‘රාජකීය අත් වැරැද්ද’ නිසා මුළු රටම පාරිසරික අර්බුදයක…!
ජපානයේ හිරෝහිතෝ අධිරාජයා,1926 වසරේ සිට 1989 දක්වා . රාජ්‍ය පාලනයේ යෙදෙමින් සාගර ජෛව විද්‍යාඥයෙකු ලෙසද මහත් ප්‍රසිද්ධියට පත්විය. ඔහුගේ එකම පුත්‍රයා වූ ඔටුන්න හිමි අකිහිතෝ කුමාරයාද, තම පියාගේ අඩිපාරේ යමින් ජීව විද්‍යාව සම්බන්ධව මහත් උනන්දුවක් දැක්වීය. පාසල් කාලයේ සිටම ඔහු මත්ස්‍ය ජීව විද්‍යාව පිලිබඳ සිත් යොමු කළ අතර, විශ්ව විද්‍යාල අධ්‍යාපනයෙන් පසුවද, විද්‍යාත්මක මත්ස්‍ය අධ්‍යයනය ඔහුගේ විනෝදාංශය බවටද පත්විය.
ජපානයේ අනාගත ඔටුන්න හිමි අකිහිතෝ කුමාරයා 1960 ඔක්තෝබර් මාසයේදී ඇමෙරිකා එක්සත් ජනපදයේ නිල සංචාරයක් සඳහා පිටත් විය. එවකට ඔහුගේ වයස අවුරුදු 26 කි. මෙම සංචාරයේදී ඔහු චිකාගෝ නගරයට පැමිණි අවස්ථාවේදී එම නගරයේ නගරාධිපති වූ රිචර්ඩ් ඩේලී විසින් ඔහු රාජ්‍ය ගෞරව සහිතව හරසරින් පිළිගන්නා ලදී. ඩේලීද මත්ස්‍ය අධ්‍යයනයේ යෙදෙමින් මත්ස්‍ය අභිජනනය පිලිබඳ පර්යේෂණ කරන්නෙකු වීම නිසා, ඔවුන් දෙදෙනාට අහම්බෙන් මෙන් මත්ස්‍ය චර්යා පිලිබඳ බොහෝ අධ්‍යයන කිරීම සඳහා මෙය කදිම අවස්ථාවක් විය. ලෝක ප්‍රසිද්ධ ‘Shedd මින්මැදුර’ පිහිටුවා ඇත්තේ ඉලිනොයිස් ප්‍රාන්තයේ චිකාගෝ නගරයේය. ඩේලි නගරාධිපති වරයාගේ ආරාධනය පරිදි නගරයේ වැදගත්ම ස්ථානයක් වන මින්මැදුර නැරඹීමට ගිය අකිහිතෝ කුමරු, එහි සිටි විවිධ මත්ස්‍ය විශේෂ දහස් ගණනක් දැක බලා ගැනීමෙන් මහත් අමන්දානන්දයට පත්විය.
තම රාජකීය මිතුරාගේ සහ තමන්ගේත් අධ්‍යයන විෂයය පථයට බොහෝ සේ සමීප, මිරිදිය මත්ස්‍ය තොගයක් තෑග්ගක් වශයෙන් කුමාරයාට පිරිනැමීමට නගරාධිපතිවරයා එවලේම තීරණය කළේය. අකිහිතෝ කුමරුද මෙම අදහසට මහත් ප්‍රසාදය පළකළේය. මේ අවස්ථාවේදී, නගරාධිපති වරයා විසින් කුඩා අතංගුවක් භාවිත කර එක් මත්ස්‍ය තටාකයකින් අල්ලා ගත් සිත් ඇදගන්නාසුළු මත්ස්‍යයින් 18 දෙනෙකු කුමාරයාට තෑගී කළේය.
මෙසේ තෑගි ලැබුණේ, උතුරු ඇමරිකාවට ආවේණික, විශේෂයෙන්ම පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ බහුල, එමෙන්ම ඉතාමත් ජනප්‍රිය Bluegill “නිල් කරමලයා” (Lepomis macrochirus) ලෙස හැඳින්වෙන ගංගා, විල් සහ පොකුණු වල ජීවත් වන අලංකාර මිරිදිය මත්ස්‍ය විශේෂයෙකි. මෙම මත්ස්‍යයා පෙන්සිල්වේනියා ප්‍රාන්ත රජයේ නිල මත්ස්‍යයා වීමද විශේෂත්වයකි. මෙම මත්ස්‍ය විශේෂය ආසියානු රටවලට ආවේණික මත්ස්‍ය විශේෂයක් නොවේ. එහෙත් ආසියානු කලාපයේ බහුල Ruby Barb, “බුලත්හපයා ” (Pethia nigrofasciata), හැඩරුවෙන් නිල් කරමලයාට තරමක් සමීප වුවත් ශරීර ප්‍රමාණයෙන් කුඩා මත්ස්‍යයෙකි.
“මාහට ඇමෙරිකා සංචාරයේදී ත්‍යාගයක් වශයෙන් ලැබුණු Bluegill මත්ස්‍ය තොගය නිසා මත්ස්‍ය අභිජනනය පිලිබඳ මාගේ උද්‍යෝගය දෙගුණ තෙගුණ වුවා. මා ජපානයට සේන්දු වූ විගසම, රජ මාලිගය වටා ඇති පෞරාණික මිරිදිය අගල පිළිසකර කරවා, එය මත්ස්‍යාගාරයක් ලෙස සකස් කර, මේ මත්ස්‍ය තොගය දිය අගලේ සුරතල් මසුන් ලෙස ඇතිකිරීමට පියවර ගන්නට බලාපොරොත්තු වෙනවා”
යයි, උද්‍යෝගිමත් තරුණ මත්ස්‍ය විද්‍යාඥයෙකු වූ, අකිහිතෝ කුමාරයා, අමෙරිකාවෙන් පිටත් වීමට පෙර චිකාගෝහි ‘Tribune’ පුවත් පතට ප්‍රකාශයක් කර තිබේ.
පැසිෆික් සාගරයට ඉහලින් චිකාගෝ සිට ටෝකියෝ දක්වා දිගු ගුවන් ගමනට නිරුපද්‍රිතව ඔරොත්තු දුන්නේ තෑගී ලැබුණු මත්ස්‍යයින් 15 දෙනෙකු පමණකි. වහාම මෙම මත්ස්‍යයින් රැක බලා ගැනීම සහ අභිජනනය සඳහා සූදානම් කිරීම පිණිස, ජපානයේ ජාතික ධීවර ආයතනයට කුමාරයා විසින් භාරදෙන ලදී. ඔවුන් විසින් අභිජනන කාර්යාවලිය ඉතාමත් සාර්ථකව සිදු කරන ලදුව, මාස කිහිපයකදීම bluegills මාලුපැටවුන් සිය ගණනක් ලබාගත හැකිවිය. 1961 වර්ෂය මුලදී පළමු මත්ස්‍ය පැටව් තොගය, නවීකරණය කරනලද ආරක්ෂක දිය අගලට මුදාහරින ලදී. විලෝපීයයන් කිසිවෙක් නොමැති කම නිසාත්, හොඳින්ම පෝෂණය ලැබීම නිසාත්, විශේෂයෙන්ම රාජකීය ‘හස්තයක’ බලපෑම නිසාත් මෙම විදේශීය මත්ස්‍යයින් ඉක්මණින්ම වර්ධනය වන්නට විය. එහෙත් දිය අගලේ කෘතීම පරිසරයේ මත්ස්‍ය අභිජනන වේගය අඩු බව පසුව පෙනී ගියේය. මේ නිසා මත්ස්‍ය පැටවුන් ස්වාභාවික පරිසර පද්ධති වලටද මුදා හැරීම ගැනද සිත් යොමු කරන්නට සිදුවිය. මෙතෙක් කල් ජපානයේ දකින්නට නොලැබුණු, රටට ආවේණික එම හැඩහුරුකම ඇති වෙනත් මත්ස්‍යයින්ට වඩා ප්‍රමාණයෙන් විශාල, සිත් ඇදගන්නාසුළු වර්ණයෙන් යුත් මෙම bluegills ඉක්මණින්ම කාගේත් ආකර්ෂණයටද ලක්විය.
ඔටුන්න හිමි අකිහිතෝ කුමරුන් විසින් රටට හඳුන්වා දුන් මත්ස්‍යයෙකු නිසා මොවුනට ‘කුමාර මත්ස්‍යයා’ (prince fish) යන අන්වර්ථ නාමයක්ද පටබැඳිණි. ‘කුමාර මත්ස්‍යයා’ ජපානයට හඳුන්වා දීම වෙනුවෙන් ගෞරව කිරීමේ සංකේතයක් වශයෙන් වසර කිහිපයකට පසු, අකිහිතෝ කුමාරයාගේ තොරතුරු සහ එම මත්ස්‍යයාට ‘කුමාර මත්ස්‍යයා’ (prince fish) යන නම පට බැඳීමට හේතුවද සටහන් කර විශාල ශෛලමය ඵලකයක්ද, ස්මාරකයක් වශයෙන් මුහුදු වෙරළ ආසන්නයේ ස්ථාපනය කරන ලදී. 1966 වසර වන විට bluegills පැටවුන් ජපානයේ විශාල ජලාශ කිහිපයකට සහ වෙනත් මිරිදිය ප්‍රභව වලටද මුදා හරින ලදී. ස්වාභාවික ජලාශවල ඇති ප්‍රශස්ත පාරිසරික සාධක නිසා මත්ස්‍ය අභිජනනයද වේගයෙන් සිදුවිය.
මේ කාලයේ ජපානයේ සිටි ප්‍රධාන පෙළේ මත්ස්‍ය පර්යේෂණ විද්‍යාඥයෙකු වූ නකායි කට්සුකි (Nakai Katsuki) විසින් ජපානයට අලුතින් හඳුන්වාදුන් Bluegills මත්ස්‍යයින් පිළිබඳව තම නිරීක්ෂණ ප්‍රකාශයට පත්කර තිබුණේ මෙසේය. “මේ දක්වා ජපානයේ ආක්‍රමණශීලී මත්ස්‍යයින් පිලිබඳ කිසිම හෝඩුවාවක්වත් නොමැත. අලුතින් බෝ කරන ලද අලංකාර මත්ස්‍ය විශේෂය වන Bluegills ඔවුන්ගේ භෝජන විලාසය අනුව අනිකුත් දේශීය මත්ස්‍ය විශේෂ වලට කිසිම ආකාරයකින් හානිදායක නොවෙති. එමෙන්ම ඔව්හු මත්ස්‍ය භක්‍ෂකයෝද නොවෙති.”
මේ ආකාරයට තවත් වසර කිහිපයක් ගතවිය. Bluegills මත්ස්‍යයින් පිළිබඳව උනන්දුවද ක්‍රමයෙන් තුනීවී ගියේය.
රජ මාලිගය වටා පිහිටි කෘතීම දිය අගල් පරිසරයේ Bluegills ගහණ ඝනත්වය ක්‍රමක්‍රමයෙන් අඩුවී ගියේය. එහෙත් ස්වාභාවික ජලාශවලට සහ වෙනත් මිරිදිය ප්‍රභව වලට මුදා හරින ලද මත්ස්‍යයින්ගේ ගහණ ඝනත්වය ශීඝ්‍රයෙන් ඉහල යන බව නිරීක්ෂණය කරන ලදී. එපමණක් නොව, එම මත්ස්‍යයින්ගේ කලින් දකින්නට ලැබුණු සරල භෝජන රටාවද වෙනස් වී ඔවුන් ආහාර වශයෙන් ගත් ජලජ කෘමීන්, ප්ලැන්ක්ටන් සහ ජලජ ශාක වලට අමතරව කූනිස්සන් සහ දේශීය මත්ස්‍යයින්ගේ බිත්තරද බහුල වශයෙන් ආහාරයට ගන්නා බවද හෙළි විය. මේ ආකාරයට මොවුන්ගේ භෝජන විලාසය වෙනස් කිරීම සහ ඔවුන් විලෝපියයන්ගේ, ස්වරූපයක් ආරෝපණය කර ගැනීමත්, දේශීය මත්ස්‍ය ගහණවල පැවැත්ම සඳහා, බරපතල තර්ජනයක් වියහැකි බව විද්‍යාඥයින් විසින් බලධාරීන්ට ඒත්තු ගන්වන ලදී.
මෙම නිරීක්ෂණය සම්බන්ධයෙන් තවදුරටත් කරනලද පරීක්ෂණ අනුව Bluegills ජපානයට ආක්‍රමණික මත්ස්‍ය විශේෂයක් බවට පරිවර්තනය වී ඇති නිසාත් ඔවුන්ගේ ව්‍යාප්තිය පාලනය කළ යුතු බව තීරණය කර, ඒ සඳහා අවශ්‍ය විධි විධානද රජය විසින් පනවන ලදී. මේ අනුව 1999 වර්ෂයේදී රටපුරා ඇති මිරිදිය ජලාශ සහ වෙනත් ජලජ ප්‍රභව වල එම මත්ස්‍ය ව්‍යාප්තිය පිළිබඳව පුළුල් සමික්ෂණයක්ද කරන ලදී. එහෙත් මේ වන විට, පාලනය කළ නොහැකි ආකාරයකට Bluegills මත්ස්‍ය ගහණය රටපුරා ව්‍යාප්ත වී ඇති බව හඳුනා ගන්නා ලදී.
මේ වනවිට අකිහිතෝ කුමරු ජපානයේ අධිරාජයා බවට පත්වී සිටියේය. තමන් විසින් වසර 40 කට පමණ ඉහතදී, අමෙරිකාවෙන් ලැබුණු ත්‍යාගයක් ලෙස ජපානයට ගෙන එන ලද Bluegills විසිතුරු මත්ස්‍යයින් විසින් මේ වනවිට රටෙහි මත්ස්‍ය ජෛව විවිධත්වයට කර ඇති බලගතු විනාශය ගැන ඔහු මහත් කම්පාවට පත්විය. මෙම ව්‍යසනයෙන් රට බේරාගැනීම සඳහා අවශ්‍ය සියලු පියවර ගැනීම සඳහා අවශ්‍ය වන සියලු ප්‍රතිපාදන වහාම සකස් කර දෙන ලෙස ඔහු අදාල සියලුම නිලධාරීන්ට උපදෙස් දෙන ලදී. මේ අනුව රටෙහි මත්ස්‍ය ජෛව විවිධත්වය සුරැකීම සඳහාත් Bluegills මත්ස්‍ය ආක්‍රමණය මගහරවා ගැනීම සඳහාත් විවිධ විද්‍යාත්මක මෙන්ම වෙනත් පියවර ගැනද රටෙහිම අවධානය යොමුවිය. සාමාන්‍ය විද්‍යාත්මක ක්‍රමවේද වලින් ඔබ්බට ගොස් ජාන තාක්ෂණය උපයෝගී කර ගනිමින් අභිජනනය පාලනය කිරීමේ ක්‍රමවේදයකින් මිස මෙම ව්‍යසනය පාලනය කරගත නොහැකි බව අවසාන තීරණය විය. රටෙහි මහජනතාව අතර, Bluegill මත්ස්‍යයින් වැඩිපුර ප්‍රමාණයක් ආහාරයට ගැනීම ජනප්‍රිය කරවීම සඳහාද විවිධ ක්‍රමවේදද ඉදිරිපත් විය. මේ අනුව ජපානයේ සමහර ප්‍රාන්ත වල, මිරිදිය ධීවරයින්ට Bluegill මසුන් වැඩිපුර ඇල්ලීම දිරිමත් කිරීම සඳහා
මත්ස්‍ය කිලෝග්රෑම් එකකට ඩොලර් තුනක දිරි දීමනාවක් දීමටද පියවර ගන්නා ලදී.
එමෙන්ම විවිධ පර්යේෂණ ආයතන මගින් එම මසුන් ඇල්ලීම සඳහාත්, මත්ස්‍ය බිත්තර එකතු කිරීම සඳහාත් නව පන්නයේ උගුල්ද නිෂ්පාදනය කරන ලදී.
තවද ජලාශවල ධීවර කටයුතු සඳහා අලුතින් Bluegill මත්ස්‍ය ගහණ ස්ථාපනය කිරීමද නීතියෙන් තහනම් කර, අනවසරයෙන් එසේ කිරීම ඩොලර් 1000 ක දඩයකටද යටත් කරන ලදී.
මේ කිසිම ක්‍රමවේදයක් සාර්ථක නොවූ බැවින් 2002 වර්ෂයේදී ජපානයේ පරිසර අමාත්‍යාංශය මගින් Bluegill ආක්‍රමණශීලී මත්ස්‍ය විශේෂයක් බව නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන ලදී.
මේ අවාසනාවන්ත සිද්ධිය නිසා මහත් පසුතැවිල්ලට පත්වූ අකිහිතෝ අධිරාජයා 2004 වර්ෂයේදී, තමාගේ නොසැලකිලිමත් භාවය නිසා තම රටෙහි මත්ස්‍ය ජෛව විවිධත්වයට සිදුවූ බරපතල හානිය පිළිබඳව ජාතියෙන් සමාව අයදින බව ප්‍රකාශයට පත් කළේය.
මෙම ප්‍රකාශය හුවා දක්වමින් Japan Times පුවත්පත “අකිහිතෝ අධිරාජයා විසින් දශක හතරකට ඉහතදී තමා අතින් සිදුවූයේයැයි කියැවෙන, Bluegill මත්ස්‍යයින් රටට ගෙන ඒමේ සුළු වරද නිසා වූ මහා ව්‍යසනය පිළිබඳව අදද තම හදවත සලිත වන බව සඳහන් කර, ඒ වෙනුවෙන් මේ ආකාරයට කණගාටු වෙමින් පසුතැවීම, ඉතාමත් නිරහංකාර රාජ්‍යතාන්ත්‍රිකයෙකුගේ උතුම් ප්‍රතිචාරයක් බව සනිටුහන් කර තබමු.” යයි ප්‍රධාන ප්‍රවෘත්තියක් පළකිරීමද සුවිශේෂී සිද්ධියකි.
ජාන තාක්ෂණය උපයෝගී කර ගනිමින් මෙම උවදුර මැඩපැවැත්වීම සඳහා පිළිවෙත් සෙවීමෙහි නිරතවූ විද්‍යාඥයෝ පිරිසක් මේ ගැන වැඩි දුරටත් අධ්‍යයනය කිරීම සඳහා අවශ්‍ය දත්ත සොයාගැනීම පිණිස ඇමෙරිකාවට ගියහ. මොව්හු එහිදී ඇමෙරිකාවේ විවිධ ප්‍රදේශ වල සිටින Bluegill ගහණ රාශියක මත්ස්‍යයින්ගේ DNA සමග, ජපානයේ එම මත්ස්‍ය ගහණ 56 කගේ DNA සංසන්දනයක් කරන ලදී. මෙම අධ්‍යයනයේදී හෙළිදරව් වූ ඉතා වැදගත් විද්‍යාත්මක සාධකයක් වූයේ, ජපානයේ ව්‍යාප්ත වී ඇති සියලුම Bluegill නැතහොත් ‘කුමාර මත්ස්‍ය’ (prince fish) ගහණ සියල්ලම 1960 වර්ෂයේදී අකිහිතෝ කුමාරයාට ඇමෙරිකාවේදී තෑගී ලැබුණු Bluegill මසුන් 15 දෙනාගෙන්ම බෝවූ අය බව තහවුරු වීමයි. මෙයින් සෑහීමට පත්වූ ජපන් විද්‍යාඥයෝ ජාන තාක්ෂණයේ නවතම ක්‍රමවේදයක් භාවිත කර මෙම ගැටලුව විසඳීමට තීරණය කළහ.
2012 වසරේදී පමණ ලොවට හඳුන්වා දී තිබෙන, ‘ජිනෝම සංස්කරණය’ (genome editing) නමැති ජාන තාක්ෂණයේ නව පිවිසුම Bluegill මත්ස්‍ය පාලනය සඳහා යොදාගත හැකි බව ජපන් විද්‍යාඥයින්ගේ අදහස විය. ‘CRISPR-Cas9’ යන කෙටි යෙදුමෙන් දැක්වෙන මෙම තාක්ෂණය, “Clustered Regularly Interspaced Short Palindromic Repeats and CRISPR-associated protein 9” යන සංකීර්ණ විද්‍යාත්මක නාමයකින් විස්තර කර තිබේ. ඉතාමත් සංකීර්ණ මෙම තාක්ෂණයේ මුලධර්මය වනුයේ, යම්කිසි කාර්යයක් සඳහා තෝරාගන්නාලද ජීවියෙකුගේ DNA දාමයක, එක්තරා ස්ථානයක ඇති යම්කිසි සුවිශේෂී ජානයක් ඉවත් කර, ඒ වෙනුවට අවශ්‍ය කරන වෙනත් ජානයක් එම ස්ථානයට බද්ධ කිරීමයි. ජපානයේ Bluegill ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා විද්‍යාඥයින් විසින් යෝජනා කරන ලද්දේ, ස්ත්‍රී ලිංගික Bluegill මත්ස්‍යයින්ගේ DNA දාමයේ ‘බිත්තර දැමීමේ හැකියාව’ සඳහා ඇති ජාන ඉවත්කර ‘බිත්තර දැමීමට නොහැකි ලක්ෂණ සහිත’ ජානයක් බද්ධ කිරීමයි. මේ ආකාරයට ‘ජිනෝම සංස්කරණය’ කරනලද ස්ත්‍රී ලිංගික මත්ස්‍යයින් පරිසරයට මුදාහළ විට, ඔවුන් අභිජනනයට භාජන වූවත් බිත්තර නොදමති. මේ ආකාරයට යෝජනා කරන ලද ජෛව පාලන ආකෘතිය පිළිගන්නා ලදුව, එය ක්‍රියාත්මක කිරීම සඳහා රජයේ අනුමැතියද ලැබිණ. මේ සම්බන්ධයෙන් වසර කිහිපයක් තිස්සේ කරනලද විද්‍යාගාර පර්යේෂණ වලින් සාර්ථක ප්‍රතිඵල ලැබී තිබෙන බවද හෙළිවේ. මෙම තාක්ෂණය මගින්ද සාර්ථක ප්‍රතිඵල ලබාගැනීම සඳහා අඩුම වශයෙන්, මුළු රටෙහි සියලුම මිරිදිය ජලාශ, විල්, ගංගා ආදියෙහි සිටින ස්ත්‍රී ලිංගික Bluegill මත්ස්‍යයින්ගෙන් 7% කට වත් ‘ජිනෝම සංස්කරණ’ ප්‍රතිකර්මය යෙදිය යුතු බව සංකීර්ණ ගණනය කිරීම් මගින් අනාවරණය කර ගෙන තිබේ. දැනටමත් මේ ක්‍රමවේදය මගින් සැලකියයුතු මට්ටමක සාර්ථක ප්‍රතිඵල ලැබෙමින් පවතින බව හෙළිදරව් වී ඇත. නුදුරු අනාගතයේදීම මෙම තාක්ෂණය උපයෝගී කර ගනිමින් ජපානයේ වසංගතයක් මෙන් ව්‍යාප්තවූ Bluegill මත්ස්‍ය උවදුර පාලනය කරගත හැකි වේයයි විශ්වාසයක් තිබේ.
අකිහිතෝ කුමාරයා විසින් 1960 වර්ෂයේදී Bluegill මත්ස්‍යයින් ජපානයට ගෙන ආ කාලයේදී ගුවන් තොටෙහි දැඩි මත්ස්‍ය නිරෝධායන නීති රීති නොතිබෙන්නට ඇත. එසේ වුවත් මත්ස්‍ය ජෛව විද්‍යාව පිලිබඳ විශ්ව විද්‍යාල අධ්‍යාපනයක් ලබා තිබුණු ඔහු එසේ කිරිමේ තිබිය හැකි ආදීනව පිලිබඳ හොඳින් දැනුවත් වී සිටින්නට ඇත. එසේ දැනුවත්ව සිටියදීත් ඔහු හුදෙක් විනෝදය සඳහාම සුරතල් මත්ස්‍යයින් ආනයනය කිරීම මගින් රටට විශාල අලාභ හානියක් කර තිබේ. දශක හතරක් පහක් තිස්සේ විශාල ධනස්කන්ධයක් වැය කිරීමෙන් පසුව වුවද මෙතෙක් එම උවදුර සඳහා තිරසාර පිළියමක් සොයා ගැනීමට නොහැකි වී තිබේ. මෙම ව්‍යසනය මැඩ පැවැත්වීම සඳහා ජපානයේ එක් ප්‍රාන්තයක කොටසක පමණක් වැය කර ඇති අති විශාල මුදල් ප්‍රමාණය ගැන සිතා බැලීමෙන් පමණක් මෙම “රාජකීය අත්වැරැද්ද” නිසා රටට සිදුවී ඇති අලාභය සිතා ගත හැකිය. 2007 වර්ෂය වනවිට, ‘කුමාර මත්ස්‍ය’ ගහණය මිලියන 25 පමණ වන්නට ඇතැයි ගණනය කර තිබේ. මේ වනවිට ජපානයේ විශාලතම මිරිදිය ජලාශය වන ‘බීවා විලෙහි’ (Biwa lake) සම්පූර්ණ මත්ස්‍ය ගහණයෙන් 90% පමණ Bluegill ‘කුමාර මත්ස්‍යයින්’ වීමම මහත් ඛේදවාචකයක් ලෙස සැලකේ. එම ප්‍රාන්තයේ මෙම ආක්‍රමණික මත්ස්‍යයින් ටොන් 420 පමණ ඉවත් කිරීම සඳහා 2005 වර්ෂයේදී ඩොලර් මිලියන 1.2 ක් පමණ වැය කර තිබේ. දැනටද මෙම කාර්යය සඳහා වාර්ෂිකව ඩොලර් 270,000 ක් පමණ වියදම් වන බව වාර්තාවේ.
මිනිසා විසින් දැනුවත්ව හෝ නොදැනුවත්ව ගෙන තිබෙන මෙවැනි අනර්ථකාරී තීරණ නිසා ලෝකයේ තවත් රටවලද ජෛව විවිධත්ව ව්‍යසන සිදුවී තිබේ. තවත් හොඳම උදාහරණයක් ලෙස ඔස්ට්‍රේලියාව ගත හැකිය. ඕස්ට්‍රේලියා මහාද්වීපයට පැමිණි මුල් යුරෝපීය සංක්‍රමණිකයින් විසින් වරින් වර ගෙන එන ලද ඔටුවන්, හාවුන් වැනි ශාක භක්ෂක ක්ෂීරපායී සතුන් මෙන්ම, වල්වැදී ඇති බළලුන්ද, ඉලක්කයට වෙඩි තැබීමේ ක්‍රීඩාව සඳහා ගෙනැවිත් වනාන්තර වලට මුදා හරින ලද නරින්ද මේ වන විට උග්‍ර ආක්‍රමණික සතුන් වී තිබේ. විශේෂයෙන්ම වල් වැදුණු බළලුන් විසින් වර්ෂයකට ඔස්ට්‍ර්ලියාවේ පක්ෂීන් ඇතුළු කුඩා දේශීය සතුන් බිලියන දෙකක් පමණ දඩයම් කරන බව මෑතදී පුවත් පතක වාර්තා විය.
මේ තොරතුරු ගැන සලකා බලන විට ආක්‍රමණශීලී ශාක සහ සතුන් යන ජීවීන් දෙවර්ගයම නිසා ස්වභාවික ජෛව සමතුලිතතාව අවුල්වී යාමෙන් බොහෝ විට පරිහානියට මෙන්ම වඳවී යාමේ තර්ජනයට මුහුණ පාන්නේ, අනුවර්තනය වීමේ හැකියාව අඩු දේශීය ජීවීන්ම වීම, මහත් කණගාටුදායක තත්ත්වයකි. මේ නිසා, දැනට ලෝකයේ බොහෝ රටවල තදබල නිරෝධායන නීති රීති ක්‍රියාත්මක වෙමින් පාලනයක් සිදු කරනුයේ ඒ ඒ රටවල දේශීය වශයෙන් වැදගත් ජීවීන්ගේ සුභසිද්ධිය සඳහාම බව කාගේත් සැලකිල්ලට භාජන විය යුතුය.
රාජකුමාරයෙකු විසින් අනිටු ප්‍රතිඵල ගැන දැනුවත්ව සිට, අත්තනෝමතික ලෙස මත්ස්‍ය විශේෂයක් එක් රටක සිට තවත් රටකට ගෙන ගියත්, වැඩි උගත් කමක් නොමැති ගොවියෙකු විසින් නොදැනුවත්කම නිසා යම්කිසි කෘෂි භෝගයක් එක් රටක සිට තවත් රටකට ගෙන ගියත්, අවසානයේදී වන්නේ එම ජීවීන් එසේ ගෙනයන ලද සත්ත්ව හෝ ශාක විශේෂ, රටට විපත්තිදායක ආක්‍රමණශීලීන් බවට පරිවර්තනය වීමයි.
දයාරත්න වීරසේකර