Sunday 8 March 2020

ඩොමිනෝස් (Dominoes) ‘කැට’ වලින් කළ පැරණි සරල ක්‍රීඩාව අද වෙනත් සංකීර්ණ ස්වරූපයකින්……

ක්දහස් නවසිය අසූ දෙක (1982) වර්ෂයේදී  දකුණු ආසියානු ජීව විද්‍යා අධ්‍යාපන නිලධාරීන්ගේ සමුළුවක් පිලිපීනයේ මැනිලා නුවර UPSEC (University of Philippines Science Education Centre) හිදී පවත්වන ලදී. මේ  සමුළුවේ ශ්‍රී ලංකා නියෝජිතයා ලෙස සහභාගී වීමේ අවස්ථාව මට හිමිවිය.
සමුළුවේ පාඨමාලා අධ්‍යක්ෂක වරයා  (Course Director) ලෙස කටයුතු කරන ලද්දේ, පේරාදෙණිය විශ්ව විද්‍යාලයයේ වෛද්‍ය අංශයේ මහාචාර්ය වරයෙකු ලෙස සේවය කළ, ජීව විද්‍යා අධ්‍යාපනඥයෙකු වූ දිවංගත, මහාචාර්ය වැලන්ටයින් බස්නායක මැතිතුමාය. සමුළුව සඳහා රටවල 16 කින් නියෝජිතයින් 20 දෙනෙකු සහභාගී වූහ.       
සති  දෙකක්  තුළ පැවති සමුළුවේදී  අපට ජීව විද්‍යාවේ නව ප්‍රවණතා සහ නව ඉගැන්වීම්  ක්‍රම ගැන විශාල දැනුම් සම්භාරයක් ලබාගත හැකි විය. 
සමුළුව අවසාන දිනයේදී අපට පිලිපීනයේ හස්ත කර්මාන්තයක් වශයෙන් කරගෙන යනු ලබන විසිතුරු ක්‍රීඩා භාණ්ඩයක් වන ඩොමිනෝස්  (Dominoes ) කට්ටලය බැගින් තෑගි ලැබිණ. ඩොමිනෝස් කැට අසුරා තිබුණේ කොහොඹ ලීයෙන් සකස් කළ තිබුණු කුඩා පෙට්ටියකය. පෙට්ටිය  වැසුමේ ඇති චිත්‍රය සහ අකුරු සාදා තිබෙනුයේද ඇත්දත් වලින් වීම විශේෂත්වයකි. පසුදින උදයේම ආපසු මව්බිම් කරා ඒමට නියමිතව තිබුණු බැවින් එම කට්ටලයෙන් ක්‍රීඩා කරන ආකාරය ගැන කිසිවක් අපට දැනගැනීමට නොහැකි විය. 
                                                                                                                            තෑගි ලැබුණු ‘ඩොමිනෝ’ කට්ටලය
                                                                                                 

ගෙදර පැමිණි පසු ඩොමිනෝ කට්ටලය කිහිප වරක් අතපත ගෑමේදී එයින් ක්‍රීඩා කරන ආකාරය හඳුනා ගත හැකි විය. එය ඉතාමත් සරල ක්‍රීඩාවක් වුවද ‘කාඩ්ස්’ කට්ටලයකින් ක්‍රීඩා කිරීමේදී මෙන් අහඹුතාව පිළිබඳවද සිතීමට අවශ්‍ය වන බව පැහැදිලි විය. පසු කාලයකදී මා වෙනත් විදේශ රටක සේවය කරද්දී, එහි ජනතාව අතර ඩොමිනෝ ඉතාමත් ජනප්‍රිය ක්‍රීඩාවක් බව දැනගතිමි. එසේම ඩොමිනෝ කට්ටලයේ ඇති ගණිතමය සම්භාවිතා පිළිබඳවද යමක් අවබෝධ කර ගත හැකි විය.

රූප සටහනේ දක්වා ඇති පරිදි ඩොමිනෝ කට්ටලයක ‘කැට’ 28 ක් තිබේ. අපට තෑගී ලැබුණු කට්ටලයේ ‘කැට’ කළුවර ලීයෙන් කපා ඇත්දත් කැබලි ඔබ්බවා, ඒ මගින් අංක සඳහන් කර තිබුණි. දිගින් සෙ .මි 4 ක් සහ පළල සෙ. මී 2 ක් පමණ වන ඩොමිනෝ කැටයක් හරි මැදින් දෙකට බෙදා වෙන්කර තිබේ. බෙදීම කර තිබෙනුයේද ඇත්දත් පතුරක් ඔබ්බවීමෙනි. 

රූප සටහනේ ඇති ආකාරයට ඩොමිනෝ ‘කැට’ 28 පෙළ ගස්වා ඇත්තේ ඒවායේ ඇති රටාව හඳුනා ගැනීම පිණිසය. මෙහි වම් පැත්තේ ඇති ‘කැට’ සිරස් තීරුව බලන්න. එහි ‘කැට’ හතකි. මෙම ‘කැට’ වලින් පළමු කැටයේ අග්‍ර දෙකම හිස්ය. ඊළඟට ‘කැට’ එකින් එක පහලට බලන්න. දෙවෙනි කැටයේ ඉහල අර්ධය හිස් වන අතර එහි පහළ අර්ධයේ සුදු පැහැයට එක් සලකුණක් තිබේ. මෙම කැටය ‘හිස්, එක’ (Blank, one) ලෙස හැඳින්වේ. මේ ආකාරයට සිරස් පේළියේ පහලට පැමිණ අවසාන කැටය බලන්න. මෙය ‘හිස්, හය’ (Blank, six) කැටයයි. 

මේ ආකාරයටම දෙවෙනි සිරස් පේළිය හොඳින් බැලුවහොත් එහි පළමු කැටයේ අර්ධ දෙකෙහිම එක් සුදු තිත බැගින් ඇත්දත් වලින් සටහන් කර තිබේ. මෙය ‘එක, එක’ (‘One,one’) කැටයයි. දෙවන සිරස් පේළියේ ඊළඟ කැටයේ ඉහල අර්ධයේ එක් තිතක් ඇති අතර පහල අර්ධයේ තිත් දෙකකි. ඒ නිසා එය ‘එක, දෙක’ (One, two) කැටය වේ. දෙවන සිරස් පේළියේ තවත් පහලට ගියවිට අවසාන කැටයේ ඉහල අර්ධයේ එක තිතක් සහ පහළ අර්ධයේ තිත් හයක් ඇත. මෙය ‘එක, හය’ (‘One, six’) කැටයයි. තුන්වන සිරස් පේළියේ මුල් කැටය ‘දෙක, දෙක’ (‘Two, two) වන අතර එම පේළියේ අවසාන කැටය ‘දෙක, හය’ (‘Two, six’) වේ. මේ ආකාරයට තිබෙන රටාව අනුව කැට සියල්ලම සකස් කළ විට අවසාන කැටය ‘හය, හය’ (‘Six, six’) ලෙස නම් කෙරේ. සෑම කැටයකම යට පැත්ත හිස්ව තිබේ. ක්‍රීඩකයින් අතර කැට බෙදීමේදී ඒවා ඉදිරි මූනත වැසෙන සේ හරවා මේසයක් මත විසුරුවා හොඳින් කලවම් කර, ‘කාඩ්ස්’ ක්‍රීඩාවකදී මෙන් එකින් එක බෙදනු ලැබේ. 

දෙදෙනෙකුට හෝ හතර දෙනෙකුට ක්‍රීඩාව කළ හැකිය. දෙදෙනෙක් කරන විට එක් අයෙකුට කැට 14 ක් ලැබේ. පළමුව කැටය තබන තැනැත්තා සුදුසු ආකාරයකට තෝරා ගත හැකිය. පළමු ක්‍රීඩකයා කැටයක් තැබූ පසු දෙවැන්නා, එම කැටයේ එක් අර්ධයක ඇති තිත් සංඛ්‍යාවට අනුරුප තිත් සංඛ්‍යාවක් ඇති කැටයක් තමන්ගේ කැට වලින් තෝරා පෙළට තැබිය යුතුය. උදාහරණයක් ලෙස පළමුවැන්නා තැබූ කැටය ‘පහ, හතර’ නම් දෙවැන්නා විසින් එක්කෝ එක් අර්ධයක ‘පහ’ ඇති ඕනෑම කැටයක් කලින් තිබු

කැටයේ ‘පහ’ සමග සැසඳෙන ලෙස තැබිය යුතුය. නැතහොත් එක් අර්ධයක ‘හතර’ ඇති ඕනෑම කැටයක් කලින් තිබු කැටයේ ‘හතර’ සමග සැසඳෙන ලෙස තැබිය යුතුය. (රූප සටහනේ 1 සහ 2 )





ක්‍රීඩාවේ මුල්  අවස්ථා කිහිපයක් 


ඊළඟ වටයේදී පළමු ක්‍රීඩකයා අංක ‘තුන’ ඔස්සේ ‘තුන, එක’ කැටයක් තබා ඇත. (රූප සටහනේ 3). කැට තැබීම, අග්‍ර දෙකෙහි එකක, සරල රේඛාවක් ඔස්සේ නොවී අංශක 90 හැරවුම් ඔස්සේද තැබිය හැකිය. මෙසේ සෑදෙන ඩොමිනෝ හැඩ තල රූප සටහනේ 4 සහ 5 තුලින් දැක ගත හැකිය.

ඉතා පැරණි ගෘහස්ථ ක්‍රීඩාවක්‌ වන ඩොමිනෝස් ක්‍රිස්තු වර්ෂ 1100 පමණ චීනයේ ආරම්භ කර තිබෙන බව ඉතිහාසයේ සඳහන්ය. ඉහත දක්වා ඇති සරල ආකාරයට සහ තවත් විවිධ ආකාර වලට, එකිනෙකට වෙනස් නීති රීති සහිතව ඩොමිනෝස් ක්‍රීඩා කරනු ලැබේ.

මෙහිලා සඳහන් කිරීමට බලාපොරොත්තු වනුයේ, මෙම ඉපැරණි ක්‍රීඩාව නව තාක්ෂණයේ අනුග්‍රහය ඇතිව, ‘Dominoes Sets for Kids Building Blocks Racing Tile Games’ නමින් නව සංකීර්ණ ක්‍රීඩා රාශියක් බිහිවී තිබීමයි. පැරණි අතින් නිම කරනලද, මිල අධික ‘කළුවර ලී / ඇත්දත්’ ඩොමිනෝ කැට වෙනුවට, අද ප්ලාස්ටික් වලින් සාදන ලද ඩොමිනෝ කැට අති විශාල වශයෙන් නිපදවේ. අද තරුණ තරුණියන් මෙම ඩොමිනෝ කැට දහස් ගණන් භාවිත කර ආශ්චර්යාත්මක චල නිර්මාණ (Building Blocks Racing Tile Games) සකස් කරන බව අසන්නට දකින්නට ලැබේ. ඩොමිනෝස් ක්‍රීඩාව කෙසේ වෙතත් ඩොමිනෝස් ආකාරයේ කැට භාවිතයෙන් කරනු ලබන නව නිර්මාණ ඉතාමත් ජනප්‍රිය වෙමින් පවතී.


ඩොමිනෝස්  ආකාරයේ කැට භාවිතයෙන්  කර තිබෙන නව නිර්මාණයක් 

විවිධ වර්ණයෙන් යුක්ත ඩොමිනෝස් ආකාරයේ කැට භාවිත කර සකස් කරන ලද නිර්මාණයක් මෙම ඡායාරුපයේ දැක්වේ. මේ ආකාරයට සකස් කරන ලද නිර්මාණයක් ක්‍රියාත්මක වන ආකාරය මේ සමග ඇති දිගුව ඔස්සේ දැක බලා ගත හැකිය.

                 https://www.youtube.com/watch?v=1cQvurnlP6k

ඩොමිනෝස් ආකාරයේ කැට 36,000 ක් භාවිත කර සකස් කර ඇති මෙම නිර්මාණය මගින් කෙනෙකු තුළ තිබිය හැකි හසුරු කෞශල්‍යය, තීක්ෂණ බුද්ධිය, නොපසුබට උත්සාහය සහ ධෛර්යය වැනි ගුණාංග රාශියක් ඉස්මතු වන බව ඉතාමත් පැහැදිලිය. පැරණි අදහසක් නවෝත්පාදනයක් ලෙස මේ ආකාරයට ලොවට විදහා දැක්වීම කෙතරම් අගනේද ?

6 comments:

  1. අන්තිම කිහිපයේ අලයිමන්ට් අවුලක් ගිහින්... කියෝගන්න අමාරුයි...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අවුල නිරවුල් කළා

      Delete
  2. ගොඩක් ස්තූතියි, ඒ ගේම් එක සෙල්ලම් කරන හැටි කියා දුන්නට.

    දැනගැනීම සඳහා අහන්නෙ...

    රජයේ නිලධාරියෙක් ලෙස නිල මට්ටමින් ලැබෙන ඔය වගේ වටිනාකමින් අධික තෑග්ගක් පෞද්ගලිකව භාර ගැනීමේ අවුලක් නැද්ද? ඒක විදේශ කටයුතු ලේකම් ට භාර දිය යුතු ද?

    ReplyDelete
  3. ස්තුතියි Draki,
    සහභාගිවූ සමුළුවේදී උගත් දේ පිළිබඳව සහ එයින් අනාවරණය වූ සමහර සංකල්ප අපගේ ජීව විද්‍යා අධ්‍යාපනයට ආදේශ කර ගත හැකි ආකාරය පිලිබඳ විස්තරයක් සැලසුමක් සමග එවකට සිටි නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂක ජනරාල් වරයාට භාරදුන්නා. ඒ සමගම සමුළුවේදී ලැබුණු පොත පත් සහ මේ ත්‍යාගයත් ඔහුට පෙන්වූවා. ඔහු ඒ සියල්ල මට ආපසු දුන්නා. ජීව විද්‍යා අධාපනය වැඩිදියුණු කිරීමට අදාළ සංකල්ප කිහිපයක් පසුව අපගේ විෂයය මාලාවට ඇතුලත් කරනු ලැබුවා. මා සිතන ආකාරයට තක්සේරු වටිනාකම යම්කිසි සීමාවකට වඩා අඩු පරිත්‍යාග
    රජයට දීම අවශ්‍ය නැහැ. මේ සම්බන්ධව දැනට රජයේ මුදල් රෙගුලාසි ගැන නම් මාගේ දැනීම අල්පයි.

    ReplyDelete
  4. හැතැක්ම ගණං එක එක ඒව හදල පෙල්ලනව දැකල තියෙනව ඇරෙන්න ඕකෙන් සෙල්ලං කරන්නෙ කොහොමද කියල දැනගත්තෙ මේ පෝස්ට් එකෙන් තමයි.

    ReplyDelete
  5. ස්තුතියි ප්‍රසන්න,
    ඒක නොවෙන්නං Dominos යනුවෙන් මෙතරම් පැරණි සිතීමේ කුසලතා ඔප් නංවන ක්‍රීඩාවක් තිබියදී නවීන තාක්ෂණයේ ආභාෂය නිසා, Dominos කැට ප්ලාස්ටික් කෑලි වලට හරවා හැතැක්ම ගණං පෙරලන බොළඳ ක්‍රීඩාවකට හරවා තිබීම කනගාටුදායකයි. මා හිතන්නේ මේ වැනි පැරණි දේ පිලිබඳ අයිතිය සහ භාවිතය නීතිගත කර නොමැති නිසා මෙවැනි දේ සිදුවන බවයි.

    ReplyDelete