‘ආරේ ගුණ නෑරේ’ වැකියට ප්‍රවේණි විද්‍යාත්මක පැහැදිලි කිරීමක්.
අපගේ පැරණි ප්‍රස්තා පිරුළක කොටසක් වන ‘ආරේ ගුණ නෑරේ’ යන්නෙහි අදහස වනුයේ, සම්ප්‍රදායටම ගැතිවී අන්ධානුකරණයෙන් යම් යම් දේ සිදු කිරිමට පෙළඹීම බව, මෑතකදී පුවත් පතක පළවූ ලිපියක කියවන්නට ලැබුණි. මෙහි ‘ආරේ ගුණ නෑරේ’ යන කොටසෙහි නම් ‘සම්ප්‍රදායට’ වඩා ගැඹුරු අර් ථයක් ප්‍රවේණි විද්‍යාව ආශ්‍රීතව දැක්විය හැකිය.
‘ආරය’ සහ ප්‍රවේණිය
‘ආරය’ යන වචනයට ඉතාමත් සමීප කළ හැකි ජීව විද්‍යාත්මක යෙදුම ‘ප්‍රවේණිය’ (Heredity) වේ. පවුලක මව හෝ පියා තුළ දකින්නට ලැබෙන යම්කිසි හැඩහුරුකමක් හෝ වෙනත් ගති ලක්ෂණ, ඊළඟ පරම්පරාවේ දරුවන්ටත් ඒ ආකාරයෙන්ම පිහිටීමේ ස්වාභාවික සංසිද්ධිය ප්‍රවේණිය බව, සරලව දැක්විය හැකිය. සමහර අවස්ථා වලදී මවක් සහ ඇයගේ දියණියක් එකවර දකින කෙනෙකු “ආරෙට ගිහිල්ලා, දුව හරියට අම්ම වගේමයි” යනුවෙන් ප්‍රකාශ කරනු ඔබටද ඇසී ඇතැයි සිතිය හැකිය. මවක් සහ ඇයගේ සෑම දියණියක්ම එම කියමනට ගෝචර නොවන අවස්ථාද එමටය. එවැනි අවස්ථා වලදී මවකගේ සහ දියණියකගේ හැඩරුව මෙසේ දෙආකාරයකට පැවතිය හැක්කේ කෙසේද යන්නට ප්‍රවේණි විද්‍යාවේ සංකල්ප මගින් විසඳුම් ලබාගත හැකිය.
ප්‍රවේණිය යන යෙදුමෙන් මෙන්ම ‘ආරය’ යන වචනයෙන්ද, බොහෝ දුරට ජීවියෙකුගේ ජෛව විද්‍යාත්මක උරුමය හැඳින්විය හැකිය. මෙයින් පැහැදිලි වනුයේ ජීවීන්ගේ විවිධ හැඩරුව සහ ගති ලක්ෂණ පාරම්පරිකව දකින්නට ලැබෙන්නේ කෙසේද යන්නයි. ජීවියෙකු තුළ දකින්නට ලැබෙන මෙම ගති ලක්ෂණ වලට පාදක වන මූලික ඒකක, ජාන (genes) ලෙස නම්කර තිබේ. (ග්‍රීක් භාෂාවේ ’genos’ යන වචනයෙන් දැක්වෙන "birth" නැතහොත් ‘උපත’ යන අදහස අනුව මෙම වචනය සෑදී ඇත) ඕනෑම ජීවියෙකුගේ, සෑම සෛලයකම, න්‍යෂ්ටියේ ඇති වර්ණදේහ (chromosomes) තුළ, ජාන ගැබ්වී තිබෙන අතර ජීවියෙකුගේ ගති ලක්ෂණ පාරම්පරිකව සම්ප්‍රේෂණය වන ක්‍රියාවලිය හසුරවනු ලබන්නේ ජාන මගින්ය. මෙම ලක්ෂණ පැහැදිලි කෙරෙන මිනිසාගේ සෛලයක ව්‍යුහය සහ එහි න්‍යෂ්ටියේ අන්තර්ගත වර් ණදේහ යුගලයක ස්වරූපය වෙන වෙනම මේ සමග ඇති සටහනෙහි දැක්වේ. ඒ සමගම එහි දකුණුපස, ජීවීන්ගේ දේහ ලක්ෂණ පාරම්පරික වීමේදී ක්‍රියාත්මක වන වර්ණදේහාංශවල හටගන්නා ‘ඇලීල’ (alleles) යුගල ප්‍රභේද තුනක්ද පෙන්වා ඇත.
ප්‍රවේණිය පිලිබඳ ගවේෂණ ආරම්භ කිරීම
ජීවීන්ගේ ගති ලක්ෂණ පාරම්පරිකව උරුම වීම පිලිබඳ කරන ලද පර් යේෂණ ආශ්‍රීතව ලබාගත් තොරතුරු අනුව, උපකල්පන කිහිපයක් ගොඩ නැගු පළමු විද්‍යාඥයා වූයේ, ඔස්ට්‍රියානු ජාතික පුජකවරයෙකු වූ ග්රෙගර් මෙන්ඩල් ය. කුඩා කාලයේ සිටම තම පියාගේ ගොවි පලෙහි හැදුනු වැඩුණු ඔහු, ගව පට්ටියේ දෙනුන් අභිජනනය කිරීමෙන්, වඩාත් හොඳ ගව පැටවුන් ලබා ගතහැකි බව දැන සිටියේය. එම නිරීක්ෂණය නිසා ඔහුට අභිජනනය පිලිබඳ කරුණු සෙවීම පිණිස උනන්දුවක් ඇතිවිය. පසුව ඔහු පූජක වරයෙකු වී, පූජකාරාමයක ජීවත්වෙමින්, මීයන්, මීමැස්සන් වැනි සතුන් අභිජනනය සඳහා යෙදවීම ගැන අධ්‍යයන කිරීමට පටන් ගත්තේය එහෙත් එහි සිටි වැඩිහිටි පූජකවරු අභිජනන කටයුතු සඳහා සතුන් යොදාගැනීම, ආගමට නොගැලපෙන කාර් යයක් ලෙස සලකා එයට විරුද්ධ විය. මේ නිසා ඔහු තම පර් යේෂණ සඳහා සතුන් යෙදවීම අතහැර, ඒ වෙනුවට ශාක අභිජනනය කිරීම ආරම්භ කළේය. මෙයට විරෝධතා ඇති නොවීය.
මෙන්ඩල්ගේ ශාක අභිජනන පර් යේෂණ වල ප්‍රතිඵල දහනව වන සියවසේ අග දශක වලදී ප්‍රසිද්ධියට පත්විය. ඔහු තම පර් යේෂණ සඳහා යොදාගත්තේ පහසුවෙන් වගා කළ හැකි, ඉක්මණින් මල් හටගන්නා, මෑ කුලයට අයිති Pisum sativum (‘ස්වීට් පී’ හෝ ගෙවතු මෑ), නම් බෝංචි වැනි ශාක විශේෂයකි. වසර දහයක් තිස්සේ, ඔහුගේ පර් යේෂණ සඳහා බීජ ලබාගැනීම පිණිස වවන ලද ‘ස්වීට් පී’ ශාක වලින් අක්කර දහයක් පමණ වූ පූජකාරාම ඉඩම වැසී ගියේය. ඔහුගේ පර් යේෂණ සාර් ථක වීමට එක් හේතුවක් වූයේ, ඔහු උපකල්පනය කළ සංසිද්ධි පරීක්ෂණ මගින් සනාථ කර ගත හැකි වීමයි. එසේම ඔහු තබාගත් නිරීක්ෂණ සටහන් ඉතාමත් ක්‍රමානුකුල වීමද වැදගත් විය. (එකල අද මෙන් දත්ත සැකසීම සඳහා යොදා ගත හැකි පරිගණක නොවීය.මෙන්ඩල් විසින් Pisum sativum ශාක වල ප්‍රවෙණිගත වන බවට නිරීක්ෂණය කරන ලද ගති ලක්ෂණ හතක් හඳුනාගන්නා ලදී. ඒවා මෙසේය:
මේ ආකාරයට තෝරාගත් ශාක යුගල වල, පුෂ්ප පරාගණය කර, ලබාගත් බීජ වලින් ලැබෙන ශාක නැවත නැවතත් වාර කිහිපයක් අභිජනනය කරන විට, මෙන්ඩල්ට සුවිශේෂී ලක්ෂණ කිහිපයක් දකින්නට ලැබිණ. උදාහරණයක් වශයෙන්, තෝරාගත් උස සහ මිටි ලක්ෂණ සහිත ශාක අතර අභිජනනය කර, පරම්පරා කිහිපයක් යනවිට ලැබුණු එම ශාක සමූහයේ උස ලක්ෂණය සහිත ශාක බෙහෙවින් වැඩි ප්‍රතිශතයක් තිබෙන බව නිරීක්ෂණය විය. මෙම ගති ලක්ෂණ අතරින් ශාකයේ උස් බවේ ලක්ෂණය බොහෝවිට මිටි බවේ ලක්ෂණයට වඩා ඉස්මතු වන බව, ඔහු දුටුවේය. එසේම කරලේ සිනිඳු බව රළු බවට වඩාත්, පුෂ්ප වල නිල්පැහැය සුදු පැහැයට වඩාත් ආදී වශයෙන් සමහර ලක්ෂණ වැඩිපුර ඉස්මතු වන බවද ඔහුට දකින්නට ලැබිණ.සටහන් තබා ගැනීමේ පහසුව සඳහා, මේ ආකාරයට ඉස්මතු වන ලක්ෂණ ‘ප්‍රමුඛ’ (dominant) ලක්ෂණ ලෙසත් වැඩිපුර ඉස්මතු නොවන ලක්ෂණ ‘නිලීන’ (recessive) ලක්ෂණ ලෙසත් නම් කරන ලදී.
මෙම සිදුවීමට මූලික වනුයේ හඳුනා නොගත් යම්කිසි ‘අදෘශ්‍යමාන සංසිද්ධියක්’ වියහැකි බවද ඔහුගේ උපකල්පනය විය.
මෙන්ඩල් විසින් ‘ස්වීට් පී’ ශාකවල උපකල්පනය කරන ලද මෙම ලක්ෂණ සටහන් කර තැබීමේ පහසුව සඳහා ඔහු විසින් සංකේත ක්‍රමයක් භාවිත කිරීමට උත්සාහ කළේය. මෙහිදී, ගති ලක්ෂණය හඳුන්වන නාමයේ මුල් අකුර ගැන ඔහුගේ සිත් යොමුවිය. දැනට ලොව ප්‍රචලිත වී ඇත්තේ, ගති ලක්ෂණ සඳහා යෙදෙන ඉංග්‍රීසි නාමයේ මුල් අකුර මේ සඳහා භාවිත කිරීමයි. උදාහරණයක් වශයෙන් ශාක වල උස ලක්ෂණය ගතහොත් ඒ සඳහා ඉංග්‍රීසි වචනය Tall වේ. මේ අනුව නිරීක්ෂණය කරන ලද ප්‍රමුඛ ලක්ෂණය සහිත ‘උස’ ශාකය ‘T’ සංකේතයෙන් සහ ‘මිටි’ හෝ ‘උස නොවන’ ශාකය ‘t’ සංකේතයෙන් දැක්වීමට ඔහු උත්සාහ කරන ලදී. එසේම එක් අභිජනනයකින් හටගන්නා ඊළඟ පරම්පරාව ‘ප්‍රථම දාරක පරම්පරාව’ (First Filial generation) ලෙස හඳුන්වා, එය සඳහා ‘F1’ සංකේතයද භාවිත විය.
ශාකයේ සාමාන්‍ය සෛල වල න්‍යෂ්ටියේ ඇති වර් ණදේහ, යුගල වශයෙන් පවතින නිසාත්, එම ශාකවලම පුෂ්ප වල ජන්මාණු නිපදවීමේදී වර් ණදේහ යුගලයේ, වර් ණදේහාංශ එකිනෙකෙන් වෙන්වී ජන්මාණු සකස්වන බවත් ඔහු උපකල්පනය කළේය. මේ නිසා, සටහන් තබාගැනීමේ පහසුව සඳහා මෙන්ඩල්ගේ ‘සංකේත’ තවදුරටත් සංශෝධනය කිරීමට සිදුවිය. මෙහිදී යොදා ගන්නා ලද පහසුම උපක්‍රමය වූයේ ඒ බව පෙන්වීම සඳහා සංකේතයේ අක්ෂරය දෙවරක් භාවිත කිරීමයි.
මේ අනුව ප්‍රමුඛ ‘උස ලක්ෂණය’ - ‘TT’ ලෙසටත්, නිළීන ‘මිටි ලක්ෂණය’ - ‘tt’ ලෙසටත් දැක්වීමට තීරණය විය. මෙන්ඩල්ගේ පරීක්ෂණ වාර් තාව 1865 වර් ෂයේදී ප්‍රකාශයට පත්කරනූ ලැබූවත් එම ප්‍රතිපල ජනප්‍රිය වූයේ වර් ෂ 1900 ට පසුවය. (මේ වන විට ශාක අභිජනන පරීක්ෂණ වල නියැලුණු වෙනත් විද්‍යාඥයින් විසින්ද නව තොරතුරු සොයාගෙන තිබුණි.)
තම මුල් පරීක්ෂණ වලදී, උස ශාකයක් මිටි ශාකයක් සමග කළ අභිජනන වලදී උස ශාක, මිටි ශාක වලට වඩා වැඩි ප්‍රතිශතයක් තිබීමට හේතුවක් තිබිය යුතු බවට අනුමාන කළ මෙන්ඩල්, එම පරීක්ෂණයේ F1 පරම්පරාවෙන් ලැබුණු උස ශාක දෙකක් ‘ස්ව පරාගණය මගින්’ නැවත අභිජනනය කර, එමගින් ලැබුණු F2 පරම්පරාවේ ශාක වලට උස සහ මිටි ලක්ෂණ සම්ප්‍රේෂණය වන ආකාරය හොඳින් නිරීක්ෂණය කළේය. මෙහිදී F1 පරම්පරාවේදී අහෝසි වීයයි සිතු මිටි ලක්ෂණය සහිත ශාක යම්කිසි සංඛ්‍යාවක් මෙහිදී යළිත් ලැබුණි. ඔහු පුදුමයට පත්කළ, එම අභිජනනයේ ප්‍රතිඵල මේ ආකාරයට සටහන් විය.
මෙසේ ලැබුණු ප්‍රතිඵල මෙම පරීක්ෂණයේ F1 පරම්පරාව වූවත්, මෙය ඇත්ත වශයෙන්ම මෙන්ඩල්ගේ පරීක්ෂණ මාලාවේ දෙවැනි අදියර නැතහොත් F2 පරම්පරාව ලෙස සැලකිය හැකිය. මෙහිදී උස ශාක සහ මිටි ශාක අනුපාතය 3 : 1 විය. මෙම ප්‍රතිඵලය තවදුරටත් විශ්ලේෂණය කිරීමේදී එය TT : Tt : tt අනුපාතය 1 : 2 : 1 විය යුතු බව හෙළිදරව් විය. මෙහිදී TT සහ Tt ශාක, බාහිර පෙනුම අනුව, උස ශාක වූ අතර, tt ශාක මිටි ශාක විය. මේ නිසා මේ ශාක පොදු බාහිර පෙනුම අනුව, උස : මිටි :: 3 : 1 අනුපාතය නැතහොත් උස 75% සහ මිටි 25% ලැබී ඇත. ලබාගත් තොරතුරු මෙසේ අධ්‍යයනය කර, ශාකවල එම ස්වාභාවික හැසිරීම් රටාව පිළිබඳව මේ ආකාරයට ගණිතමය සංකල්ප ගොඩනැගීමට හැකිවීම මෙන්ඩල් ලබාගත් ජයග්‍රහණයකි.
පසුකාලයේදී ‘බාහිර පෙනුම’ යන තේරුම පදනම කර ගනිමින් මේවා රූපාණුදර්ශ - (Phenotypes) ලෙස නම්කරන ලදී. උස ශාක අතරද 25% ක් ‘ප්‍රමුඛ’ TT උස ලක්ෂණය සහිතව වූ අතර, ඉතිරි 50% උස ලක්ෂණය සහ ‘නිලීන’ මිටි ලක්ෂණයද සහිතව Tt උස ශාක වූ බව පෙනේ. මේ ආකාරයට බාහිරව නොපෙනෙන ජනක ලක්ෂණ අනුව TT, Tt සහ tt ශාක වෙන වෙනම ජන්මාණුදර්ශ - (genotypes) ලෙසද නම් කරන ලදී. මේ නිසා මෙම අභිජනන ප්‍රතිඵල අනුව, උස සහ මිටි රූපාණුදර්ශ දෙකක් සහ TT, Tt සහ tt ලෙස ජන්මාණුදර්ශ තුනක් ඇති බව පැහැදිලි විය.
මෙන්ඩල්ගේ ශාක අභිජනන වල ප්‍රතිඵල
ජීවීන්ගේ ජනක සංසිද්ධියට අදාළ ජාන පිහිටනුයේ සෛල න්‍යෂ්ටියේ ඇති වර් ණදේහවල බව ග්‍රෙගර් මෙන්ඩල් මෙන්ම, ජීවී පරිණාමය පිළිබඳ අධ්‍යයන කළ, චාල්ස් ඩාවින්ද විශ්වාස කළේය. යුගල වශයෙන් පවතින වර් ණදේහ වල එක් එක් වර් ණදේහාංශයේ ජාන පිහිටන බවත් එම ජාන මගින් ජීවියාගේ ගතිලක්ෂණ නිර් ණය වන බවත් ඔව්හු උපකල්පනය කළහ. ජීවීන්ගේ ජන්මාණු සකස්වීමෙදී එකිනෙකින් වෙන්වන වර් ණදේහාංශ වලට ජානවල අන්තර්ගත ‘ඇලීල’ (alleles) ලෙස හඳුන්වන කොටස් සමග සමහර ලක්ෂණ වෙන්වන බවද අනුමාන කරන ලදී.
මේ ආකාරයට ලබාගන්නා ලද තොරතුරු සම්පිණ්ඩනය කිරීමෙන් මෙන්ඩල් විසින් ජීවී ලක්ෂණ ආවේණිය පිලිබඳ නියම තුනක් ප්‍රකාශයට පත්කළේය. එම නියම මෙසේය:
ගති ලක්ෂණවල ප්‍රමුඛතාව පිලිබඳ නියමය (The law of dominance)
ගති ලක්ෂණ වෙන්වීමේ නියමය (The law of segregation)
ගති ලක්ෂණ ස්වාධීනව එකතු වීමේ නියමය (The law of independent assortment)
යම්කිසි ගති ලක්ෂණයක් ආවේණික වන සෑම විටම, එයට අනුරූප තවත් ලක්ෂණයකට වඩා ඉස්මතු වී, දෙවැන්න යටපත් කර ගනියි. ඉහත විස්තරයේ ‘ස්වීට් පී’ ශාකයේ උස භාවය මිටි භාවයට වඩා ඉස්මතු වන ලක්ෂණයයි.
ගති ලක්ෂණ වෙන්වීමේ දෙවන නියමය මගින්, ජීවීන්ගේ ජන්මාණු නිපදවීමේදී, ජායා ජන්මාණු නිපදවන, ඩිම්බ කෝෂවල අඩංගු දේහ සෛල වල ඇති මාතෘ සෛල විභාජනය වීමේ දී, ඒවායේ වර් ණදේහාංශ එකිනෙකින් වෙන්වී, එමගින් ජායා ජන්මාණු දෙකක් නිපදවයි. එමෙන්ම වෘෂණ කෝෂ හෝ පරාගධානි සෛල වල අඩංගු වර් ණදේහාංශ එකිනෙකින් වෙන් වී එමගින් පුං ජන්මාණු හට ගනී. මේ ආකාරයට දේහ සෛලවල වර් ණදේහාංශ යුගල බැගින් පැවතීම ‘ද්විගුණී’ (diploid) ලෙසටත්, ජන්මාණු නිපදවීමේදී වර් ණදේහාංශ එකිනෙකින් වෙන්වී, එක් වර්ණදේහයක් සහිත නිපදවනු ලබන ජන්මාණු ‘ඒකගුණී’ (haploid) ලෙසටත් හඳුන්වනු .ලැබේ.
ගති ලක්ෂණ ස්වාධීනව එකතු වීමේ තුන්වන නියමය මගින්, සංසේචනයේදී ඒකගුණී වර්ණදේහ සහිත පුං ජන්මාණුවක් සහ ජායා ජන්මාණුවක් එකතුවී ද්විගුණී යුක්තාණුවක් නිර් මාණය වීමේදී වෙනත් කිසිම සාධකයක බලපෑමෙන් තොරව ස්වාධීනව ක්‍රියාකරන බව පැහැදිලි කෙරේ. මෙහිදී, ශාකවල උස මිටි බව, පුෂ්ප පැහැය, බිජ වල සිනිඳු හෝ රළු භාවය වැනි ගති ලක්ෂණ, එකිනෙකට ස්වාධීනව ඉස්මතු වන බවද නිගමනය කරන ලදී. මේ ක්‍රියාදාමයට මූලික වන වර්ණදේහ වල ඇති සුවිශේෂී ඒකක ‘ජාන’ (genes) බව වෙනත් පර් යේෂකයින් විසින් පසුව තහවුරු කර තිබේ.
මෙන්ඩල් විසින් ඉදිරිපත් කරන ලද නියමයන්ට අනුව විවිධ ශාක සහ සතුන් ආශ්‍රීතව පසුව කරන ලද අභිජනන මගින් ප්‍රවේණිය පිළිබඳ තොරතුරු රාශියක් අනාවරණය වී තිබේ.
‘ආරේ ගුණ නෑරේ’ යන පැරණි වාක්‍ය ඛණ්ඩය වර් තමාන ආවේණිය හෝ ප්‍රවේණිය යන නම් වලින් හැඳින්වෙන ‘ආරයට යාම’ යන මතය හෝ ‘උරුමය’ සමග බොහෝ දුරට ගැලපෙන බව මෙම කරුණුවලින් සනාථවේ.