ජල භාවිතය පිලිබඳ නව සංකල්පයක් - ‘ජල පා සටහන’ (Water footprint)
මිනිසා, සතා සීපාවා, ගහකොළ ආදී සෑම ජීවියෙකුගේම දිවි පැවැත්ම සඳහා අත්‍යාවශ්‍ය සාධකයක් වන ජලය, මහඟු සම්පතකි. සාගර සහ මුහුදු වල කරදිය තිබෙන අතර ගොඩබිම ජලාශ, ගංගා, ඇලදොළ ආදියේ සහ භූගතව තිබෙනුයේ මිරිදිය වේ. මිරිදියෙන්ද විශාල ප්‍රතිශතයක් ( 70% පමණ) හිමාලය වැනි කඳු ශිඛර මුදුන්වල සහ පෘථිවියේ ධ්‍රැව ප්‍රදේශවල අයිස් තට්ටු ලෙස පවතී. මිනිසාගේ සහ අනිකුත් සතුන්ගේ පානීය ජලය මිරිදිය වේ. පෘථිවියේ වාසය කරන බිලියන 7.5 ට වැඩි ජනගහනය සඳහා ඇත්තේ, එහි තිබෙන ජලයෙන් 0.007 % ක ප්‍රමාණයක් පමණකි. මුළු ලොව තිබෙන සියලුම ජලය, ලීටර් 5 ක ජෝගුවකට පුරවා තිබේයැයි සිතුවොත්, අපට බීම සඳහා එයින් ගත හැක්කේ ජලය මේස හැඳි එකක් පමණකි. ජලයේ විරල බව මෙතරම් තීව්‍ර වුවද, ජලය අපවිත්‍ර නොකර, අපතේ නොයවා බොහෝ අරපරිස්සමෙන් භාවිත කළ යුතු සම්පතක් බව තැකීමක් බොහෝ අය තුළ නොමැති බව දකින්නට ලැබේ.
ජලය පිලිබඳ පොදු කරුණු ස්වල්පයක් සලකා බැලීමෙන් මෙම ස්වාභාවික සම්පත පිලිබඳ දළ අවබෝධයක් ලබාගත හැකි වනු ඇත.
මිනිසෙකුට ආහාර නොමැතිව සති කිහිපයක් ජීවත් විය හැකි වූවත් ජලය නොමැතිව සතියක්වත් ජීවත් විය නොහැකිය.
අවශ්‍ය ප්‍රමාණයට වඩා බෙහෙවින් වැඩි ජල ප්‍රමාණයක් පානය කිරීමද ශරීරයට අහිතකරය.
සාමාන්‍ය වැඩුණු මිනිසෙකු ප්‍රාශ්වාස කිරීම මගින් පමණක් දිනකට ජලය මිලි ලීටර් 250 ක් පමණ පිට කරයි.
ලෝක ජනගහනයෙන් මිලියන 780 කට පමණ පානය කිරීමට සුදුසු ජලය නොලැබේ.
සංවර්ධනය වෙමින් පවතින බොහෝ රටවල, මිනිසා පෙළෙන ආබාධ වලින් 80% පමණ අනාරක්ෂිත ජලය නිසා වැළඳෙන ඒවාය.
එක්සත් ජාතීන්ගේ අධ්‍යයනයකට අනුව 2025 වන විට, ලෝක ජනගහනයෙන් තුනෙන් දෙකකට පමණ, දැඩි ජල හිඟයකට මුහුණ පෑමට සිදු වනු ඇත.
ලෝකයේ වාර්තාගත, හෙක්ටෙයාර් බිලියන 1.4 ක් පමණ වන වගා බිම් වලින් 60 % ක් පමණ වර්ෂා ජලයෙන් පෝෂණය වන අතර ඉතිරි 40 % ට ජලය ලබා ගනුයේ වාරි මාර්ග ඔස්සේය.
ලෝකයේ සියලුම ගංගා වල ඇති ජල ප්‍රමාණයට වඩා ජලය වායු ගෝලයේ තිබේ.
වායු ගෝලයේ ඇති ජලය මගින් පරිසර උෂ්ණත්ව පාලනයද සිදු කරනු ලබයි.
ජලය මිදී අයිස් වන විට සියයට නවයකින් පමණ පරිමාව වැඩිවේ.
ද්‍රව්‍ය වැඩිම සංඛ්‍යාවක් ද්‍රාවණය වන එකම ද්‍රාවකය ජලය වේ.(සාර්වත්‍ර ද්‍රාවකය)
අවුරුදු මිලියන ගණනකට පෙර පෘතුවියේ තිබුණු මුළු ජල ප්‍රමාණයම විවිධ ආකාරයෙන් අදටත් තිබෙන බව සත්‍යයකි.
පිපිඤ්ඤා ගෙඩියක සංයුතියෙන් 95 % පමණ ජලය වේ.
අවුරුදු 100 ක් තුලදී එක් ජල අණුවක්, අවුරුදු 98 ක් සාගරයේද, මාස 20 ක් අයිස් ලෙසද, සති දෙකක් පමණ විල්, වැව්, ගංගා, ඇළ, දොළ ආදියේද, සතියකට අඩු කාලයක් වායු ගෝලයේද සැරි සරයි.
ජාත්‍යන්තර දේශ සීමා, මායිම් ඔස්සේ හෝ දේශ සීමා හරහා ගලා බසින, ගංගා 260 ක් පමණ ලෝකයේ ඇත.
වානේ ටොන් එකක් නිපදවීම සඳහා ජලය ටොන් 300 ක් පමණ අවශ්‍ය වේ. (ජල පා සටහන අනුව )
හතර දෙනෙකුගෙන් යුත් පවූලකට දිනකට අවශ්‍ය ආහාර සැපයීම සඳහා ජලය ගැලොම් 6800 ක් (ලීටර් 30,000 පමණ) වැය වේ. (ජල පා සටහන අනුව )
ශ්‍රී ලංකාවේ නිවාස සහ ආයතන සියයට දහයකට පමණ නළ ජල සැපයුම් ඇත.
දළ වශයෙන් ගණන් බලා ඇති පරිදි ශ්‍රී ලංකාවේ නළ ජලය පාවිච්චි කරන නිවාස හෝ වෙනත් ආයතන වලින් 10 % ක පමණ (50,000 පමණ) ජලය බින්දුව බැගින් හෝ අපතේ යන බව පෙනේ.
තත්පරයකට ජල බින්දුව බැගින් අපතේ යන ජල කරාමයකින් වර්ෂයකදී ජලය ලීටර් 3000 ක් පමණ අපතේ යනු ඇත.
ජල ඒකකයක් රුපියල් 50/= බැගින් මිළ කළහොත් මෙම වාර්ෂික අපතේ යාම එක් පාරිභෝගික ස්ථානයකින් රුපියල් 450/= ක් පමණ වේ.
මෙය වාර්ෂිකව රුපියල් ලක්ෂ විස්සක් පමණ වියහැකි බරපතල ජාතික අපරාධයකි.
අපට අත්‍යාවශ්‍ය මහඟු ස්වාභාවික සම්පතක් වන ජලය පිලිබඳ විවිධ කරුණු රාශියක් ගැන මෙසේ සැළකිලිමත්වූයේ ජල භාවිතය හා සම්බන්ධ අතාත්වික (ඇසට නොපෙනෙන) ඉතාවැදගත් සම්බන්ධයක් පැහැදිලි කිරීමටය.
‘ජල පා සටහන’ වශයෙන් නම් කෙරෙන මෙම නව චින්තනය දැනට ක්‍රමක්‍රමයෙන් සමාජගත වෙමින් පවතින, නුදුරු අනාගතයේදී මිනිසාට තම එදිනෙදා වැඩ කටයුතුවලදී බොහෝ විට ආදේශ කර ගැනීමට සිදුවන බලගතු සංකල්පයක් විය හැකිය.
ජල ‘පා සටහන’ යනු යම්කිසි කාර්යාවලියක් ආරම්භයේ සිට එහි අවසානය දක්වා සෑම පියවරකදීම ජල ‘භාවිතය සහ කළමනාකරණය’ සම්බන්ධව එක් එක් පුද්ගලයාට, පුද්ගල කණ්ඩායමකට හෝ ආයතනයකට පැවරෙන ‘බර’ හෝ ‘වගකීම’ හඳුනා ගැනීම සඳහා යෝජනා කර ඇති මිනුම් දණ්ඩකට අනුරූප උපකල්පනයකි. මෙම උපකල්පනයේ, ‘භාවිතය සහ කළමනාකරණය’ යනු නිශ්චිත කාල සීමාවක් තුළදී, ඇත්ත වශයෙන්ම පාවිච්චි කළ හෝ / සහ එම පාවිච්චිය නිසා දූෂිත භාවයට පත්කරන ලද මිරිදිය පරිමාවයි.
මෙය 2004 වර්ෂයේදී ‘යුනෙස්කෝ’ ආයතනය හා සම්බන්ධ පරිසර විද්‍යාඥයෙකු ලෙස කටයුතු කළ, මහාචාර්ය ජෝන් ඇලන් විසින් ඉදිරිපත් කරන ලදුව, වැඩිදුර අධ්‍යයනය කර අනාගතයේදී ප්‍රයෝගික මට්ටමේ සංකල්පයක් ලෙස සලකා බැලීමට බලාපොරොත්තු වන සංකල්පයකි. එම අදහස ඉතාමත් සරලව පහත දැක්වෙන අයුරු අර්ථ දැක්විය හැකිය.
‘යම්කිසි පුද්ගලයෙකු හෝ කණ්ඩායමක්, භාණ්ඩ හෝ සේවා නිෂ්පාදනය, සැපයීම සහ භාවිතය උදෙසා, සෑම අයුරින්ම භාවිත කරනු ලබන මිරිදිය (ජලය) ප්‍රමාණය ‘ජල පා සටහන’ (water footprint) වේ’.
‘ජල පා සටහන’ පිළිබඳව පාසැල් සිසුවෙකු විසින් නගන ලද ප්‍රශ්නයක් සඳහා පරිසර විද්‍යාඥයෙකු විසින් සපයන ලද පිළිතුරක් මෙසේ දක්වියහැකිය.
සරල උදාහරණයක් මගින් මෙම සංකල්පය පැහැදිලි කළ හැකිය. කෙනෙකු කෝපි කෝප්පයක් බොන විට, අපට එකවරටම හැඟී යනුයේ එම කෝපි කෝප්පය සකස් කිරීම සඳහා අවශ්‍ය වනුයේ එහි ඇති ජලය පරිමාව පමණක් බවයි. එය 250 ml යයි සිතමු. අප එසේ සිතුවත් කෝපි කෝප්පය සකස් කිරීම සඳහා මූලික වන සියලුම කාර්යය සඳහා ජලය 140 L (140,000 ml) ක් පමණ වැය වන බව ගණනය කළ හැකිය. එය සත්‍යයකි. එහෙත් ඔබ එම අදහස ප්‍රතික්ෂේප කරනු ඇත.
මෙම අදහස තරමක් ගැඹුරින් කල්පනා කර බලන විට, කෝපි වැවීම, කෝපි බීජ නිෂ්පාදනය, කෝපි ඇට වලින් කෝපි කුඩු සකස් කිරීම, ඒවා සුරක්ෂිතව ඇසීරීම, ඇසුරුම් නැව් ගත කිරීම, ප්‍රවාහනය, බෙදාහැරිම වැනි සෑම අදියරයකදීම අනියමින් හෝ ජලය අවශ්‍ය වේ.
මෙසේ අදෘශ්‍යමානව වැය වන්නේයැයි අනුමාන වශයෙන් සලකනු ලබන ජල ප්‍රමාණය අතාත්වික ජලය ලෙස හැඳින්වේ. මේ නිසා බීමට සකස් කරන ලද කෝපි කෝප්පයේ ‘ජල පා සටහන’ නමැති අදහසට කෝපි කෝප්පයේ අඩංගු ජලයට අමතරව, ඉහත දැක්වූ සියලුම අවස්ථාවලදී භාවිත වූ අතාත්වික ජලයෙන් කොටසක්ද අයත් වේ. මෙය ගණනය කළ විට, කෝපි කෝප්පයේ අන්තර්ගත ජලය මෙන් 560 ගුණයක් පමණ වන බව විශ්වාස කළ හැකිද? එය ජලය ලීටර් 140 ට අනුරූප වේ.
මේ ලෙසටම ‘තේ කෝප්පයක ජල පා සටහන’, ජලය 35 L (35,000 ml) බව ගණනය කර තිබේ.
අප නිතර භාවිත කරනු ලබන ආහාර වර්ග කිහිපයක ගණනය කරන ලද ‘ජල පා සටහන්’ දැක්වෙන සටහන බලන්න. මෙහි තේ සහ කෝපි කෝප්ප සංසන්දනය කළවිට, කෝපි කෝප්පයේ ජල පා සටහන තේ කෝප්පයේ ජල පා සටහන මෙන් සිව් ගුණයක් බව පෙනේ. මෙවැනි භාණ්ඩවල මිල නියම වනුයේද මෙම සංකල්පයට අනුරූපවය.
එමෙන්ම ගව මස් කුකුල් මස් වලට වඩා මිල අධික වනුයේද මේ නිසා බව සාධාරණීකරණය කළ හැකිය. එම සටහනෙහි දැක්වෙන චීස් පෙත්තක හෝ හැම්බර්ගරයක මිල එතරම් අධික වනුයේද මේ නිසාම බව තීරණය කළ හැකිය.
ජල පා සටහන පිළිබඳව සලකා බැලීමේදී ජල සංරක්ෂණය සඳහා නව දැක්මක් ඔස්සේ සිතා බැලිය යුතු කාලය එළඹ තිබේ. මෙහිදී අතාත්වික ජලය ගැන දැඩි අවධානයක් යොමු කළ යුතු වන්නේය.
මේ සියල්ලෙන්ම පැහැදිලි වනුයේ ඕනෑම සේවාවක හෝ නිෂ්පාදනයකට අදාළ ක්‍රියාදාමයේ සෑම පියවරකදීම වාගේ ජලය යම්කිසි ප්‍රමාණයක් අවශ්‍ය වන බවයි. නවීන තාක්‍ෂණයත් සමග වේගයෙන් වෙනස් වන ජල කළමනාකරණයේ සිද්ධාන්ත වලට මේ වන විට ජල පා සටහනද මුල ධර්මයක් ලෙස අන්තර්ගතවී ඇත.
තවත් බොහෝ නිෂ්පාදන හෝ සේවා සඳහා මෙවැනි 'ජල පා සටහන්' සකස් කර ඇති අතර එයින් කිහිපයක් පහත වගුවේ දක්වා ඇත.
ජල පා සටහන මෙන්ම ‘කාබන් පා සටහන’ , ‘නයිට්‍රජන් පා සටහන’ වැනි තවත් සංවර්ධනය ඉලක්ක කරගත් නව සංකල්ප නිරතුරුවම මිනිසාගේ දැනුම් සම්භාරයට එකතු වෙමින් පවතී.
(පොත පත ඇසුරෙනි.)