Wednesday, 23 March 2022

මුහුදු අශ්වයා ('Sea Horse') මහත් අද්භූත සතෙකි.

  මුහුදු අශ්වයා පිළිබඳව මෑතකදී සඟරාවක පළවී තිබුණු ලිපියක සංක්ෂිප්ත සටහනක් මෙසේය:

“මුහුදු අශ්වයා මත්ස්‍යයෙකි. මේ නිසා ඌට  චලනය සඳහා යොදා ගත හැකි පාද නොමැත. මුහුදු ජලයේ පිහිනීම පිණිස වරල්  භාවිත කරයි. එහෙත් මත්ස්‍යයින්ට මෙන් වාලධි වරලක්  නොමැත. 

ස්වසනය කරමල් මගිනි. 

කටුස්සෙකුට මෙන් එලියට නෙරා ඇති උගේ ඇස් දෙපසට කරකැවිය හැකි අතර, ශරීර පැහැයද විටින් විට වෙනස් කරගත හැකිය.  

යමක් වෙලාගෙන අල්ලා ගතහැකි වඳුරෙකුගේ ආකාරයේ වලිගයක් තිබේ. 

මොවුන්ගේ පැටවුන් බිහි කරන්නේ පිරිමියාය.  එම පැටවුන් පරිණත වනතුරු  පිරිමි සතාගේ  උදරයට පිටින් ඇති කැන්ගරු මවකට තිබෙන  ආකාරයේ පැසක් තුළ ජීවත් වෙති. පිරිමි මුහුදු අශ්වයා වරකට පැටවුන් දහසකට වඩා බිහි කරයි.” 

‘ගොඩබිම’ අශ්වයා සහ මුහුදු අශ්වයා 

මුලින්ම ‘ගොඩබිම’ අශ්වයෙකු සියැසින් දකිනවිට,  මට වයස අවුරුදු දහයක් පමණ වන්නට ඇත. එයද අහම්බෙන් ලැබුණු  සුවිශේෂී අවස්ථාවකි. එවකට හයවන ශ්‍රේණියේ අධ්‍යාපනය ලැබූ අපට, 1952 වර්ෂයේදී, කොළඹ තුරඟ තරඟ පිටියේ  පවත්වන ලද ‘කොළඹ ක්‍රමය, ජාත්‍යන්තර ප්‍රදර්ශනය’ (Colombo Plan, International Exhibition) නැරඹීම සඳහා,  පාසැල් චාරිකාවකට සහභාගී වීමට හැකිවිය. ප්‍රදර්ශන  භුමියේ අශ්වාරෝහක පොලිස් භටයෝ මුරකාවලෙහි සිටියහ. එය මා අශ්වයින්  දුටු පළමු අවස්ථාවයි.  එදිනම සවස අප ගෝල්ෆේස් පිටියට කැඳවා ගෙන  ගිය විට, පළමු වරට මුහුදද දැකගන්නට ලැබිණ. ඒ වන විට මා මුහුදු අශ්වයින්  ගැන අසා තිබුණේවත් නැත. අශ්වයෙකු මෙන් උස මහත ඇති “අද්භූත මුහුදු අශ්වයෙකු” මාගේ සිතෙහි මැවී තිබිණ. 

මීට ටික කලකට පසු පත්‍රයක පළකර තිබුණු  ‘කුඩා කරදිය ජල ටැංකියක මුහුදු අශ්වයින් ඇතිකිරීම’ පිළිබඳව ලිපියක කියවන්නට ලැබුණු, ප්‍රවෘත්තිය නිසා, එදා  මා දුටු හැඩිදැඩි ‘ගොඩබිම අශ්වයා’ මෙන් විය හැකියයි මා සිතින් මවා ගෙන සිටි  මුහුදු අශ්වයෙකු කුඩා ජල ටැංකියක ඇතිකරන්නේ කෙසේද යන්න ගැන,  සිතෙහි මහත් කුතුහලයක් මෙන්ම කැළඹීමක්ද  ඇතිවිය.  පසු කාලයේදී සත්‍ය මුහුදු අශ්වයින් ගැන පොතපතින් කියවා, තරමක අවබෝධයක් ලබාගතහැකි වූවත්  පසුගිය දිනක, මුහුදු අශ්වයින් ගැන ඉහත දැක්වූ  තොරතුරු කියවීමෙන් පසු ඒ පිලිබඳ  තවදුරටත් අධ්‍යයනයක් කිරීම මැනැවැයි  හැඟී ගියේය. මුහුදු අශ්වයාගේ මෙම ආශ්චර්යමත්  පැවැත්ම ගැන අසා මම මහත් විමතියට පත්වීමි. මට එක්  වරටම ඈත අතීතයේ දිනක පළමු වරට අශ්වයෙකු දැකීමත් එදිනම මුහුද දැකගන්නට ලැබීමත් පිලිබඳ සිද්ධි දාමය යළි  මැවී පෙනුනි. අශ්වයෙකුගේ හැඩරුව ඇති, සංසන්දනාත්මකව ගොඩබිම අශ්වයෙකුට වඩා අතිශයින්ම  කුඩා, ‘විකාරරූපී ජලජ ජීවියකු’ වන  මුහුදු අශ්වයා පිලිබඳ සොයාගැනීමට ලැබුණු තොරතුරු ස්වල්පයක් මෙසේ සටහන් කර තබන්නෙමි.

Hippocampus නම් ගණ නාමයෙන් හැඳින්වෙන මුහුදු අශ්වයා ඇන්ටාක්ටිකාව අවට දක්ෂිණ  සාගරයේ හැර ලොව අනෙකුත් සෑම සාගර සහ මුහුදු වල වෙරළාසන්න ප්‍රදේශවල ජීවත්වන සුලභ ජීවියෙකි.  දැනට මොවුන්ගේ විශේෂ 46 ක් හඳුනාගෙන තිබෙන අතර, ප්‍රමාණයෙන් කුඩාම මුහුදු අශ්ව විශේෂය,  මෑ  ඇටයක් තරම් වන අතර 15cm  ක් පමණ දිගින් යුත්,  විශාලතම මුහුදු අශ්ව විශේෂයක්ද හඳුනාගෙන තිබේ.  ලතින් භාෂාවෙන් Hippo යනු අශ්වයායි. Campus යනු ‘මුහුදු රකුසා’ යන අර්ථයයි. මේ නිසා මුහුදු අශ්වයාගේ හැඩරුව නිසාම ඌ  ‘අශ්වයෙක් වැනි මුහුදු රකුසා’ ලෙස දැක්විය හැකිය.  පෘතුගාලය අවට මුහුදේ මුහුදු අශ්ව විශේෂ රාශියක් හමුවී ඇති අතර, මෑතක සිට ඔවුන් වඳවී යාමේ තර්ජනයට ගොදුරු වී ඇති නිසා දැනට සංරක්ෂණ කටයුතු ආරම්භ කර තිබේ. 

මුලින්ම මෙම අද්භූත සත්ත්වයාගේ චර්යාව සහ බාහිර ලක්ෂණ ගැන සොයා බලමු.               මුහුදු අශ්වයා මත්ස්‍යයෙකු වුවද ජලයෙහි පිහිනන්නේ ජල පෘෂ්ඨයට සමාන්තරව නොව තරමක් සිරස්ව හිස ඉහලට සිටින ආකාරයටය. පිහිනීමේදී  හිස ඉදිරියට සහ පිටුපසට චලනය වේ. මෙම චලනය ගොඩබිම  අශ්වයෙකු ඇවිදින විට  දකින්නට ලැබෙන ගමනට අනුරූප වේ. හිසේ හැඩයත් මෙම චලනයත් නිසාම මොවුනට ‘මුහුදු අශ්වයා’ යන අන්වර්ථ නාමය පට බැඳෙන්නට ඇත.  

මුහුදු අශ්වයා ජීව විද්‍යාත්මකව මත්ස්‍ය (Pisces) ගෝත්‍රයට අයත් වන අතර පරිණාමයේදී ලබා ඇති සුවිශේෂී අනුවර්තන රාශියක් නිසා ‘විකාර රූපී’ නැතහොත් ‘මුහුදු රකුසෙකුගේ’ විලාසයක් ගෙන තිබේ. මෙම අනුවර්තන බොහෝදුරට සත්ත්ව ලෝකයේ වෙනත් සමහර සතුන් ලබා  ඇති අනුවර්තන වලට බොහෝ දුරට සමීප,  එකතුවක් ලෙසද සැලකිය හැකිය.

සාමාන්‍යයෙන් මත්ස්‍යයින්ගේ ශරීරය කොරපොතු වලින් වැසී ඇතත්, මොවුන්ගේ ශරීරය ඒ වෙනුවට අස්ථිමය කබොලු වලින් වැසී ඇත. හිස සහ දිගටි ‘හොම්බ’ කිසිසේත් මත්ස්‍ය හිසට සමාන නොවේ. නෙරා තිබෙන, කරකැවීමට හැකි විශාල ඇස්,  කටුස්සෙකුගේ ඇස්  මෙනි. එමෙන්ම කටුස්සෙකුට මෙන් වටපිටාව  අනුව ශරීර වර්ණයද වෙනස් කළ හැකිය. මෙය වේශාන්තරණයයි (camouflage). සාමාන්‍ය මත්ස්‍යයින්ට මෙන් වාලධි (වල්ගා) වරලක් නොමැතිය.ශරීරය සිරස්ව තබා ගනිමින් පිහිණනුයේ, පෘෂ්ඨීය සහ අධෝ වරල්  උපයෝගී කර ගනිමින්ය. ශරීරය සිරස්ව තබාගැනීම නිසා මොවුන්ට වේගයෙන් පිහිණීමට නොහැකිය. ධාරක ශාකයක්  තදින් වෙලා අල්ලා ගැනීමට (වඳුරෙකු මෙන්) ශක්තිමත් වලිගය භාවිත කෙරේ. මෙම මත්ස්‍යයාට උදරයක් නොමැති නිසා මුඛයෙන් උරාගන්නා, ක්‍ෂුද්‍ර ජලජ ජීවීන් වැනි ආහාර, ජීර්ණ වී අපද්‍රව්‍ය නිරතුරුවම ශරීරයෙන් පිටවේ. පිරිමි සතුන්ගේ උදරය මත නෙරා සිටින,  කැන්ගරුවෙකුගේ වැනි විශේෂ පැස (pouch) තුළ කළල වැඩී  මෝරා පැටවුන් හට ගනී. පැස තුළ වැඩෙන පැටවුන් බිහි කරනුයේ පිරිමි මුහුදු අශ්වයාය. වරකට පැටවුන් දහස් ගණනක් බිහිවේ. මත්ස්‍යයෙකුගේ, අශ්වයෙකුගේ, කටුස්සෙකුගේ, වඳුරෙකුගේ සහ කැන්ගරුවෙකුගේ ජෛව විද්‍යාත්මක අනුවර්තන වලට අනුරූප ලක්ෂණ සහිත මෙම කුඩා ජීවියා සත්ත්ව ලෝකයේ විකාර රූපියෙක්ම (freak) නොවන්නේද? මේ සියල්ලටම වඩා සුවිශේෂී ආශ්චර්යය ලෙස සැලකිය හැක්කේ පිරිමි මුහුදු අශ්වයා පැටවුන් බිහි කිරීමයි.  

 ජෛව විවිධත්ව සංරක්ෂණයේදී මුහුදු අශ්වයා වැදගත් වන්නේ ඇයි ?   

මුහුදු අශ්වයා ලොව පුරා ඝර්ම කලාපීය සහ සෞම්‍ය කලාපීය නොගැඹුරු සාගර සහ මුහුදුවල වෙරළාසන්න ප්‍රදේශවල,  ඇති කොරල් පර, කඩොලාන, ඇල්ගී, මුහුදු තෘණ වැනි ශාක ආදී ධාරක ආශ්‍රීතව ජීවත්වන සත්ත්ව කොට්ඨාශයකි. මොවුන් කුඩා කරදිය මත්ස්‍යයන් වුවද මත්ස්‍ය ගති ලක්ෂණ අඩුවෙන්ම පෙන්නුම් කරන ජීවීන් නිසාත්,  ඔවුන්ගේ චමත්කාරජනක චර්යා රටා නිසාත්  අනාදිමත් කාලයකම සිට මිනිසාගේ සැලකිල්ලට භාජන වී තිබේ. මත්ස්‍ය ලක්ෂණ වශයෙන් මොවුනට ඇත්තේ කරමල මගින් ස්වසනය කිරීම, ජලයේ ඉල්පී සිටීම සඳහා වායු ආශයක් තිබීම සහ පෘෂ්ඨීය වරල් මගින් පිහිනීම වැනි අනුවර්තන පමණකි. මත්ස්‍යයින් අතර සිටින අතිශයින් දුර්වල පිහිනන්නන් වීමද මුහුදු අශ්වයින්ට බලවත් පාඩුවකි. මත්ස්‍යයින්ගේ මෙන් ශරීරය වසා ඇති කොරපොතු වෙනුවට අස්ථිමය දැඩි කබොලක් ඇති  නිසාත්, වේශාන්තරණ හැකියාව නිසාත්  මොවුන් බොහෝ විලොපියයන්ගෙන් ආරක්ෂා වෙති.

මොවුනට වෙනත් සතුන්ට මෙන් ටික වේලාවක් ආහාර ගබඩාකර තබාගතහැකි ආමාශයක් නොමැත. ඒ වෙනුවට තිබෙන්නේ,  ඉතාමත්  සරල ආකාරයේ ආහාර මාර්ගයක් නිසා නිරතුරුවම ආහාර ගැනීම අවශ්‍යය. ආහාර වලින් පෝෂක උරාගත් විගසම අපද්‍රව්‍ය ශරීරයෙන් බැහැර කෙරේ. උගේ ‘හොම්බ’ අග්‍රයේ පිහිටි මුඛ විවරය හරහා කුඩා මත්ස්‍ය බිත්තර, ප්ලැන්ක්ටන් (planktons) හෝ වෙනත් ජලජ ක්ෂුද්‍ර ජීවීන් උරා ගැනීම, ආහාර ගන්නා විශේෂ යාන්ත්‍රණයයි. 

කෙසේ වෙතත්, මුහුදු අශ්වයෝ ඔවුන් වෙසෙන පරිසර පද්ධතියේම ජීවත්වන කකුළුවන්, ආඳා වැනි සතුන්ට සහ කොරල් පර ආශ්‍රීතව සිටින  විශාල මසුන්ටද බෙහෙවින් ගොදුරු වෙති. එසේම අධික වශයෙන් බිහිවන පැටව් වෙනත් මසුන්ගේද ගොදුරු බවට පත් වෙති. මුහුදු අශ්වයින්ගේ අපූර්ව භෝජන විලාසය සහ ඔවුන්ගේ විලෝපියයන්ගේ භෝජන රටාව නිසාත්  මොවුන් වෙරළාසන්න පරිසර පද්ධතියේ ආහාර දාම වල වැදගත් පුරුකක් මෙන්ම ජෛව  සමතුලිතතාව රැකෙන ප්‍රධාන සාධකයක් ලෙසද  ගිණිය හැකිය. 

වෙරළාසන්න නොගැඹුරු මුහුදේ ජලජ ශාක, සහ කොරල්පර ආශ්‍රීතව ජීවත්වන, මුහුදු අශ්වයෝ වරින් වර  ශරීරයේ විවිධ වර්ණ රටා ප්‍රදර්ශනය කරති. සමහර අවස්ථාවලදී, ඔවුන්ගේ ශරීර විනිවිද පෙනෙන ආකාරයට  පත්කර ගනිමින්  සැඟවී යන අවස්ථාද එමටය. මේ නිසාම  මුහුදු අශ්වයෝ  පරිසරයට  මහත් චමත්කාරජනක ස්වභාවයක් එකතු  කරති. බොහෝවිට මෙම සුවිශේෂී දසුන් නිසා ජෛව සංචාරක ආකර්ශනයද වැඩිවේ.  

අද්භූත චර්යා රටාවක් සහිත බොහෝ සතුනට, මිනිසාගෙන් සිදුවන ආපදා මුහුදු අශ්වයන්ටද එසේමය. මුහුදු වෙරළාසන්න පරිසර පද්ධති අලංකාර කරන මුහුදු අශ්වයින් විනාශවී වඳ වී යාමේ තර්ජනයට ගොදුරු වෙමින් පවතින බවට පරිසර වේදීන්ගේ මැසිවිලි නැගෙමින් පවතී. මෙයට ප්‍රධාන හේතු කිහිපයක් ඉදිරිපත් කර තිබේ. ඈත අතීතයේ සිටම වියලන ලද මුහුදු අශ්වයින් චීන සම්ප්‍රදායික වෛද්‍යකර්ම වලදී භාවිත වන ඖෂධයකි. මේ සඳහා වසරකට සතුන්  මිලියන 500 ක් පමණ ස්වාභාවික පරිසර වලින් ඉවත් කෙරේ. බ්‍රසීලයේ පැරණි ගෝත්‍රික ජනතාවක් විසින් වේලාගත් මුහුදු අශ්ව කුඩු,  ඇදුම, කැස්ස වැනි ආබාධ සඳහාත් වාජීකරණ   ඖෂධයක් ලෙසත්  භාවිත කර තිබේ. අරුමෝසම් භාණ්ඩ නිෂ්පාදනය සහ කෞතුක ද්‍රව්‍ය රැස්කරන්නන්  සඳහා වසරකට මුහුදු අශ්වයින් තවත් මිලියනයක් පමණද,  සිහිවටන සකස් කිරීමේ කර්මාන්තය සඳහා තවත් මිලියනයක් පමණද  විනාශ  වේ. දැනට හඳුනාගෙන ඇති බලවත්ම උවදුරක් වනුයේ ‘සුරතල් සතුන්’ ඇතිකිරීමේ ව්‍යාපාර සඳහා ජීවී මුහුදු අශ්වයින් විශාල වශයෙන් ස්වාභාවික  පරිසර පද්ධති වලින් ඉවත්  කර ගැනීමයි. මෙයද මිලියන සිය ගණනක ව්‍යාපාරයකි. බාහිර තර්ජන නොමැතිව හුරු පුරුදු පරිසරයේ ජීවත්වන මුහුදු අශ්වයෙකුට වසර 3 සිට 5 දක්වා ආයු කාලයක් තිබේ. 

                                                                                                                            

එහෙත් ඉහත දැක්වූ ආපදා නිසා නිසා දැනට, සති හයකට වඩා ජීවත් වන  මුහුදු අශ්වයින් දහසක්වත් ස්වාභාවික පරිසරවල නොමැති බව අනුමාන කර තිබේ. මෙසේ වනුයේ එම සතුන්ගේ ජීවන චක්‍රය පවත්වා ගනිමින් වර්ගයා බෝ කිරීම සඳහා ඇති ඉඩකඩ මිනිසාගේ අදූරදර්ශී විනාශකාරී වැඩ කටයුතු නිසා අහිමි වී යාමයි. මෙම තත්ත්වය පිටුදැකීම පිණිස,   ජාත්‍යන්තර සොබාදහම සංරක්ෂණ සංගමය (IUCN) මගින්, රතු දත්ත පොතෙහි සඳහන් කර,   වඳවීයාමේ තර්ජනයට ගොදුරුවී ඇති ජීවීන් රැකගැනීමේ ජාත්‍යන්තර ප්‍රඥප්තියට අනුව, මුහුදු අශ්වයින් රැකගැනීමේ වැඩ සටහනක් මේ වනවිට ක්‍රියාත්මක කර ඇති බව නිවේදනය කර තිබේ.  

පිරිමි මුහුදු අශ්වයා ‘ගැබ් ගැනීම’ සහ ‘දරු ප්‍රසූතිය’ ආශ්චර්යයකි.

මුහුදු ශාක බහුලව ඇති වෙරළාසන්න නොගැඹුරු මුහුදේ මුහුදු අශ්ව රංචු වශයෙන් සිටිති.  මොවුන් අභිජනන කාලයේදී බොහෝ විට සිටිනුයේ යුගල වශයෙනි. මෙම  ගැහැණු / පිරිමි යුගල එකිනෙකා සමග මහත් ළබැඳියාවකින් යුක්තව ජීවත් වන බව හෙළිවී තිබේ. ගොඩබිම අශ්වයාගේ ගැහැණු සත්ත්වයා වෙළඹ වශයෙන් හැඳින්වූවත් මුහුදු 'වෙළඹ' යන යෙදුමක් භාවිතයේ නොමැත. මුහුදු අශ්වයින්ද සමහර වෙනත් සතුන් මෙන්, තම සම්පූර්ණ ජීවිත කාලයම එකම සහකරුවෙකු හෝ සහකාරියක සමග ජීවත්වන බව නිරීක්ෂණය කර තිබේ. මේ නිසා ඔවුන්ට ප්‍රජනන චක්‍රයේදී වැඩි වාර ගණනක් ප්‍රජනන ක්‍රියාවලියේ යෙදී පැටවුන් අධිකතර  සංඛ්‍යාවක් බිහිකිරීමේ අවස්ථාව ලැබේ.

(https://www.youtube.com/watch?v=b_nEA3dtOZs  පිරිමි මුහුදු අශ්වයා පැටවුන් ප්‍රසූත කිරීම මෙම සබැඳිය (Link) ඔස්සේ බලන්න)  


මෙම සතුන් යුගල වශයෙන් දක්වන චර්යා රටාවන්ද ඉතාමත් චමත්කාර ජනකය. දිගු වල්ගය මගින් නිරතුරුවම එකට වෙලී සිටින මුහුදු අශ්ව යුවලක්, එකිනෙකා උද්දීපනය වන ආකාරයේ පෙළඹවීම් සහිත,  සිප වැළඳ ගැනීම් වැනි ක්‍රියාකාරකම් වලින් සමන්විත  ඉතාමත්  අලංකාර ආලිංගන දසුන් දක්වති. සෑම උදෑසනකම සිරිත් පරිදි එකිනෙකා වෙලාගන්නා මුහුදු අශ්ව යුවළ ආචාර සමාචාර කිරීම වැනි නැටුම් විලාසයකින් දිනය ආරම්භ කරති. මෙසේ ආරම්භ කරන දඟර නැටුම් සහ එකිනෙකා වටා කැරකීම වැනි සංකීර්ණ රැඟුම් විලාස පුරා පැයක හෝ  ඊට මඳක් වැඩි වෙලාවක් තුළ දකින්නට ලැබේ. තම ජීවිත සහකරුවා හෝ සහකාරිය සමග නිත්‍ය බැඳීමක් ඇතිකර තබාගැනීම පිණිස ඔවුන් දක්වන මේ ලබැඳියාව,  එයට අනුරූප මිනිස් චර්යා වලටත් වඩා සංකීර්ණ බව නිරීක්ෂණය කර තිබේ. මෙවැනි සුවිශේෂී ලෙන්ගතු හැසිරීම්  නිසාද ඔවුන් මිනිසාගේ ඉමහත් ආකර්ෂණයට ලක්වී සිටිති.        

මුහුදු අශ්ව ‘කාන්තාවට’ තම ගැබ්  ගැනීම හෝ දරු ප්‍රසූතිය පිලිබඳ කලබල වීමක්  අවශ්‍ය නොවේ. මෙම සතුන් අයත්වන සත්ත්ව ගණයේ විශේෂිත ලක්ෂණයක් වනුයේ ගැබ් ගැනීමේ ක්‍රියාවලියේ දුෂ්කරම කාල සීමාව, තම  පිරිමි සතුන් හට පවරා තිබීමයි. මොවුන්ගේ අභිජනන ක්‍රියාවලි චක්‍රයේ,  සංකීර්ණ නැටුම් සහ ආලිංගන දාමයට පසුව, ගැහැණු සතාගේ ඩිම්බ කෝෂවල පරිණත වන ඩිම්බ සමූහය, ආලිංගනයේ යෙදුනු පිරිමි සතාගේ පැටවුන්  දැරීමේ පැස (brooding pouch) නමැති උදරය මත නෙරා සිටින මල්ලෙහි   ඇති ‘තාවකාලික  ඩිම්බ ප්‍රනාලය’ තුළට මාරු කරනු ලැබේ. පැටවුනට පෝෂණය සහ ඔක්සිජන් ලැබෙනුයේ තාවකාලික  ඩිම්බ ප්‍රනාලය මගින්ය. මින්පසු පැසෙහි විවරය වසා ගන්නා පිරිමියා, නිදහසේ නිශ්චල ස්ථානයකට වී, පරිණත ඩිම්බ,  තම ශුක්‍රාණු  මගින් ස්වසංසේචනය කර, ලැබෙන කළල සති කිහිපයක ගැබ් කාලයක්  සඳහා පැසෙහි ඇති ඩිම්බ ප්‍රනාලය තුළ රඳවා ගනී.

මුහුදු අශ්ව ‘පියාගේ’ ගැබ් කාලය අවසන්වී ප්‍රසුතිය ආසන්න වනවිට, ප්‍රබල  ‘ගර්භාෂ සංකෝචනයක්’ සිදුවී ගැබ් පැසෙහි විවරය විවෘත වේ. මීට අනතුරුව සිදුවන පසු සංකෝචන කිහිපයක් මගින්  පැස  තුළ වැඩුණු ලාබාල පැටවුන් දහස් ගණනක් ජලයට මුදා හැරේ. ජලජ  විලෝපියයන්ගේ ග්‍රහණයෙන් මිදී  පරිණත භාවයට පත්වී පැටවුන් බෝ කිරීමට අවස්ථාව ලබනුයේ  මෙම විශාල සංඛ්‍යාවෙන් 0.5% පමණ වන බවද  ගණනය කර  තිබේ.

වෙරළාසන්න ජලජ පරිසරවල ඇති ජෛව විද්‍යාත්මක වටිනාකම මෙන්ම සෞන්දර්යාත්මක අගයද වැඩි කරනු ලබන, කුඩා  මත්ස්‍යයෙකු වන ‘මුහුදු අශ්වයා’ වඳවීයාමේ තර්ජනයට මුහුණ පා සිටිනුයේ මිනිසාගේ සීමාන්තික සූරාකෑමේ මානසිකත්වය නිසාම බව පැහැදිලිය. සෑම කෙනෙකුම සොබා දහමේ සුන්දරත්වය හඳුනා ගන්නේ නම් මෙවැනි ඛේදවාචක සිදු නොවනු ඇති බව පහසුවෙන් තහවුරු කර ගත හැකි වේ.  

(ඡායාරූප මුල් අයිති කරුවන්ට ස්තුති පූර්වකව අන්තර්ජාලයෙනි)


Tuesday, 8 March 2022

දේශගුණ විපර්යාස අර්බුදයේ විපාක ආරම්භ වී තිබේ.

 දේශගුණ විපර්යාස අර්බුදයේ විපාක ආරම්භ වී තිබේ.

එක්සත්  ජාතීන්ගේ සංවිධානයේ මෙහෙය වීමෙන් 2015 වර්ෂයේ පැරිසියේදී පවත්වන ලද මහා මණ්ඩල සැසි වාරයේදී, රටවල් 190 ක පමණ රාජ්‍ය නායකයින්  එකතුවී දේශගුණ විපර්යාස නිසා  ඉදිරි දශක දෙකහමාර  තුළදී  සිදුවිය හැකියයි  පෙරැයීම් කළ, බරපතල පාරිසරික අර්බුද රාශියක් පිළිබඳව සාකච්ඡා කරන ලදී. මේ සම්බන්ධව විවිධ රාජ්‍යයන් විසින් ගතයුතු පියවර සහ අනුගමනය කළයුතු අනුවර්තන සම්බන්ධවද සම්මුති කිහිපයකටම එකඟතාවයද එහිදී ප්‍රකාශ විය. එතැන් සිට වසර කිහිපයක් ගතවන විටම බලාපොරොත්තු නොවූ පරිදි, ලෝක ජනතාවට  කුඩා සහ මහා පරිමාණයේ ව්‍යසන රාශියකටම මුහුණ දෙන්නට සිදුවිය. ඒ සමගව උද්ගතවූ COVID19 වසංගත තත්ත්වය නිසාද, යෝජිත  පරිදි අත්‍යවශ්‍ය පියවර ගැනීමට බාධා ඇතිවිය. දැන් දැන් එම පීඩා දෙගුණ තෙගුණ වන බවක්ද නිරීක්ෂණය වන බව වාර්තා වේ.

පසුගිය පෙබරවාරි 27 වනදා (2022) එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස පිලිබඳ  අන්තර්රාජ්‍ය මණ්ඩලය (United Nations’ Intergovernmental Panel on Climate Change - IPCC) විසින් පවත්වන ලද සැසි වාරයේදී, එහි මහලේකම්වරයා  විසින්, එම වාර්තාවේ සඳහන් පරිදි,  ගෝලීය උණුසුම් වීම නිසා පෘථිවි වාසීන්   මුහුණ දී ඇති අනතුරුදායක තත්ත්වය පිළිබඳව පැහැදිලි කිරීමක් කරන ලදී. 

ඔහු තම දේශනය ආරම්භ කළේ  මෙසේය: 

“මා බොහෝ  විද්‍යාත්මක වාර්තා කියවා තිබේ. එහෙත් මානව සංහතියටම බලපාන මහත් පීඩාකාරී තොරතුරු සිතියම් ගතකර තිබෙන  මෙවැනි වාර්තාවක් මා මෙතෙක් කියවා නොමැත.  එමෙන්ම, මෙය පාරිසරික කටයුතු සම්බන්ධව, රාජ්‍ය නායකත්වය විසින් අනුගමනය කරනු  ලබන අදුරදර්ශී ආකල්ප කෙරෙහි එල්ලවන  චෝදනා පත්‍රයක් ලෙසද සැලකිය හැකිය”  

තවදුරටත් කරුණු දැක්වූ මහලේකම්වරයා මෙසේද  පැවසීය.

“දේශගුණ විපර්යාස මගින් මිනිස් සංහතියට සහ සමස්ත පෘථිවියටම,  ප්‍රබල ප්‍රහාරයක් දියත් කර තිබේ. 

“මේ වන විටද  මිනිස් සංහතියේ හරි අඩකට වඩා, මෙම භයානක සංසිද්ධියේ අවදානම් අවදියකට  එළඹ සිටිති. පෘථිවියේ බොහෝ පරිසර කලාප සහ පරිසර පද්ධති  ‘ආපසු හැරවිය නොහැකි’ තත්වයක දූෂණයට ලක්වී තිබේ.”

“ලෝකයේ අගහිඟකම් නිසා වැඩියෙන්ම  පීඩිතව සිටින  ජනතාව, පාලනයක් විරහිත කාබන් දූෂණය නිසා, අගාධයටම තල්ලු වෙමින් සිටිති. මෙම සාහසික වරද පැටවෙනුයේ දේශපාලන නායකත්වයට බව කිසිසේත් ප්‍රතික්ෂේප කළ  නොහැකිය. පරිසර දූෂණය සිදුකිරීමට වැඩි වශයෙන්ම  දායකත්වයක් සපයන ‘මහ ජාතීන්ගේ’ අත්තනෝමතික ක්‍රියා නිසා, මිනිස් වාසයට සුදුසු එකම ග්‍රහලෝකය වන සමස්ත පෘථිවියම  බලවත් අන්තරායකට පත්වෙමින් තිබේ.”

                         

“පැරිස් සම්මුතියේ දී තීරණය කරගත් පරිදි ගෝලීය උණුසුම් වීම, 1.5°C  මට්ටමේ  තබාගැනීමේ වගකීම අද ලෝක බලවතුන්ට අමතකවී ඇත. විද්‍යාඥයින් විසින් පෙන්වාදී ඇති පරිදි,  2030 වනවිට ගෝලීය කාබන් විමෝචනය 45% කින් අඩුකරගැනීමේ සහ 2050 වන විට කාබන් ශුන්‍ය භාවයට පැමිණීවීමේ උතුම් සිතිවිලි,  අද  සිහිනයක් පමණක් බවට පත්වී තිබේ.  දැනට ගණන් බලා ඇති පරිදි මෙම දශකය අවසන් වන විට කාබන් විමෝචනය අඩුකර ගැනීමට ගිවිස ගෙන ඇතත්, අවාසනාවකට මෙන්  එය  14% කින් වැඩිවන බව ප්‍රකාශිතය. මෙය මහත්ම ව්‍යසනයක් නොවන්නේද?”  

මෙම මහා ව්‍යසනයෙන් ගොඩ ඒම සඳහා ගතයුතු ඉතාම වැදගත් පියවර දෙකක් පිළිබඳව IPCC මහලේකම්වරයා  තම අවධානය යොමු කර සිටී.

ඔහුගේ අවධානය යොමුවන පළමු සාධකය වනුයේ මිනිස් සංහතියේම ‘හුස්ම හිරකර’  තිබෙන  ගල්  අඟුරු සහ වෙනත් ෆොසිල ඉන්ධන භාවිතයයි. මෙහිදී, *G20 අන්තර් රාජ්‍ය සංසදය  දක්වන දෙබිඩි පිළිවෙත ගැන ඔහුගේ බලවත් කනස්සල්ල පළකර තිබේ. මෙම සංසදය ජාත්‍යන්තර මූල්‍ය ස්ථාවරත්වය, දේශගුණික විපර්යාස අවම කිරීම සහ තිරසාර සංවර්ධනය වැනි ගෝලීය ආර්ථිකයට සම්බන්ධ ප්‍රධාන ගැටළු විසඳීමට ඇප කැප වී තිබෙන සංවිධානයකි. ලෝකයේ වෙනත්  රටවල  ගල් අඟුරු ආශ්‍රීත කර්මාන්ත සඳහා උදව් උපකාර කිරීම, මෙම සංසදය මගින්  සම්පූර්ණයෙන් නතර කිරීමට ගිවිස ගෙන සිටී. එහෙත් එම සංසදයේ රටවල් විසින් තමන්ගේ අභ්‍යන්තර ගල් අඟුරු මූලික කර්මාන්ත නතර කිරීම කෙසේ වෙතත්, ඒවා සීමාකිරිමටවත් ගෙන ඇති පියවර කිසිසේත් ප්‍රමාණවත් නොවන බව සඳහන් කළ හැකිය. එමෙන්ම ගෑස් සහ ෆොසිල ඉන්ධන නිපදවන රටවල්ද තම සීමා පිලිබඳ ස්ථිර සැලකිල්ලක්  යොමු කර නොමැත. මේ සම්බන්ධයෙන් දැඩි ස්ථාවරයකින් කරුණු දැක්වූ ලේකම්වරයා,  විසින් එම රටවල්  ප්‍රතිඥා දී ඇති පරිදි ක්‍රියා නොකළහොත්, හරිත ලෝකයක් අපේක්ෂා කරන 2050 වසර වනවිට  බලාපොරොත්තු ඉලක්කය වන කාබන් ශුන්‍ය  භාවයට කිසිසේත් ලඟාවිය නොහැකි බව තරයේ කියා සිටියේය. 

(*G 20 යනු Group 20 ලෙස හැඳින්වෙන, මෙහි දැක්වෙන රටවල් සමූහයයි. - ඒවා නම්  ආර්ජන්ටිනාව, ඕස්ට්‍රේලියාව, බ්‍රසීලය, කැනඩාව, චීනය, ජර්මනිය, ඉන්දියාව, ඉන්දුනීසියාව, ඉතාලිය, ජපානය, කොරියානු ජන රජය, මෙක්සිකෝව, රුසියාව, සවුදි අරාබිය, දකුණු අප්‍රිකාව, තුර්කිය, එක්සත් රාජධානිය, ඇමෙරිකා එක්සත් ජනපදය යන රටවල් සහ යුරෝපීය සංගමය වේ.)   

තිරසාර හෝ ධරණීය සංවර්ධනය කරා පිය නැගීම අත්‍යවශ්‍ය බැවින් පුනර්ජනනීය බල ශක්තිය සඳහා වැඩි වැඩියෙන් ආයෝජනය කරමින් නව තාක්ෂණයේ සහ මෙවලම් භාවිතයේ වැදගත්කමද ලේකම්වරයා විසින් පෙන්වා දෙන ලදී.  ෆොසිල ඉන්ධන භාවිතය  පෘථිවි ග්‍රහ ලෝකයට මෙන්ම, මිනිස් සංහතියට සහ ලෝක ආර්ථිකයට දුර්දාන්තයක්ම ගෙන දෙනු නියතය. බල ශක්තිය අතින් පරමාදර්ශී වී, ලොවට ශාන්තියක් අත්කරගත හැකි වනුයේ, හරිත රැකියා සුලභ කරගත හැකි වනුයේ සහ  ආර්ථික සමබරතාවය රැකගත හැකි වනුයේ  හිරු එළිය,  සුළඟ, මුහුදු රළ වැනි ස්වාභාවික බල ශක්ති ප්‍රභව මිනිසාගේ අවශ්‍යතා සඳහා වැඩි වැඩියෙන් භාවිත කිරීමෙන් පමණක් බව පැහැදිලිය.  

ඔහු විසින් අවධාරණය කරන ලද දෙවන කරුණ සම්බන්ධ වනුයේ,  වාර්තාවේ දක්වා තිබෙන  තරමක් දුරට සහනදායි පිවිසුමක් පිළිබඳවය. අවශ්‍යතා වලට අදාලව  අනුවර්තනය වීම මෙම ධනාත්මක පිළිවෙතයි.

 

මෙම අර්බුද වලින් ජන ජීවිත බේරා ගැනීම සඳහා, අනුවර්තන මහෝපකාරී වේ. දේශගුණික බලපෑම් තීව්‍ර වත්ම, වැඩි වැඩියෙන් අනුවර්තන සඳහා ජනතාව මෙහෙයවිය යුතුය. පීඩාකාරී දේශගුණික බලපෑම් අවම කර ගැනීමත් ඒ සඳහා අනුවර්තන දැඩි කර ගැනීමත් සමාන්තරව ක්‍රියාත්මක විය යුතුය. එක්සත් ජාතීන්ගේ දේශගුණ ප්‍රතිපාදන වලින් 50% ක් මෙම ප්‍රවණතා සඳහා වැය කිරීමට  පියවර ගෙන ඇත්තේ මේ නිසාය. 

ලේකම්වරයා සිය වාර්තාව අවසන් කරනුයේ මෙසේය: 

“මේ කිසිවකට ප්‍රමාද වීම  මරණයට  සමීප වීමකි. එසේ හෙයින්, විශේෂයෙන්ම දරිද්‍රතාවයෙන් පෙළෙන කුඩා  දූපත් රාජ්‍යයයන් සහ ඌණ සංවර්ධිත රටවල් සඳහා නිර්දේශ කර තිබෙන මුල්‍ය ආධාර අවහිරතාවයකින් තොරව ගලායාම සඳහා අවශ්‍ය සෑම පියවරක්ම ගැනීමට මාගේ උපරිම ශක්තිය වැය කරමි. G20 රටවල් මේ සඳහා විශේෂ උනන්දුවක් දැක්වීය යුතුය. පරිසර උෂ්ණත්වය 1.5°C උපරිමයේ තබාගැනීම අපගේ පරම අධිෂ්ඨානය විය යුතුය. අද ජනතාවගෙන්  විශාල කොටසක් මහත් චිත්ත සන්තාපයනට ගොදුරු වී සිටිති. ඒ නිසාම  ඔව්හු මානසික වේදනාව නිසා, වෛරී ස්වභාවයක් පෙන්නුම් කරති. එය මා හටද බලපා  තිබේ. ඔබටද එසේ විය හැකිය. එම වෛරය සහ අසහනය ඵලදායී ක්‍රියාකාරකම්  බවට හරවා ගැනීමට උත්සාහ ගනිමු. මේ සඳහා සෑම මොහොතක්ම අගණේය. සෑම හඬක්ම ධනාත්මක පෙළඹවීමකි. දැඩි අධිෂ්ඨානයකින් යුක්තව මේ සඳහා පෙළ ගැසී, පරිසරය රැක ගනිමින් පෙරටම යමු.”  

ඉහත සඳහන් කරන ලද  දේශගුණ විපර්යාස පිලිබඳ  අන්තර්රාජ්‍ය මණ්ඩල - IPCC වාර්තාවේ අන්තර්ගත කරුණු වලට අදාළ දැවෙන ප්‍රශ්න ගැන  ගැඹුරු අධ්‍යයනයක් කර තිබෙන, පරිසර අර්බුද පිළිබඳ  පර්යේෂක, එක්සත් රාජධානියේ  Kieran Mulvaney විසින් National Geographic සඟරාවට ලියා ඇති ලිපියකින් මෙම ආපදා පිළිබඳව විශේෂ විග්‍රහයක් කර තිබේ. ඔහු පවසන ආකාරයට:

“බලාපොරොත්තු වූවාටත් වඩා අඩු උෂ්ණත්ව පරාසයකදීම - එනම් උෂ්ණත්වය  වැඩිවීම  1.5°C එළඹීමටත් පෙර - ස්වාභාවික පරිසර පද්ධති අකර්මණ්‍ය  වෙමින්, ලොව පුරා කෝටි සංඛ්‍යාත ජනතාවකගේ ජීවිත උවදුරට පත්කරමින්  තිබේ.”  

මේ සම්බන්ධයෙන් තවදුරටත් කරුණු දක්වන ඔහු ගෙනහැර දක්වන පරිදි,

ලොව පුරා නොසිතු විරු ආකාරයට පැතිරී යන ‘තාප තරංග’ (Heat waves) නිසා ගොඩබිම ශාක සහ මුහුදේ කොරල් පර විනාශ වෙමින් පවතී. ඒ  සමගම මුහුදු ජල මට්ටම ඉහල යාම නිසා වෙරළ  ආසන්නයේ අනාරක්ෂිත ස්ථාන වල ජීවත්වන ජනතාවට උන්හිටිතැන් නැති වී යයි. මේ නිසාම  සිදුවන උග්‍ර ප්‍රකෝපකාරී සිද්ධිද නොවැලැක්විය හැකි තත්ත්වයක පවතී. ගෝලීය පරිසර උණුසුම් වීම වහා නතර නොකර මේ ආකාරයටම පැවතුනහොත්, ලොව පුරා ජීවත්වන ලක්ෂ සංඛ්‍යාත ජෛව විශේෂ වලින් අඩක් පමණ විනාශ මුඛයට පත්වී වඳවී යා හැකි වන අතරම, මිනිසාද අතිශය  මන්ද පෝෂණයට ගොදුරුවීමටද  ඉඩකඩ බොහෝය. මේ අතරින්ද දරිද්‍රතාවයෙන් පීඩිත වූ අය, ළදරුවන් සහ මහල්ලන්,  වාර්ගික සුළු ජාතීන් සහ දේශීය ආදී වාසීන්  වඩාත්ම අවදානමට ඉලක්ක වන අය වනු ඇත.

මේ සඳහා අත්‍යවශ්‍ය සහ එකම පිළියම වනුයේ, වටපිටාවට හරිතාගාර වායු අධික ලෙස මෝචනය වීම  කෙසේ හෝ වහාම නතර කිරීමට පියවර ගැනීමයි.

පෘථිවියේ උතුරු අර්ධ ගෝලයේ උත්තර ධ්‍රැවය අවට රටවලට ගෝලීය උණුසුම් වීමේ බලපෑම දරාගත නොහැකි අහිතකර සංසිද්ධියකි. මෙම  රටවල අධික ශීත කාලගුණයක් පවතින නිසා, පසෙහි තරමක් ගැඹුරෙන් ‘නිත්‍ය තුහින’ (permafrost) ලෙස හැඳින්වෙන ස්ථිර මිදුණු ජල ස්තරයක් තිබේ. මෙම ස්තරය එම ප්‍රදේශයේ භුමියෙහි 24% පමණ ව්‍යාප්ත වේ. පරිසර උෂ්ණත්වය ඉතා සුළු ප්‍රමාණයකින් වැඩි වූවත්, නිත්‍ය තුහින දියවීමට පටන්ගනී. මුළු පෘථිවියේම පසෙහි ඇති ඓන්ද්‍රීය ද්‍රව්‍ය වලින් හරි අඩක් පමණ පෘථිවි පෘෂ්ඨයේ ඇති නිත්‍ය තුහින සහිත පසෙහි ගැබ්වී තිබේ. උෂ්ණත්වය වැඩි වනවිට එම ඓන්ද්‍රීය ද්‍රව්‍ය පාංශු ජීවීන් විසින් වියෝජනය කර, කාබන්ඩයොක්සයිඩ් සහ මීතේන් වැනි හරිතාගාර වායු පරිසරයට මුදා හැරේ. හරිතාගාර වායු ගෝලීය උණුසුම් වීමට මහත් රුකුලක් වේ. දේශගුණ විපර්යාස සිදුවනවිට මෙම බරපතල ව්‍යසනය නිසා බලවත් හානි සිදුවීමට බොහෝ ඉඩකඩ තිබේ. 

එමෙන්ම එම ප්‍රදේශවල බහුල  පීට් වගුරුබිම් (peatlands) වියලී යාමද මහත් හානිකරය. 

උණුසුම වැඩිවීමත්  සමග උග්‍ර වන  කෘමි පළිබෝධක ගහන වැඩිවීම සහ නිතර හට ගන්නා ලැව් ගිනි නිසාත් වනාන්තර සහ වෙනත් පරිසර පද්ධති වලටද  අපමණ හානි සිදුවේ. 

දේශගුණ විපර්යාසයේ අනිටු විපාක දැනටම දැනෙමින් තිබෙන නිසා තවදුරත් ගෝලීය උණුසුම් වීම මැඩපැවැත්වීමට ගන්නා පියවර වහාම දෙගුණ, තෙගුණ කළ යුතුවේ. දැනට  තීරණය කර තිබෙන, 1.5°C උපරිම සීමාවේදීත් භෞමික ශාක විශේෂ වලින් 14% පමණ වඳ වී යාමේ තර්ජනයට ගොදුරු වී තිබේ.

ගෝලීය උෂ්ණත්වය 2°C වුවහොත් ශාක විශේෂ වඳවී යාම 18% විය හැකිය. මේ ආකාරයට උෂ්ණත්වය වැඩිවීමේ  උපරිමය  5°C වුවහොත් ශාක වඳ වීම 48% වියහැකි බවද ගණනය කර තිබේ. පැරිස් සම්මුතියට අනුව ප්‍රතිඥා දී ඇති ආකාරයට සියලුම ජාතීන් උපරිමයෙන් ක්‍රියා කළහොත්  පමණක් 2050 වනවිට අඩුම වශයෙන් උෂ්ණත්වය ඉහල යාම 2.5°C සීමාවේවත් නතර වියහැකි බවට  පෙරැයීම් කර තිබේ.

ගෝලීය උණුසුම් වීමේ සීමාව 2°C මට්ටමේ හෝ ඉන් ඔබ්බට ගියහොත්, සිදුවිය හැකි අති දරුණු දේශගුණ විපර්යාස නිසා, මිනිසාට පෝෂක ඌණතා රෝගවලට සහ මන්ද පෝෂණයට ගොදුරු වීමට සිදුවේ. මෙම අභාග්‍ය සම්පන්න ඉරණමට  විශේෂයෙන්ම ගොදුරු වන්නේ, අප්‍රිකා මහාද්වීපයේ සහරාවට  දකුණෙන් පිහිටි ප්‍රදේශ, දකුණු ආසියාව සහ මධ්‍ය හා  දකුණු ඇමෙරිකාවත්, ලොව පුරා විසිරී ඇති දූපත් රාජ්‍යයයෝද වෙති. මේ මට්ටමට එළඹී විට සිදුවන බහුවිධ ව්‍යසන වශයෙන් දැක්විය හැකි දරුණු නියඟ සහ ඉඩෝර, ලැව්ගිනි, මුහුදු ජල මට්ටම ඉහල යාම වැනි උපද්‍රව එකවර සිදුවිය හැකිය. මේවා  ඉතාමත් සංකීර්ණ වන අතරම ඒවා මැඩලීමද  අති දුෂ්කර වනු ඇත.  උෂ්ණත්වය  ඉහළ යාමේ සීමා ඉක්ම වුවහොත් සිදුවන දේශගුණ විපර්යාස කිසිසේත් ආපසු හැරවිය නොහැකි තත්වයකට උග්‍ර වීම නොවැලැක්විය හැකිය. 

මෙම උවදුරු වලින් තරමක් දුරට හෝ බේරීම සඳහා අවස්ථානුකූල ‘අනුවර්තන වීම්’ (adaptations)  පිළිබඳව විශේෂ සැලකිල්ලක් දැක්වීම ගැනද  බලධාරීන්ගේ අවධානය යොමු වෙමින් පවතී. මේ අනුව

  1. ගංගා මිටියාවත් වල ජලගැලීම් මැඩ පැවැත්වීම සඳහා තැනිතලා භුමි වල ඇති තෙත්බිම් යථා තත්ත්වයට පත්කිරීම සහ ගංගා ස්වාභාවිකව ගලායාමට සැලැස්වීම.

  2. වෙරළ  තීර සැඩ  සුළඟින් සහ මුහුදු කෑමෙන් වලක්වා ගැනීමට කඩොලාන සංරක්ෂණය කිරීම 

  3. ධීවර කලාපවල සීමා ඉක්මවා මසුන් ඇල්ලීම පාලනය කිරීමෙන් මත්ස්‍ය සම්පත ආරක්ෂා කරගැනීම 

  4. නාගරික ප්‍රදේශවල ස්වාභාවික ‘සිසිලනයක්’ ඇතිකිරීම සඳහා උද්‍යාන, මිරිදිය පොකුණු ආදිය ස්ථාපනය කිරීම සහ  මංමාවත් ඔස්සේ සහ ගොඩනැගිලි පියසි මත  හැකිතරම් ගැලපෙන හරිතශාක රෝපණය කිරීම

  5. කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ පලදා වර්ධනයට  සහ දේශගුණික බලපෑම් වලට ඔරොත්තු දීම සඳහා පාංශු ගුණාත්මක භාවය වර්ධනය කර ගැනීමේ පිළිවෙත් අනුගමනය  කිරීම ද  වැදගත් වේ.    

දේශගුණ විපර්යාස නිසා සිදුවිය හැකි අනේකවිධ අතිශය අවාසනාවන්ත දුර්දාන්තයන්ගෙන්  බේරීම සඳහා සමස්ත ලෝකවාසී ජනතාවම එකාමෙන් පෙළගැසිය යුතු මොහොත උදාවී තිබේ. ඒ සමගම මුළු ලෝකයේම රාජ්‍ය නායකයින් සහ සියලුම බලධාරීන් විසින් මේවා වලක්වාගැනීම සඳහා  අවශ්‍ය පියවර අද හෙටම නොගතහොත් නුදුරු අනාගතයේදීම  ඒ බිහිසුණු අපරාධය සිදුවනු ඒකාන්තය !

(තොරතුරු පොත් පත් වලිනි. නිර්මාණ  කරුවන්ට ස්තුති පූර්වකව ‘කාටුන් චිත්‍ර’ අන්තර්ජාලයෙනි.)