ඇසට කඳුලක් අවශ්‍ය වන්නේම ද?
මිනිසාගේ එදිනෙදා ජීවිතයට ඉතාමත් සමීප සහ කාටත් හුරුපුරුදු ‘කඳුළු’ පිළිබඳව විවිධ අදහස් උදහස් සහ මතවාද බහුලය. බොහෝ විට කඳුළු සහ හැඬීම අතර සම්බන්ධයක් තිබෙන බවද දකින්නට ලැබේ. එහෙත් කුඩා දරුවෙකු හඬමින් කඳුළු වැගිරීම සහ වැඩිහිටියෙකුගේ හැඬීම සහ ඇස්වල කඳුළු දකින්නට ලැබීම එකිනෙකට බොහෝ වෙනස් හේතු නිසා සිදුවිය හැකිය.
නවීන විද්‍යාවෙන් ලබාගෙන තිබෙන දත්ත අනුව, මත්ස්‍යයින් හැර අනිකුත් සියලුම ප්රුෂ්ඨවංශි සතුන්ගේ දෘෂ්ඨි අවයවය වන ඇස් වල, බාහිර ලෝකයට නිරාවරණය වන ඉතාමත් සියුම් කනීණිකාවේ (cornea) ආරක්ෂාව සඳහාත්, ඇස් වල තෙතමනය පවත්වා ගැනීම සඳහාත් කඳුළු ප්‍රයෝජනවත් වන බව සනාථ වී තිබේ. ඇස් වල ස්වාභාවික ක්‍රියාකාරිත්වය සඳහා අත්‍යාවශ්‍ය කඳුළු නිපදවනුයේ ඒ සඳහාම සකස් වී ඇති ග්‍රන්ථි පද්ධතියක් මගින්ය. (මේ සමග ඇති රූප සටහන බලන්න).
මෙහි දක්වා ඇති පරිදි, ඇසෙහි කඳුළු පටලය ස්තර තුනකින් සමන්විතය. කඳුළු නිපදවන ප්‍රධානතම ව්‍යුහය වනුයේ, උඩ ඇසිපිය සහ ඇහිබැම අතර අක්ෂි ගෝලයට ඉහලින් පිහිටි අශ්‍රැ (කඳුළු) ග්‍රන්ථිය වේ. කඳුළු ද්‍රවමය ස්වභාවයකින් පවතිනුයේ එහි 98% පමණ ජලය තිබෙන නිසාය. ඇස මතුපිටට ශ්‍රාවය වී විසිරි යන කඳුළු පටලයේ කාර්ය භාරය සම්පූර්ණ කිරීම සඳහා තවත් ශ්‍රාව දෙකක් කඳුලට මිශ්‍ර විය යුතුය. ඇසෙහි කනීණිකා අපිච්ඡදයේ සෛල වලින් නිපදවන මියුසින් ස්තරය මගින් කඳුළු කනීණිකාව මත නොඇලී ගලා යාම, ඇස ස්නේහනය කරවීම, හා ඇසෙහි බැක්ටීරියා වර්ධනය වලක්වාලීම සලස්වයි. එමෙන්ම කඳුළු පටලයේ මතුපිටින්ම ඇති ලිපිඩ නැතහොත් මේද සියුම් ස්තරය මගින් කඳුළු ඉක්මණින් වාෂ්ප වී යාම වලක්වයි. (රූප සටහනෙහි ඇති ‘කඳුළු පටලයක ව්‍යුහය’ කොටස බලන්න). අශ්‍රැ (කඳුළු) ග්‍රන්ථි වල නිපදවෙන කඳුළු කුඩා නාලයක් ඔස්සේ ගලාවිත්, නාසය පැත්තේ ඇස මුල, ඇති විවරය මගින් ඇසට ගලායයි. වැඩිපුර නිපදවෙන කඳුළු වෙනත් නාලයක් ඔස්සේ නාස් කුහරයට වැගිරේ. සමහර අවස්ථාවලදී යම්කිසි හේතුවක් නිසා වැඩිපුර කඳුළු ගලන විට ඒ සමග නාසයෙන්ද ද්‍රවයක් වැගිරෙන්නේ මේ නිසාය. අප ඇසිපිය ගසන සෑම අවස්ථාවකදීම ඇසෙහි කඳුළු කනිනිකාව මතුපිට විසිරී ගොස් ඇස් වියලීම වලක්වයි. කඳුළු ලුණු රසයකින් යුක්ත වන්නේ එහි සාමාන්‍ය ලුණු (NaCl) ස්වල්ප වශයෙන් තිබෙන නිසාය. සාමාන්‍යයෙන් කඳුළු බින්දුවක ලුණු, 0.3 mg පමණ අන්තර්ගත වේ. එමෙන්ම සාමාන්‍ය වැඩිහිටියෙකු දිනකට කඳුළු 150 ml කට වැඩි ප්‍රමාණයක් නිපදවන බවද සත්‍යයකි.
කඳුළු ප්‍රභේද කිහිපයකි.
විවිධ හේතු නිසා මිනිසාගේ ඇස්වල ස්වාභාවිකව පවතින කඳුළු, නිපදවීමට මුල්වන හේතුව සහ අවස්ථාව අනුව සංයුතියෙන් වෙනස් බව නිරීක්ෂණය කර තිබේ. මෙසේ හටගන්නා කඳුළු අදාළ හේතු අනුව, පහත දැක්වෙන අයුරු ප්‍රභේද තුනකට වෙන් කළ හැකිය.
සාමාන්‍ය (basal) කඳුළු - නිරතුරුවම ඇසට ගලාඑන සාමාන්‍ය කඳුළු කනීණිකාව මත විසිරී ගොස් ඇසෙහි තෙතමනය රඳා පවත්වා ගන්නා අතරම ඇස් මතුපිට වියලීයාමද වලක්වයි.
ප්‍රතීක (reflex) කඳුළු - ඇසට නොරුස්නා යම්කිසි අපද්‍රව්‍යයක් හෝ ළූණු කැපීම වැනි අවස්ථාවකදී හෝ සුවඳ විලවුන් වාෂ්ප හෝ වෙනත් ආකාරයකින් නිකුත් වන අහිතකර වායු (කඳුළු ගෑස්) වැනි කුමක් වුවද ඇසෙහි ගැටීමේදී නිපදවන්නේ ප්‍රතීක කඳුළු වේ. අදාළ අපද්‍රව්‍ය හෝ වායුව ඇසෙහි ගැටුණු වහාම,ඇසට සම්බන්ධ ස්නායු මූලයට යැවෙන ප්‍රතීක පණිවුඩයක් මගින් අශ්‍රැ ග්‍රන්ථි වහාම උත්තේජනය වී ඇසට කඳුළු වැගිරේ.
චිත්තවේගීය (emotional) කඳුළු - යම්කිසි කෙනෙකුට වේදනාවක්, දුකක්, කේන්තියක් හෝ වෙනත් ඕනෑම ආකාරයක චිත්ත වේගයක් ඇතිවූ විට, මොළයේ චිත්තවේග සංජානන ස්ථාන උද්දීපනය වේ. මෙහිදී මොළයෙන් අශ්‍රැ ග්‍රන්ථි වලට යැවෙන පණිවුඩ මගින් ඒවා ක්ෂණයකින් උත්තේජනය වී ඇසට ගලා එනු ලබන කඳුළු චිත්තවේගීය කඳුළු වේ. චිත්ත වේග සෑමවිටම සෘණාත්මක නොවේ. සමහරවිට අධික ප්‍රීතිය, සිනහව ආදී ධනාත්මක චිත්ත වේග නිසාද කඳුළු හටගනී.
සෑම කඳුළු වර්ගයකම ජලය, ලවණ, ලිපිඩ සහ හෝර්මෝන තිබෙන අතර චිත්තවේගීය කඳුළුවල මීට වඩා තරමක් සංකීර්ණ බවක් තිබේ. කෙනෙකුට කුමන අන්දමේ වුවද චිත්තවේගයක් එළඹී විට, ශරීරයේ ක්‍රියාකාරී පද්ධති හසුරුවනු ලබන හොර්මෝන සමබරතාවය නැතහොත් සමස්ථිතිය අවුල් සහගත තත්ත්වයකට පත්වේ. මෙවැනි තත්ත්වයක් උදාවූ විට ඇතිවන චිත්තවේග, සමනය කිරීම සඳහා දායක වන වෙනත් හෝර්මෝන මෙන්ම ප්‍රෝටීන වර්ගද, නිපදවීමේ කෘතියක් කිරීමටද මොළයට හැකියාවක් තිබේ. මෙහිදී සිදුවනුයේ මොළය මගින් අදාළ සමනය කිරීම් සිදුකරන හෝර්මෝන හෝ වෙනත් රසායන ද්‍රව්‍ය නිපදවෙන මධ්‍යස්ථාන වලට පණිවුඩ යැවීමයි. මේ ආකාරයට නිපදවනු ලබන, සමබරතාවය පවත්වාගැනීමේ හොර්මෝන සහ රසායන ද්‍රව්‍යද කඳුළු වලටම එකතුවී චිත්තවේගී ආවේග ස්වභාවය ක්‍රමක්‍රමයෙන් තුනී කිරීමට පටන් ගනී.
කදුළු පිලිබඳ විවිධ අදහස්
සාහිත්‍යයේ, සංගීතයේ හෝ ගද්‍ය හා පද්‍ය පබැඳුම් වලදී කඳුළු ගැන සඳහන් කිරීම් එමට දකින්නට ලැබේ. බොහෝ විට මිනිසාට මුහුණ පෑමට සිදුවන, දුක් කම්කටොලු, බලාපොරොත්තු කඩවීම්, වියෝවීම්, විරහව වැනි විවිධ ආවේගශීලී අවස්ථාවලදී ඇතිවන හැඟීම් විස්තර කිරීමේදී කඳුළු සහ හැඬීම සම්බන්ධ කර ගැනීමට ප්‍රබන්ධකරුවෝ බොහෝ දක්ෂතා දක්වති.
ශ්‍රී ලංකාවේ ප්‍රවීණ ගායන ශිල්පියෙකු වූ අමරසිරි පීරිස් ගායනා කරන “ඉකි ගසා හඬන” නම් ගීතයෙන්, ගොළු වූ ඒක පාර්ශ්වික ආදරයකට නතුවූ කෙනෙකුගේ ‘සඟවාගත් හැඬීම සහ සඟවාගත නොහැකි කඳුළු’ පිළිබඳව මෙසේ හෙළිදරව්වක් කරයි.
ඉකි ගසා හඬන අතීතයක,
කඳුළු එක්ක ගනුදෙනු කරනා
මට මගේ නොවන
මගේම ආදරයක් තිබුණා……..
මේ ආකාරයට ප්‍රතිභාපූර්ණ කලාකරුවෙකුට මිනිසාගේ කඳුළු හෙලන ආවේගශීලී අවස්ථා පවා තවත් කෙනෙකුගේ හැඟීම් දනවන ආකාරයට ඉදිරිපත් කළ හැකි බව මොනවට පැහැදිලිවේ. .
බෞද්ධ දර්ශනයේ දුක්ඛ දෝමනස්සයන්ට හේතුවන ප්‍රධාන කරුණු වශයෙන් ප්‍රිය විප්පයෝගය සහ අප්‍රිය සම්ප්‍රයෝගය ගැන විස්තර කර තිබේ. මෙහිදී කඳුළු හෝ කඳුළු හෙලීම ගැන සඳහන් කර නොමැති වුවත්, එවැනි ආවේගශීලී අවස්ථාවලදී සිත සන්සුන් කර ගැනීම සඳහා මෛත්‍රී, කරුණා, මුදිතා සහ උපේක්ෂා වැනි චිත්ත ශක්ති වල වැදගත්කම පෙන්වා දී තිබේ. මෙහිදී සිදු වනුයේද චිත්තාවේගයක් පැමිණිවිට ඒ ගැන කම්පා නොවී, “මම සුවපත් වෙම් වා! දුකෙන් මිදෙම්වා !” වැනි ආකාරයකට ධනාත්මකව සිතීමේදී, හැඬීම හෝ කඳුළු සැලීම පාලනය කරගත හැකි වීමයි. මෙසේ කිරීමේදී ආවේගය මගහැර ගැනීමේ හෝර්මෝන හෝ වෙනත් සංකීර්ණ රසායනද්‍රව්‍ය මගින් සිදුවන උත්තේජන නිසා එම ස්වභාවය තුනී වී යයි.
යුදෙව් භක්තිකයින්ගේ හිතෝපදේශයක මෙසේ සඳහන් වේ. ‘ළදරුවෙකු සෝදා පිරිසිදු කිරීම සඳහා සබන් භාවිත කරන ආකාරයට, යමෙකුගේ ආත්මය පිරිසිදුකර ගැනීම සඳහා කඳුළු ගැලීම ප්‍රයෝජනයට ගත හැකිය’. කඳුළු මගින් අධ්‍යාත්මික සුවයක් ලබා ගැනීමට හැකිවෙනු ඇති බවට විශ්වාසයක් සමහර ජන කොටස් වල ඇති බවක්ද මෙයින් පැහැදිලිවේ.
කඳුළු ගැන මේ සියල්ලටම වඩා වෙනස් මානයක ගැනෙන සංකල්පයකි “කිඹුල් කඳුළු’’. බොහෝ මිනිස් කොට්ඨාශ වල, අතීතයේ සිට පැවත එන මෙම යෙදුම මගින් අදහස් වන්නේ, සත්‍ය වශයෙන්ම නොපවතින ශෝකයක් පවතින බවක් මවා පෙන්වීමයි. එහෙත් එය එසේ නොවන සංසිද්ධියක් බව නිරීක්ෂණය කර තිබේ. චලතාපී (cold blooded) පෘෂ්ඨවංශීන් වන කිඹුලන්ගේද කඳුළු නිපදවෙන්නේ අශ්‍රැ ග්‍රන්ථි මගින්ය. මෙහිදීද කඳුළු මගින් ඇස පිරිසිදු කිරීම, නිමීලන පටලය ඇස මතින් ගමන් කිරීම පහසු කරවීම සඳහා ඇස ස්නේහනය කරවීම, හා ඇසෙහි බැක්ටීරියා වර්ධනය වලක්වාලීම සිදු කරයි. කිඹුලන් දිගු වේලාවක් ගොඩබිම සිටින විට ඔවුන්ගේ ඇස් වියලීමට ලක්වීමේ ප්‍රතිඵලයක් ලෙස කඳුළු වැගිරේ. එසේම මෙම සතුන් ගොඩබිම සිට ගොදුරු ආහාරයට ගන්නා අවස්ථාවල තදින් හැපීම නිසාද අශ්‍රැ ග්‍රන්ථි උත්තේජනය වී කඳුළු හටගනී. මේ ආකාරයට ‘කිඹුල් කඳුළු’ දැකගත හැකි නිසා, ‘කිඹුලන් තමන්ට ගොදුරු වූ සත්වයා පිලිබඳ ශෝකයෙන්’ කඳුළු සලන්නේ යයි යන පදනම මත මෙම පැරණි කියමන ගොඩනැගී ඇතැයි සිතිය හැකිය. .
කඳුළු ගැන ගුප්ත අර්ථ නිරූපණයක්
ලෝකප්‍රසිද්ධ ඉතාලි චිත්‍ර ශිල්පියෙකු වූ Giovanni Bragolin (1911–1981) විසින්, Bruno Amarillo නම් අන්වර්ථ නාමයකින් අඳින ලද “හඬන ළමයා” (Crying Boy) නමැති ඇස් වලින් කඳුළු කඩා හැලෙන පිරිමි දරුවෙකුගේ, උඩුකය දක්වන ඉතාමත් ජනප්‍රිය ආලේඛ්‍ය චිත්‍රය අනුසාරයෙන් ලබාගත් මුද්‍රිත පිටපත් රාමු කර සෑදු පින්තුර, 1950 වර්ෂයේ සිට ලොව පුරා ශීඝ්‍රයෙන් පැතිරී ගියේය. මෙම පින්තුර අලෙවියෙන් විශාල වශයෙන් ලාභ ලැබූ ව්‍යාපාරිකයෝද සිටියහ.
1985 සැප්තැම්බර් මාසයේදී එංගලන්තයේ, එසෙක්ස් ප්‍රාන්තයේ පුවත් පතක පළවූ, ගිනි නිවන හමුදා භටයෙකු විසින් කරන ලද ප්‍රකාශයක් නිසා රටෙහි මහත් ආන්දෝලනයක් ඇතිවිය. ඔහුගේ ප්‍රකාශය අනුව, ඊට දින කිහිපයකට පෙර, ගින්නක් හටගෙන සම්පූර්ණයෙන් දැවී ගිය නිවසක, ඉහත සඳහන් කළ “හඬන ළමයා” පින්තුරය කිසිදු හානියක් නොමැතිව තිබෙන බව දැක ගන්නට ලැබී ඇත. මොහු ගිනි නිවීම සඳහා පළපුරුදු භටයෙකු වූ අතර ඔහුගේ ප්‍රකාශය සත්‍ය විස්තරයක් බවද සාක්කි සහිතව ඔප්පුවිය. මේ ආකාරට දැවී අළුවී ගිය වෙනත් නිවාස වලද මෙම පින්තුරය නිරුපද්‍රිතව තිබී ඇතිබවට ද, බොහෝ ආරංචි ලැබෙන බවද පුවත් පත වැඩිදුරටත් වාර්තා කළේ ය.
මේ ආකාරයට මාසයක් පමණ ගතවන විට, මෙම “හඬන ළමයා” පින්තුරය ශාපලත් (cursed) එකක් බවත්, එය තබාගන්නා ඕනෑම නිවසක් දා අළුවී යාහැකි බවටත් මතයක් රට පුරා ලැව් ගින්නක් සේ පැතිර ගියේය.
මේ ප්‍රවෘත්තිය නිසා මහත් භීතියට පත්වූ, එම පින්තුරය නිවෙස් වල එල්ලා ගෙන සිටි නිවෙස් හිමියෝ, ඒවා විනාශකිරීම සඳහා යම්කිසි පියවරක් ගන්නා ලෙස ප්‍රවෘත්ති පත්‍ර සමාගමෙන් ඉල්ලා සිටියහ. ඒ සමගම දා අළුවී ගිය නිවාස රාශියක, මෙම පින්තුරය යහතින් තිබුණු බව සියැසින් දැක තිබෙන බව, ප්‍රාන්තයේ ගිනි නිවන හමුදා ඛණ්ඩයේ ප්‍රධානියාද, ස්ථිර වශයෙන්ම ප්‍රකාශ කළේය. මේ අනුව මහජනතාව විසින් තම පදිංචි ප්‍රදේශයන්හි නිවාස වලින් සොයාගෙන එවනු ලබන යථෝක්ත “හඬන ළමයා” පින්තුර දහස් ගණනින් ගොඩගසා ගිනිබත් කිරීමේ වැඩ සටහනක්ද පුවත් පත මගින් ආරම්භ කරන ලදී.
“බිය නිසා ඇතිවන කඳුළු….ශාපලත් බවට, ගිනි නිවන භටයින් විසින් සනාථ කරනලද ආලේඛ්‍ය පින්තුරය” (‘Tears for fears… the portrait that firemen claim is cursed’) යන පාඨයද සහිතව මෙම පිංතුරය නිරතුරුවම පුවත් පතෙහිද පළ විය.
ප්‍රාන්ත වැසියන් මහත් භීතියට පත්කළ මෙම සිද්ධිය ඔස්සේ තොරතුරු සෙවීමෙහි නිරත වූ ප්‍රදේශයේ ගොඩනැගිලි පර්යේෂණ ආයතනය, එසේ බිය වීමට කිසිම සාධාරණ හේතුවක් නොමැති බව ප්‍රකාශයට පත් කරනු ලැබුවත්, ජනතාවගේ බිය හා සැකය ඒ ලෙසටම පැවතුණි. මුලදී “හඬන ළමයා” පින්තූර අළෙවිය දහස් ගණනින් සිදුවූවද, පසුව එය සම්පූර්ණයෙන්ම නතර විය. මිනිස් සිත්වල ඇතිවූ ‘ශාපය පිලිබඳ’ බිය මුසු සැකය, ඒ ආකාරයටම තව බොහෝ කලක් පවතිනු ඇත. මීට ටික කලකට පසු, යම්කිසි පර්යේෂකයෙකු විසින් ආලේඛ්‍ය පින්තුරයේ සිටින සත්‍ය දරුවාගේ වගතුග සොයා ගැනීමෙන් පසුව, ඔහු නිසාම චිත්‍ර ශිල්පියාගේ චිත්‍රාගාරය ඇතුළු තවත් නිවාස කිහිපයක්ම දා අළුවී ගොස් ඇති බවටද සාක්ෂි ලබාගෙන තිබේ. මෙවැනි සිදුවීම් ‘අදිසි බලවේග’ නිසා සිදුවන බව බොහෝ අය විශ්වාස කරනු ලැබුවත්, ඒවා අහම්බයෙන්ම සිදු විය හැකි සිද්ධීන් බව සිතනු විනා, වෙනත් සාධාරණ හේතු සෙවීම උගහටය.
හැඬීම සහ කඳුළු - නව චින්තනය
ඇමෙරිකා එක්සත් ජනපදයේ විස්කොන්සින් විශ්ව විද්‍යාලයයේ ජෛව රසායන විද්‍යාව පිලිබඳ මහාචාර්යවරෙයෙකුව සිටි, Perry A. Frey විසින් මෑතදී කරන ලද පර්යේෂණ මාලාවකින් ලබාගෙන ඇති දත්ත මගින් හැඬීම සහ කඳුළු පිලිබඳ තොරතුරු රාශියක් හෙළිදරව් කරගෙන තිබේ. ඔහුගේ පර්යේෂණය සඳහා මිනිසුන් (කාන්තාවන්ද ඇතුළුව) දහසකට ආසන්න සංඛ්‍යාවක් යොදා ගෙන තිබේ. මොවුන්ගේ හැඬීම් ආශ්‍රීතව, කඳුළු ගැලීම් බහුතරයක් සිදුවනුයේ දුක්ඛ දෝමනස්ස චිත්ත වේග නිසා බව හඳුනාගෙන ඇත. ඒ සමගම චිත්ත වේගීය හැඬීම් පහකට එකක් සතුටු කඳුළු බවද නිරීක්ෂණය කර තිබේ. එමෙන්ම දහයකට එක් අවස්ථාවක් සඳහා කේන්තිය හෝ ක්‍රෝධය මූලික වන බවද, ආවේග පසළොසකට එකක් අනුකම්පාව නිසාත් විස්සකට එකක් කාංසාව (anxiety) නිසාත්, තිහකට එකක් භය නිසාත් සිදුවන බවද හෙළිවී තිබේ. මෙම පර්යේෂණයේදී හෙළිවී ඇති තවත් වැදගත් කරුණක් වනුයේ, සහභාගිවූ කාන්තාවන් 85% ක් සහ පිරිමින් 73% ක් හැඬීම නිසා, තමන් තුළ පැවතී චිත්තවේගී ස්වභාවය පහව ගිය බව ප්‍රකාශ කර තිබීමයි.
ඇස් වල යහපත් ක්‍රියාකාරිත්වය සහ සෞඛ්‍ය තත්ත්වය පවත්වා ගැනීමට කඳුළු අත්‍යාවශ්‍ය සාධකයකි. සාමාන්‍ය කඳුළු සහ ප්‍රතීක කඳුළු මේ සඳහා ක්ෂණික ප්‍රතිචාර දක්වයි. මිනිසාගේ චින්තන ධාරාවේ ධන සහ සෘණාත්මක ආවේග නිසා ඇතිවන කම්පන වලට ගැලපෙන ආකාරයට හැඬීම සහ බද්ධව, අවශ්‍යතා අනුව ගැලපෙන හෝර්මෝන සහ රසායනද්‍රව්‍ය ඇතුළත් කඳුළු සැපයීම සහ පසුව එම ආවේග සමනය කිරිම සඳහා අවශ්‍ය ප්‍රතිවිරුද්ධ කඳුළු සැපයීමද අශ්‍රැ ග්‍රන්ථි වලින් සිදුවන වැදගත්ම මෙහෙවර ලෙස සැලකිය හැකිය.
(තොරතුරු පොතපත සහ අන්තර්ජාලය ඇසුරෙනි)
දයාරත්න වීරසේකර