී මේ ආකාරයට එක් දිනකදී පමණක් ගුවන් යානා හයක් සහ නියමුවන් ඇතුළු ගුවන් යානා කාර්ය මණ්ඩලය 27 දෙනෙකු මහා සාගරයේ අතුරුදහන් වීමත්  මේ වනතුරුද නොවිසඳුණු මහා ගැටලුවකි.

 

          ‘බර්මියුඩා ත්‍රිකෝණයප්‍රදේශයේ කුතුහලයට තුඩු දෙන කරුණු.


  • මෙම මුහුදු ප්‍රදේශය බර්මියුඩා ත්‍රිකෝණයයන නමින් කිසිම ප්‍රමිතිගත  ලෝක සිතියමක සඳහන් කර නොමැත.
  • ලෝකයේ වැඩි වශයෙන්ම නැව්  ගමනාගමනය කරන මුහුදු මාර්ග කිහිපයක් බර්මියුඩා ත්‍රිකෝණය ඔස්සේ වැටී ඇත.
  • මෙම මුහුදු ප්‍රදේශය ලෝකයේ ඇති නාවුක ගමනාගමනයට අහිතකර ලෙස සැලකෙන පළමු මාර්ග 10 ට වත් නොවැටෙන බව සමීක්ෂණයකින් හෙළිවී තිබේ.
  • කොම්පාසුවක් මගින්  දිශාව නිර්ණය කර ගැනීමේදී සත්‍ය උතුර සහ චුම්බක උතුර දෙකෙහි ගැටීම, නව තාක්ෂණ උපකරණ මගින් මගහැරී ගොස් තිබේ.
  • බර්මියුඩා ත්‍රිකෝණය ලෙස හැඳින්වෙන ප්‍රදේශයේ, ඉතාමත් චණ්ඩ මාරුත සහ අධි බලැති  සුළිසුළං නිරතුරුවම තිබීම  සත්‍යයකි.
  • මෙම මුහුදු ප්‍රදේශයේ වපසරිය පිලිබඳ මිනුම් මෙතෙක් ලබාගෙන නොමැත. එම ප්‍රදේශය අනුමාන වශයෙන් ත්‍රිකෝණාකාර බව පිළිගෙන තිබේ. 
  • මෙම මුහුදු ප්‍රදේශයේ මුහුදුබත් වූ නැව් සංඛ්‍යාව හෝ කඩා වැටුණු අහස් යානා සංඛ්‍යාව පිලිබඳ සත්‍ය දත්ත කිසිවක් නොමැත. තිබෙන සංඛ්‍යා ලේඛන අනුව නැව් 50ක් පමණ සහ අහස් යානා 20 පමණ මෙම මුහුදු ප්‍රදේශයේදී අනතුරට ලක්වී ඇත.
  • මෙසේ අනතුරට පත්වූ බොහෝ නැව්  සහ  අහස් යානා වල සුන්බුන් කිසිවක්වත්  සොයා ගෙන නොතිබීම පුදුම සහගතය.
  • බර්මියුඩා ත්‍රිකෝණය තුළ සිදුවන අතුරුදහන් වීම් මිනිසා අතින් සිදුවිය හැකි වැරදි නිසා හෝ කාලගුණ සංසිද්ධි වල  විෂමතා නිසා සිදුවන්නේද යන්න ස්ථිරවම තීරණය කර නොමැතිය.

 

දයාරත්න වීරසේකර      dayawee2@yaho.com

   (තොරතුරු පොතපතින් සහ අන්තර්ජාලයෙනි. ඡායාරූප ස්තුති පූර්වකව අන්තර්ජාලයෙනි)