Monday, 30 September 2019

දේශගුණ විපර්යාස පිළිබඳව බ්‍රිස්බේන්හි.Radio 4EB Sri Lankan Group සමග සාකච්ජාව -

2019 ජුනි මාසයේ දිනක, මා නොහඳුනන කෙනෙකු, බ්‍රිස්බේන්හි  සිට මා ඇමතීය. හඳුන්වාදීමෙන් පසු, ඔහු මාගේ බ්ලොග් සටහන් වලට ප්‍රතිචාර දක්වන බ්‍රිස්බේන්හි  4EB ප්‍රජා ගුවන් විදුලි සේවයේ සිංහල අංශයේ වැඩ සටහන් සම්පාදකවරයෙකු වන, තිසර බව දැනගතිමි. කලක සිට මගේ බ්ලොග් සටහන් වලට ප්‍රතිචාර දක්වන තිසර ශ්‍රීමාල්, ඔහු බව දැනගත්තේ එසේ හඳුන්වාදීමෙන් පසුවය.
ඔහුට අවශ්‍ය වුයේ බ්‍රිස්බේන්හි 4EB ප්‍රජා ගුවන් විදුලි සේවයේ, සිංහල අංශයේ අරුණැල්ල වැඩ සටහනට  ‘දේශගුණ විපර්යාස’ පිළිබඳව මා සමග සාකච්ඡාවක්  කිරිමයි. ඒ වනවිටත් මා විසින් ‘දේශගුණ විපර්යාස අර්බුදය’ යන නමින්, පරිච්ඡේද දහයකින් යුක්ත පොතක් ලියා අවසන් කර තිබිණ. පොත ලිවිම සඳහා මා විසින් එම විෂයය සම්බන්ධව පුළුල් අධ්‍යයනයක් කර තිබුණු නිසා,  ඔහුගේ ඉල්ලීම ඉටුකළ හැකි බව පැවසීමි.
කෙටි කතාබහකින් පසු, ඉදිරි  දින දෙකකට පසු, ‘දේශගුණ විපර්යාස’ සාකච්ඡාව, දුරකථනය ඔස්සේ පටිගත කිරීමට අපි තීරණය කර ගතිමු. ඔහුගේ උපදෙස් අනුව අවශ්‍ය  තොරතුරු රැස්කරගත් මා, නියමිත දින නියමිත වේලාවට දුරකථනය ඔස්සේ සාකච්ඡාව ආරම්භ කළෙමි.  සාකච්ඡාව සාර්ථක වූ බව මට දැන්වූ ඔහු එය එම සතියේම ඉරිදා උදේ, බ්‍රිස්බේන්හි  4 EB ගුවන් විදුලි නාලිකාවේ ‘අරුණැල්ල’ වැඩ සටහන   ඔස්සේ විසුරුවා හරින ලදී. මට මේ වන තුරු, තිසර පෞද්ගලිකව හමුවී නැත. එහෙත් අප අතර සුහදතාවයක් හටගත්තේද, බ්ලොග් ලිවීමේ හාස්කම නිසාය. ගුවන් විදුලියේ ප්‍රචාරය වූ එම වැඩ සටහනේ, ඈඳිය (link) මෙසේය: 
Sunday Arunella (2019-09-08)

 

Thursday, 26 September 2019

ශ්‍රී ලංකාවෙන් නව ඕකිඩ් විශේෂයක් .......



එහි උද්භිද විද්‍යාත්මක නාමය - ටෙරෝසෙරස් දලපූට්ටුවා (Pterocerus dalaputtuwa)


ශ්‍රී ලංකාවට ආවේණික නව ඕකිඩ් විශේෂයක්  සොයාගැනිමට දේශීය  විද්‍යාඥයින්   කණ්ඩායමක් සමත්  වී සිටිති. තාරක ප්‍රියදර්ශන, අනූෂ අත්තනගොඩ, ඉෂාර විජේවර්ධන, කෞශල්‍ය සිරිවීර, නිමන්ත අබේරත්න සහ පංකජ් කුමාර් යන අයගෙන් සැදුම් ලත් පර්යේෂණ කණ්ඩායමක් විසින්  මෙම ශාකය  සොයාගෙන තිබෙන්නේ, රත්නපුර දිස්ත්‍රික්කයේ  රත්ගඟ ගමෙහි කුඩව වනාන්තරයෙනි. මෙම පර්යේෂකයින් විසින් ශ්‍රී ලංකාවට ආවේණික නව ඕකිඩ් විශේෂය ලොවට හඳුන්වා දීම පසුගියදා සිදුවිය.

සපුෂ්ප ශාක ලෝකය තුල ඕකිඩ් අඩංගු ඕකිඩේසියේ කුලයට (Family Orchidaceae) හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. ඉතාමත් වර්ණවත් අලංකාර මල් දැරීම මීට හේතුවයි. මෙම කුලයට අයත් ටෙරෝසෙරස් ගණයේ (Genus Pterocerus) ඕකිඩ් ශාක විශේෂ 21 ක් ශ්‍රී ලංකාවෙන්, ඉන්දියාවෙන් සහ ඉන්දුනීසියාවෙන් වාර්තා වේ. මෙම ශාකවල වාසස්ථානය වන්නේ කඳුකර ප්‍රදේශවල ව්‍යාප්ත වී ඇති තෙත් සදාහරිත වනාන්තර වේ.

මේ ආකාරයට නව ශාක  හෝ සත්ත්ව  විශේෂයක් සොයාගත් පසු,  එය  ලොවට හඳුන්වා දීම සඳහා  විශේෂ ක්‍රම වේදයක් අනුගමනය කළ යුතුය. මුලින්ම එය ඕකිඩ් විශේෂයක් බව හඳුනාගත් පසු, එය Orchidaceae කුලයට  අයිති බව තහවුරු කළ යුතුය. මේ සඳහා එම ශාක කුළයට ආවේණික ලක්‍ෂණ සියල්ලම තිබිය යුතුය. ඊටපසු තවත් සුවිශේෂී ලක්ෂණ නිරීක්ෂණය කර ශාක ගණය (Genus)  තීරණය කළ  යුතුවේ. මෙය    ටෙරෝසෙරස් (Pterocerus) ගණයට වැටෙන බව පූර්ව ආදර්ශද විමර්ශණයට  භාජන  කිරීමෙන් පසු නිගමනය කර තිබේ. ඔවුනට මේ සඳහා පේරාදෙණිය උද්භිද උද්‍යාණයේ ඇති සංරක්ෂිත ශාක ආදර්ශ එකතුව සහ වර්ගගීකරණය  සඳහා මග පෙන්වන පොතපතද ප්‍රයෝජනවත් වී තිබේ.

මෙසේ හඳුනාගැනීමෙන් පසුව එම ඕකිඩ් විශේෂයට ගැලපෙන විශේෂ නාමයක් (species name) ලබාදීම බොහෝ විට දේශීය ඌරුවකට අනුව සිදුකිරීම  ලොව පිළිගත් සම්ප්‍රදායයි. පර්යේෂකයින් විසින් මෙම ඕකිඩ් ශාකය නම්කර ඇත්තේ  ටෙරෝසෙරස් දලපූට්ටුවා (Pterocerus dalaputtuwa) යන සුවිශේෂී නමින්ය. 



දලපූට්ටුවායනු ශ්‍රී ලංකාවේ වයඹ පළාතේ ගල්ගමුව වනාන්තරවල වාසය කල වන ඇතෙකි. අනුකම්පා විරහිත මිනිසුන් කිහිප දෙනෙකු විසින්, දළ  ලබා ගැනීමේ චේතනාවෙන්ම මෙම හස්තියා ඝාතනය කෙරුණු බව ප්‍රකටය. එම සත්වයාට ගෞරවයක් පිණිස මෙන්ම, ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වය සංරක්ෂණය කෙරෙහි රජයේ මෙන්ම සමස්ත ලෝකයේ ද අවධානය යොමු කිරීම පිණිස මෙම නාමය ඕකිඩ් විශේෂය සඳහා භාවිත කරන ලද  බව පර්යේෂකයෝ ප්‍රකාශ කර තිබේ.

ශාක වර්ගීකරණයේ දී භාවිත කරනු ලබන ක්‍රමවේදය ද්විපද නාමකරණය ලෙස හඳුන්වනු ලැබේ. මේ අනුව සෑම ශාකයකම  ජීව විද්‍යාත්මක නාමය කොටස් දෙකකින් යුක්තය. මෙහි පළමු කොටස  ශාකය හඳුන්වන ගණය (Genus) දක්වන අතරදෙවන නමින් විශේෂය (Species) දැක්වේ. සෑම විටම මෙම නම් ලිවීමේදී සම්මතයක් ලෙස ඉංග්‍රීසි භාෂාව භාවිත කරන අතර ගණ නාමයේ මුලකුර කැපිටල් අකුරක් විය යුතු අතර අනිකුත් අකුරු සිම්පල්ය. එසේම විශේෂ නාමයේ  මුල අකුර සහිත වචනයම සිම්පල් වියයුතු බවටත් තීරණයවී  තිබේ. මුද්‍රණය කිරීමේදී සම්පුර්ණ ද්විපද නාමයම ඇල අකුරෙන් (Italics) දැක්වීමද, අතින් ලිවීමේදී සම්පුර්ණ ද්විපද නාමයට  යටින් ඉරක් ඇඳීමද ප්‍රායෝගිකව භාවිත වේ. 


මේ අනුව මෙම අලුත් ඕකිඩ් විශේෂයේ උද්භිද විද්‍යාත්මක නාමය Pterocerus dalaputtuwa  යන ආකාරයට ව්‍යවහාරයට  ගනු ඇත. මෙම ශාකය IUCN රතු දත්ත පොතෙහි ‘අතිශයින් තර්ජිත’ [Critically Endangered]  [CR] ගණයට වැටෙනු ඇතැයි සිතිය හැකිය.  




වාර්තාගත තොරතුරු වලට අනුව, මිට පෙර, ශ්‍රී ලංකාවෙන් Pterocerus  ගණයේ ඕකිඩ් විශේෂයක් ගැන හඳුන්වා දීමක් කර  ඇත්තේ, දැනට වසර 150 කට පමණ පෙර බව සඳහන්ය.  එය Pterocerus viridiflorum ලෙස නම් කර ඇත. මෙම ඕකිඩ් විශේෂය පසුගිය දශක හත අටක් තිස්සේ  දකින්නට ලැබී නැති නිසා  එය වඳවී ගොස් ඇතැයි අනුමාන කර තිබුණි.  මෙම පර්යේෂණ කණ්ඩායමට, තම නිරීක්ෂණ ඔස්සේ  එම ඕකිඩ් ශාක විශේෂයද  නැවත වාර්තා කිරීමට හැකි වීමද, සුවිශේෂී සිදුවිමක්  ලෙස සැලකිය හැකිය,  IUCN (International Union of  Conservation of  Nature) රතු දත්ත පොතෙහි 2010 වර්ෂයේදී, මෙම ඕකිඩ් ශාකයවඳවී ගොස් හෝ අතිශයින් තර්ජිත [Critically Endangered or Possibly Extinct [CR(PE)] යනුවෙන්  සඳහන් කර තිබුණි. මෙම නව නිරීක්ෂණය නිසා, රතු  දත්ත පොතෙහි එම විස්තරයේවඳවී ගොස්(Possibly Extinct PE) යන කොටස ඉවත් කරඅතිශයින් තර්ජිත [Critically Endangered or [CR] ලෙස පමණක් හැඳින්වීමට සහ එය  ශ්‍රී ලංකාවට ආවේණික ඕකිඩ් විශේෂයක් වශයෙන් නම් කිරීමට අවශ්‍ය  පියවර ගනු ඇතැයි බලාපොරොත්තු විය හැකිය.  

ජාතික සම්පත් ගැන කිසිම තැකීමක් නොමැති මිනිසුන් සිටින රටක, රටෙහි කීර්ති නාමය ජාත්‍යන්තරයට ගෙන යාමට හැකි සුළු පිරිසක් හෝ සිටීම භාග්‍යයකි ! ඔවුන්ට අපගේ ප්‍රණාමය !
පර්යේෂකයින් විසින් අන්තර්ජාතික දත්ත යොමුවට ඉදිරිපත් කර තිබෙන, පර්යේෂණ පත්‍රිකාවේ සාරාංශය මෙසේය: 
Abstract                                                                                                                                 Pteroceras dalaputtuwa, a new species, is described from the lowland-wet zone of Sri Lanka. For the first time in the history of plant nomenclature, a new species is named after an elephant, 'Galgamuwa Dala Puttuwa', which was killed for its majestic ivory. The new species shows a close morphological affinity with P. philippinense from the Philippines. However, P. dalaputtuwa sp. nov. can be readily distinguished by having small and partially opened flowers (10 mm long × 5 mm wide), short petals (4 mm long × 1 mm wide), short sepals (4.9 mm long × 3.0 mm wide), and elongated rectangular-oval spur (7 mm long × 3 mm wide). Pteroceras viridiflorum, which was considered a "Critically Endangered Possibly Extinct" [CR(PE)] orchid, was also re-collected.

Wednesday, 18 September 2019

වනාන්තර වල අගය සහ ගසක මෙහෙවර ........



         1.            ගසක බැගෑපත් ඉල්ලීම
ස්පාඤ්ඤයේ  ‘සෙවිල්’ නම් ගමෙහි වනරොදක ඇති විශාල ගසක එල්ලා  තිබුණු ලෑල්ලක සටහන් කර තබන ලද  කව් පෙළක් (ඉංග්‍රීසි) සහ එහි  සිංහල පරිවර්තනයයි මේ. මෙවැනි විශාල වෘක්ෂයක් තම ඉරණම පිළිබඳව හඬගා කීම කවියෙකු දුටු ආකාරය ඔබටද කියවා රස විඳීම සඳහා මෙහි දක්වා ඇත. ඉංග්‍රීසියෙන් ‘TO THE WAYFARER ලෙස ලියැවී ඇති

මෙම කව් පෙළ, සිංහලට පරිවර්තනය කර ඇත්තේ “මගියානෙණි,”  යන යෙදුමෙනි. මෙහි රචකයා ගැන සඳහනක් නොමැත.  මිනිසෙකුගේ උපතේ සිට විපත දක්වාම  නැතහොත් තොටිල්ලේ සිට සොහොන් භුමිය දක්වා යන දිගු ගමනේදී ගසක නිෂ්පාදන වලින් කෙරෙන මෙහෙය සවිස්තරව දක්වන කවියා, පොරොවක් රැගෙන එන මිනිසාට මෙසේ  බැගෑපත් අයැදීමක්ද කරයි.                                                                                                                        

“මගියානෙණි”  “TO THE WAYFARER”

“Harm me not”                                                                                                                                       “විපතක් නොකරනු සගයනි, මාහට”
----------------------------  
           2.    ගසක වටිනාකම තවත් ආකාරයකට ....
වැඩුණු ගසක් වෙනුවෙන් වියදම් කරන සෑම රුපියල් සියයක් සඳහාම රුපියල් 582 ක ප්‍රතිලාභයක්  ලැබෙන බව ඇමෙරිකාවේ වනාන්තර සේවා ආයතනයක්  මගින් ගණනය කර තිබේ.

එසේම ඇමෙරිකාවේ වන වගා කරුවන්ගේ සංගමයක් මගින් 1992 වසරේ පළකර තිබෙන Growing Greener Cities  නම් පොතෙහි පළකර ඇති ආකාරයට, වසරකදී ගසක මෙහෙය මුදලින් මෙසේ ගණනය කළ හැකිය. (ඩොලර් ගණනය කිරීම රුපියල් වලට හරවා ඇත) .




මේ ආකාරයට ගසක් වසර 50 ක් පැවතුනහොත්, 5% ක අවම පොළියකුත් සමග  රුපියල් 1,433,200/=  වටිනාකමකින් යුක්ත සේවාවක් සපයා තිබේ.මෙයට අමතරව පහත සඳහන් මිල කළ නොහැකි සේවාවන්ද මෙයට එකතු කළ හැකිය.
                                                                                                
මේ සියල්ලටද අගයක් දුන් විට  ගසක වටිනාකම රුපියල් ලක්ෂ විස්සකට  වඩා වැඩිවිය හැකිය.  

මෙතරම් වටිනාකමක් ඇති වෘක්ෂයක් කපා හෙලීම අපරාධයක් නොවේද ?
-------------------------------------- 

            3.    ගසක මෙහෙවර ගැන නව සංකල්පයක් ....... ‘කාබන් පා සටහන


නූතන ලෝකයේ සිදුවෙමින් පවතින දේශගුණ අර්බුදයටද එකම පිළියම වශයෙන් සදහන් කළ හැක්කේ වනරෝපණය බව අද පරිසර විද්‍යාඥයෝ ප්‍රකාශ කර තිබේ. මේ සඳහා ‘කාබන් පා සටහන’ (Carbon Foot-print) නම් ඉතාමත් වැදගත් සංකල්පයක් දැනට භාවිතයට පැමිණ තිබේ.  මෙම සංකල්පය දේශගුණ විපර්යාස වලට මුලික වන වායුගෝලයේ කාබන්ඩයොක්සයිඩ් වායුව හා සම්බන්ධ ගණනය කිරීමකි.

වායු ගෝලයේ කාබන්ඩයොක්සයිඩ් වායු සාන්ද්‍රණය වැඩිවීම නිසා පරිසරය උණුසුම් වන බව විද්‍යාත්මකව තහවුරු වී තිබේ. මේ නිසා එය හරිතාගාර වායුවක් ලෙස සැලකේ. කාබන්ඩයොක්සයිඩ් වායුව වැඩිපුර මුක්තවනුයේ ගල් අඟුරු, පෙට්‍රල්, ඩිසල් වැනි පොසිල ඉන්ධන දැවීම මගින්ය. ප්‍රභාසංශ්ලේෂණයේදී ගස් වැල් මගින්  කාබන්ඩයොක්සයිඩ් වායුව උරාගන්නා නිසා එහි සමතුලිතතාවයක් ඇතිවේ. මෙම සමතුලිතතාවය බිඳ වැටුණු විට පරිසර උණුසුම වැඩිවේ.

පරිසරයේ මෙම කාබන්ඩයොක්සයිඩ් වායු සමතුලිතතාවය මැනීම සඳහා කාබන්ඩයොක්සයිඩ් වායුව ටොන් එකක් ඒකකය ලෙස සලකා   ‘කාබන් පා සටහන’ (Carbon Foot-print) නම් ඉතාමත් වැදගත් සංකල්පය ගොඩ නගා තිබේ.

සාමාන්‍ය වයස් ප්‍රමාණයේ මිනිසෙකු තම ස්වසනය ඇතුළු ජීවත් වීමට අවශ්‍ය සියලුම ක්‍රියාවලියන් නිසා,  කෙලින්ම හෝ අනියමින්. මුක්ත කරනු ලබන කාබන්ඩයොක්සයිඩ් වායු ප්‍රමාණය ඔහුගේ ‘කාබන් පා සටහන’ ලෙස සැලකේ. ඉතාමත් සූක්ෂම ආකාරයකට කර ඇති ගණනය කිරීමක් මගින්, වැඩුණු මිනිසෙකුගේ වාර්ෂික  දළ ‘කාබන් පා සටහන’ කාබන්ඩයොක්සයිඩ් ටොන් 41.48 ක් පමණ වන බව අනාවරණය වී තිබේ.

මේ ආකාරයටම කර ඇති තවත් ගණනය කිරීමකින් පෙන්වාදෙන අයුරු, සාමාන්‍ය ප්‍රමාණයේ වැඩුණු වෘක්ෂයක් විසින් වසරකදී, වායු ගෝලයෙන් උරාගන්නා කාබන්ඩයොක්සයිඩ් වායු ප්‍රමාණය ටොන් 0.07කි.

මෙය වෙනත් ආකාරයකින් දක්වතොත්, මිනිසෙකු වසරකදී  කාබන්ඩයොක්සයිඩ් වායු කිලෝග්රෑම් 41,480 පමණ මුදාහරින විට, වැඩුණු ගසකට උරාගතහැකි වනුයේ කාබන්ඩයොක්සයිඩ් වායුව  කිලෝග්රෑම් 70 පමණ ප්‍රමාණයකි.

මේ නිසා එක් මිනිසෙකු විසින් කරනු ලබන ‘පරිසර හානිය’ පිරිමැසීම සඳහා වැඩුණු වෘක්ෂ 593 ක් වත් අවශ්‍ය වේ.

මේ නිසා වනාන්තර රැකගැනීමට සහ වැඩි වැඩියෙන් ගස් සිටුවීම ගැන කාගේත් අවධානය යොමු විය යුතු බව මෙයින් පැහැදිලි වේ.

--------------------------------
        4.    තනි ගසක් වුවද පරිසර පද්ධතියකි.

ජෛව විවිධත්වය ගැන සලකා  බලන විට, විශාල තනි ශාකයක් වුවද බොහෝ විට පරිසර පද්ධතියක ලක්ෂණ විදහා දක්වන බව පෙනෙන්නට තිබේ. එවැනි ශාකයක් ආශ්‍රීතව තිබිය හැකි සිය ගණන් ක්ෂුද්‍ර පරිසර සහ ඒවා  වාසස්ථාන කරගනිමින් ජීවත් වන පියවි ඇසට පෙනෙන සහ නොපෙනෙන දහස් ගණන් ජීවීන් නිසා එවැනි වෘක්ෂයක් වුවද කුඩා පරිසර පද්ධතියක්  ලෙස හැඳින්විය හැකිය.

වෘක්ෂ පරිසර පද්ධතියක නේවාසික සහ ආගන්තුක ක්‍ෂීරපායීහු  සහ පක්‍ෂීහු  සිටිති. සමහරවිට කටුස්සන්, ඇහැටුල්ලන් වැනි උරගයින්ද, නොයෙකුත් කෘමි වර්ග, මකුළුවන්, පත්තෑයන්, ගෝනුස්සන්  වැනි සතුන් ගසේ පොතු සහ මුල් අතරේද, දිරාගිය කොටස් සහ ගසේ බෙන වලද ජීවත් වෙති. විශාල වෘක්ෂයක නේවාසික සතුන් බොහෝවිට ආහාර, කූඩු සාදාගැනීම, ආරක්ෂාව වැනි සියලු කටයුතු වෘක්ෂයෙන්ම ලබාගනිති. 
  

 මීට අමතරව විවිධ ලයිකන වර්ග, පාසි වර්ග සහ දිලීර වර්ගද ශාක කඳ සහ  පත්‍ර මතුපිට වැනි ස්ථාන වල බහුලව දකින්නට ලැබේ.

ඒ සමගම  බේඳුරු, කාසි පෙති වැනි අපිශාකී මීවන සහ නොයෙකුත් ඕකිඩ් වර්ගද විශාල ශාක මත වැඩෙනු දැකිය හැකිය. ආලෝකය සොයා ගස්වල එතෙමින් ඉහලට ඇදී යන පෝටාවැල්, පඹ වැනි දුර්වල කඳන් සහිත ආරෝහක ශාකද, පරපෝෂිතයින් ලෙස වැඩෙන පිළිල වර්ගද, බොහෝ විට විශාල වෘක්ෂ ආශ්‍රීතව දකින්නට ලැබේ. මේ ආකාරයට දකින්නට ලැබෙන විවිධ ජෛව ඒකක සමුහය ක්ෂුද්‍ර පරිසර ලෙස හැඳින්විය හැකිය. විශාල පරිසර පද්ධතිවල තිබෙන ආහාර දාම සහ ආහාර ජාලද තරමක් දුරට හෝ මෙම ජෛව පද්ධති තුලද දකින්නට ලැබේ.
එමෙන්ම ගසකින් ලැබෙන  සෙවනද  සතුන්ට මෙන්ම මිනිසාටද මහත් ආශීර්වාදයකි.



මේ නිසා තනි ගසක් වුවද ආරක්ෂා කිරීම වනාන්තරයක් ආරක්ෂා කිරීම තරමටම වැදගත් වන බව පැහැදිලිවේ.

බෞද්ධ ඉගැන්වීම් වලද සුත්‍ර පිටකයේ සංයුක්ත නිකායේ වනරෝපා සුත්‍රයේ වනාන්තර ගස්වැල් ආදිය වැවීම ගැන විශේෂ සඳහනක් කර තිබේ.

භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක. “ යම් ජනයෝ මල් වතු පලතුරු වතු හෝ ආරාමයන් වවන්නෝද, වන ලැහැබ් වවන්නෝද, හේදඬු  පාලම ආදිය කරවන්නෝද, යම් කෙනෙක් පැන්හල් වැව පොකුණු කරවන්නේද, වාසස්ථාන දෙන්නෝද දිවා රෑ හැමවිටම ඔවුන්ගේ පින් වැඩේ. මරණින් පසු නිවනට යන දහමෙහි පිහිටි සිල්වත්තෝ ඒ ජනයෝයි.”

බුදු රජාණන්වහන්සේගේ බොහෝ දේශනා වලදී, උදාහරණ වශයෙන් පරිසරයට අදාළ බොහෝ කරුණු ධර්මානුකුලව පහදා දී තිබේ. බුද්ධ චරිතයේ නොයෙකුත් අවස්ථා වීශේෂයෙන්ම සිදුහත් කුමර උපත, බුද්ධත්වය ලැබීම, පරිනිර්වාණය වැනි වැදගත් කරුණු සියල්ලම සිදුවී තිබෙන්නේ   එළිමහනේ ඇති ශාන්ත පරිසරයේය.

           5.    අපි ඉදිරියෙන් සිටිමු.

ජෛව විවිධත්වය අතින් ලෝකයේ මුල් තැන ගන්නා රටක් වන ශ්‍රී ලංකාවේ වනාන්තර ගහකොළ ආදිය අතින් සහ සුවිශේෂී සංරක්ෂණ කටයුතු අතින්, අප  සැලකියයුතු ස්ථානයක් දිනාගෙන තිබේ. එයින් වැදගත් සිද්ධි කිහිපයක් මෙසේ සඳහන් කළ හැකිය.

·        ලෝකයේ වාර්තා වී ඇති පළමු සංරක්ෂිත වනාන්තරය ශ්‍රී ලංකාවේ මිහින්තලේ ‘මිගදාය’ මුව උද්‍යානයයි.
·        අපගේ සිංහරාජවනාන්තරය ලෝකප්‍රසිද්ධ ස්වභාවික ජෛව විවිධත්ව විද්‍යාගාර 18 න් එකකි.
·        සංරක්ෂණය කරන ලද රක්ෂිත වනාන්තර විද්‍යානුකූලව රැක බලා ගැනීම අතින් අපි ඉදිරියෙන් සිටිමු. ශ්‍රී ලංකාවේ වනාන්තර වලින් සියයට 14  පමණ ස්වභාවික රක්‍ෂිත හෝ ස්වභාවික උද්‍යාන ලෙස නම්කර ඇත. මෙය ලෝකයේ පවතින ඉහලම අගයයන්ගෙන් එකකි.
·        ශ්‍රී ලංකාවේ  ඒක දේශීය ශාක විශේෂ ප්‍රතිශතය, ලෝකයේ ඉහලම අගයකි. රට තුළ දැනට හඳුනාගෙන ඇති ශාක විශේෂ 3200 කින් 850 ක් පමණ ඒක දේශීය ශාක වේ. මෙය 25 % ක ප්‍රතිශතයකි.
·        ඖෂදීය ශාක පිලිබඳ දැනුම සම්බන්ධයෙන් ඉතාමත් හොඳ එකතුවක් ශ්‍රී ලංකාවේ තිබේ. හඳුනාගෙන ඇති 3200 ක් පමණ වන ශාක විශේෂ වලින් 1500 ක් පමණ ඖෂධ සඳහා භාවිත කෙරේ.
·        ලෝකයේ වාර්තා ගත වී ඇති රෝපණය කරනලද පැරණිතම වෘක්ෂය ඇත්තේද  ශ්‍රී ලංකාවේ ය. මෙය අනුරාධපුරයේ ශ්‍රී මහා බෝධියයි

          පරිසරය සුරකිමු, වැඩි වැඩියෙන් රුක් රෝපණය කරමු.