ගතවූ වසර පනහකට අධික කාලයක් තිස්සේ නොකඩවාම Reader’s Digest සඟරාව කියවා, එහි මාසික
පිටපත් එකතු කිරීම මාගේ විනෝදාංශයක් විය. විවිධ විෂයයන්ට අදාළ මාතෘකා ඔස්සේ සරල
භාෂාවෙන් ලියැවෙන ලිපි ඇතුලත් Reader’s Digest සඟරා එකතුව මාහට විශ්ව කෝෂයක් බඳු
විය. අපගේ දියණියන්ටද, ඔවුන්ගේ ඉංග්‍රීසි භාෂා කුසලතා වර්ධනය කර ගැනීමට Reader’s
Digest මහෝපකාරී වී තිබෙන බව නොරහසකි.
මාගේ 80 වන ජන්ම දිනය වෙනුවෙන්, Reader’s
Digest මාසිකය තැපෑලෙන් නිවසටම ගෙන්වා ගැනීම සඳහා හෙල්මලී දියණිය විසින් දිගු කාලීන
දායකත්වයක් ලබාදී තිබීමද මෙහිලා විශේෂයෙන් සඳහන් කරමි.
Reader’s Digest 2020
නොවැම්බර් කලාපයේ සිත් ඇදගන්නාසුලු ලිපියක් පළවිය. ‘Loneliness; 2020’S OTHER
HEALTH CRISIS’ නම් වූ එම ලිපියෙන් හෙළි කරන ලද කරුණු ගැන මාගේ විශේෂ අවධානය යොමු
විය. COVID 19 වසංගත තත්වය නිසා නිවසටම කොටුවී සිටින කාටත් සාධාරණ, හුදකලාවීම,
තනිකම සහ පාළුව ගැන එම ලිපියෙහි විචිත්‍ර විග්‍රහයක් කර තිබුණි. එහි එක් පිටුවක,
විස්තර කර තිබුණේ, වසංගත හුදකලා වීම මධ්‍යයේ තම බිරින්දෑගේ වියෝව නිසා ඇතිවූ පාළුව,
කාන්සිය සහ තනිකම පිළිබඳව, අසූ නව වැනි වියෙහි පසුවූ වයෝවෘද්ධයෙකු විසින් තම හැඟීම්
ප්‍රකාශ කර තිබුණු ආකාරයයි.
ටික කලක් අසනීපවී සිටි මාගේ දයාබර බිරිඳ අභාවප්‍රාප්ත
වූයේද COVID 19 වසංගත තහංචි දමා තිබියදීමය. මෙම වියෝව නිසා මට ඇතිවූ හැඟීම්ද, ඉහත
ලිපියේ සඳහන් කර තිබුණු හැඟීම් දනවන අදහස් වලට හාත්පසින්ම සමාන විය.
මෙම ලිපියේ
අන්තර්ගතය ගැන ගැඹුරින් කල්පනාකළ මා, එම පොදු සාධාරණ හැඟීම් පිළිබඳව අපගේ
ධර්මානුකූල හැදියාවට අනුකූල, අනිත්‍යය පිළිබඳ හැඳින්වීමක් සහිත කෙටි සටහනක්
Reader’s Digest හි සංස්කාරකවරයා වෙත යැව්වෙමි. උපතේදී කිසිවක් නො ගෙනෙන, එසේම
මරණින් පසු කිසිවක් රැගෙන නොයන අප, ජීවිත අරගලයක නිරතවී ලාභ, යස ඉසුරු බලාපොරොත්තු
වීම නිෂ්ඵල දෙයක් බව මම මගේ සටහනෙහි සඳහන් කළෙමි.
මාගේ සටහන, නොවැම්බර් මාසය සඳහා
ලැබුණු හොඳම ප්‍රතිචාරය ලෙස තෝරා ගෙන, මෙහි දක්වා ඇති ආකාරයට බොහෝදුරට සම්පිණ්ඩනය
කර, 2021 ජනවාරි Reader’s Digest කලාපයේ පළකර තිබුණි.
එපමණක් නොව, සඟරාව මගින්
මාස්පතා පිරිනමණු ලබන අගනා ත්‍යාගයේ ජනවාරි මාසයේ හිමිකරුද මා බව දන්වා එවීය.
දින
කිහිපයකින් එම අගනා ත්‍යාගය තැපෑලෙන් ලැබිණ.
මට ලැබුණු ත්‍යාගය නවීන තාක්ෂණය උපයෝගී
කර ගනිමින් නිර්මාණය කරනලද ෆවුන්ටන් පෑනකි. (ඡායාරූපය බලන්න).
PILOT මාදිලියේ පෑනක්
වන මෙහි විශේෂත්වය වනුයේ, එය තීන්ත පෑනක් වීම සහ බෝල් පොයින්ට් පෑනක මෙන්, ඉහලට
නෙරා ඇති කොටස ඔබා පෑන් තලය ඇතුලට දැමීම සහ පිටතට ගැනීම සඳහා සකස් කර තිබීමයි. ඒ සමගම ඇතුළත පිහිටි
කුඩා ආවරණයක් ස්ථානගත වී තලය වැසී එයට ආරක්ෂාව සැලසේ. පෑනෙහි කඳ ඇතුළෙහි තිබෙන තලයට
සම්බන්ධ බටය අග්‍රයේ, එය තුළට, තීන්ත කුප්පියකින් තීන්ත පුරවා ගැනීම සඳහාද කුඩා
පොම්පයක් වැනි නවතම යාන්ත්‍රණයකි.
මෙහි තලය කැරට් 14 රත්‍රනින් නිමවී ඇත. වෙනත් තීන්ත
පෑන් වල මෙන් තලය ආවරණය කෙරෙන බාහිර කොපුවක් මෙහි නොමැත. ඒ නිසා මෙය ‘cap-less
fountain pen’ ලෙස හැඳින්වේ. පෑන් තලයෙහි වටිනාකම නිසාත් එය ගෙවී යාම අල්ප නිසාත්
දිගු කාලයක් පාවිච්චි කළ හැකිවනු ඇත.
මෙම නුතන නිෂ්පාදනය නිසා නිරතුරුවම පරිසරයට
එකතුවන ප්ලාස්ටික් ප්‍රමාණය මඳක් හෝ අඩු කර ගත හැකිවීම මගින් පරිසර සංරක්ෂණය සඳහා
සිදුවන මෙහෙය අපමණය.
තීන්ත පෑන් අභාවයට ගොස් “බෝල් පොයින්ට්” පෑන් ඉතාමත් ජනප්‍රිය
වෙමින් පවතින මෙම අවදියේ ජපාන තාක්ෂණයෙන් නව තීන්ත පෑනක් නිපද වීමේ හේතුව මඳක්
විමසා බැලුවෙමි. මෙය අතිශයින් පරිසර හිතකාමී අදහසකි.
මෑතදී කරනලද අධ්‍යයනයකට අනුව,
දැනට ලොව පුරා, වසරකට, භාවිත කර ඉවත දමන හිස් 'බෝල් පෙන්' ප්ලාස්ටික් බට සංඛ්‍යාව
බිලියන තුනකට අධිකය. එක පෑන් කොපුවක් අවම වශයෙන් ග්‍රෑම් දහයක් බරින් යුක්තයයි
සැලකුවහොත්, වසරකට පෑන් බට නිසා පමණක් පරිසරයට එකතු වන ප්ලාස්ටික් ප්‍රමාණය
මෙට්‍රික් ටොන් තිස් දහසකි.
ඔබ සමීක්ෂණයක් කළහොත්, ඔබ නිවසේ හෝ කාර්යාලයේ භාවිතයට
නොගෙන පසකට දමා ඇති බෝල් පොයින්ට් පෑන් පනහක් හැටක් සොයා ගත හැකි වනු ඇත. මේවාද
නුදුරු අනාගතයේදී පරිසරයටම එකතු වීම නොවැලක්විය හැකිය. දැනට දශක හතරක් පමණ ඉහතදී
සිට මෙසේ හිස් පෑන් බට නිසා පමණක් පරිසරයට දමා ඇති ප්ලාස්ටික් ප්‍රමාණය කොපමණ විය
හැකිද?
කළකට පෙර මා සහභාගී වූ පරිසර සම්මන්ත්‍රණයකදී එක්තරා විද්වතෙකු විසින්
“There is no place called away” (‘ඉවත’ යනුවෙන් ස්ථානයක් නොමැත) යන්න අවධාරණය කළ
ආකාරය මෙහිදී සිහියට නැගේ. මෙම කියමනට අනුකූලතාව දක්වමින්, යළිත් පැරණි ආකාරයේ
තීන්ත පෑන් නූතන තාක්ෂණයද ප්‍රයෝජනයට ගනිමින් නව මාදිලියකින් එළි දැක්වීම සඳහා
මෙවැනි පියවරක් ගැනීම, ඇත්ත වශයෙන්ම පරිසර හිතකාමී වෑයමක් ලෙස සැලකිය හැකිය.